මහජන විරෝධතාව ව්‍යවස්ථා පිදුරු ගසින් එල්ලීම!

384

දේශපාලන ගුණ්ඩු හා පාලකයෝ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගාලුමුවදොර අරගලකරුවන් සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරයට අප එකඟ නොවන්නේත්, එය හෙළා දකින්නේත් ඒ පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමුවී තිබීම නිසා හෝ බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයන් හා සංවිධාන එයට කනස්සල්ල අප්‍රසාදය පළකිරීම නිසා හෝ නොවේ. ජනාධිපති රනිල් ඒ මෙහෙයුම විශ්ලේෂණය කරමින් ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික මිතුරන්ට දී තිබෙන උත්ප්‍රාසනීය පිළිතුර අපේ ජනවහරේ එන හිස අත ගා ටොක්කක් ඇනීම යන්න අපට සිහිපත් කර දෙයි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් නෝනා මහත්මියට ජනාධිපති රනිල් පවසා ඇත්තේ තමාගේ මෙහෙයුමද ඇමෙරිකාව විසින් එදා කැපිටල් ගොඩනැඟිල්ල අල්ලා ගත් කැරලිකරුවන්ට දක්වන ලද ප්‍රතිචාරය හා සමාන එකක් බවය. පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් හිතවාදීහු කැපිටල් ගොඩනැඟිල්ල බලහත්කාරයෙන් අල්ලා ගත්හ. ඔවුන් පළවා හැරීමට ඇමෙරිකාවේ පොලිසිය ක්‍රියාකළ ආකාරය ජූලි චන්ග් තානාපතිනියට මෙන්ම අපේ ජනාධිපතිගේ බටහිර රාජ්‍ය තාන්ත්‍රික මිතුරන්ට ද අමතක වී තිබිය නොහැක. එපමණක් නොව එදා වැඩබලන ජනාධිපතිව සිටියදී තම නිවස ගිනි තැබීමේ මෘග ක්‍රියාවට ඔවුන් කිසිවකුගෙන් කවර හෝ ප්‍රතිචාරයක් නොලැබීම ගැනද ජනාධිපති රනිල් සිය මවිතය පළකර තිබුණි. මේ හැර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා කොමිසම හා ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය ආදී සංවිධානවල ප්‍රතිචාර පිළිබඳව අපට වෙනම විවේචනයක් ඇත. ඒ ඔවුන් විසින් මෙරටේ සමාජ, දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දක්වන ලද බොහෝ ප්‍රතිචාර පක්‍ෂග්‍රාහී හෝ අව්‍යාජ ඒවා හෝ නොවීම නිසාය. මෙහිදී ඒවා සිහිපත් කර දීමට අපට අවශ්‍ය ද නොමැත. එසේ වුවද මෙහිදී ජේසුස් වහන්සේ විසින් දේශනා කරන ලද අපරාධකරුවන්ට ගල් ගැසීමට පැමිණි පිරිසට උන්වහන්සේ විසින් දෙන ලද පිළිතුර අපට සිහියට නැගෙයි. එනම් වරදකාරියට ගල් ගැසීමට ඉදිරිපත් වූ අයගේ සුජාත භාවයයි.

මහජන විරෝධතාව ව්‍යවස්ථා පිදුරු ගසින් එල්ලීම!

මේ අනුව ජනාධිපති රනිල්ගේ මෙහෙයුම අපගේ විවේචනයට ලක්වන්නේ එය මානුෂවාදී හෝ සදාචාරාත්මක නොවන මුග්ධ ප්‍රහාරයක් වීමත් එයට තුඩුදුන් සමාජ, දේශපාලන විරෝධතාව නොතකා එයට උඩින් පැන යෑමට දරන ලද දුෂ්ට ප්‍රයත්නයක් වීමත් නිසාය. ගාලුමුවදොර විරෝධතාකරුවන් විසින් මාස තුනකටත් අධික කාලයක් මුළුල්ලේ දියත් කරන ලද අරගලය නිසැකයෙන්ම මෙරටේ ප්‍රභූ දේශපාලන ආධිපත්‍යයට එරෙහි වූවකි. ඒ සඳහා ප්‍රමුඛ වූවෝ වරප්‍රසාද පන්තියට අයත් අය නොවූහ. එහි බහුතරය මෙරටේ පොදු ජනතාවගේ දූ දරුවෝය. ඔවුහු තමන්ට අහිමිවී ගිය හා තමන්ගෙන් උදුරා ගන්නා ලද සමාජ දේශපාලන හිමිකම් සඳහා වීථි බැස සිටියහ. ඈත ගම්දොර ඔවුන්ගේ දෙමවුපිය සහෝදරයන්, මිතුරන් ආදී විවිධ ජනකොටස් ඒ අරගලයට ශක්තියක් හා අනුග්‍රහයක් ද ලබාදුන්හ.

ඒ ජනතා පිබිදීම කුණාටුවක් සේ ඇදී පාලකයන් ගසාගෙන යෑමට තරම් ප්‍රබල එකක් බවට ද පත්වූවකි. හැටනව ලක්‍ෂයක ජනවරමක් ලද ජනාධිපති ගෝඨාභයට සිය ධුරය හැර දමා රටින් පැනයෑමට සිදුවූයේද ඒ මහජන බලවේගය නිසාමය. ඊට පෙර මහින්දට අගමැති ධුරයත්, චමල්ට, බැසිල්ට හා නාමල්ට සිය ඇමැති ධුරත් අත්හැරීමට සිදුවූයේද ඒ ජනතා බලය විසින් ඔවුන්ට ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීත් ලබාදුන් ජනවරම අභියෝගයට ලක්කරන ලද නිසාය.

රාජපක්‍ෂ කඳවුර බිඳ වැටීමෙන් පසු උද්ගත වූ සමාජ දේශපාලනය හා එයට එරෙහිවූ ගාලුමුවදොර විරෝධතාව කිසිවිටෙක සහසබඳතාවක් – සම්මුතියක් ඇති නොවන ක්‍රියාන්විත දෙකකි. ගෝඨාභය වෙනුවට රනිල් ආදේශවීම ඒ දේශපාලනයේ විකෘතියක් බව ජනාධිපති රනිල් පමණක් නොව ඔහුගේ ආණ්ඩුවත් ඉඳුරා දන්නා දෙයකි. විපක්‍ෂ නායක සජිත් මේ ආණ්ඩුව හඳුන්වා ඇත්තේ රාජපක්‍ෂ සෙවණැලි ආණ්ඩුවක් ලෙසය. ඔහු ගාලුමුවදොරට එල්ල වූ ප්‍රහාරය නිරායුධ ජනතාවට එල්ල කළ ම්ලේච්ඡ එකක් ලෙස හඳුන්වා එය මේ ආණ්ඩු ගමන් කරන දිසාව සංකේතවත් කරන්නක් බවද අවධාරණය කර තිබේ. විපක්‍ෂ නායක සජිත්ගේ අනතුරු ඇඟවීම සහේතුකය.

ඇත්ත වශයෙන්ම මෙරටේ සමාජ දේශපාලනය පිළිබඳ අතීතයේ ජයවර්ධන හා ප්‍රේමදාස යුගවල සිදුවූ රාජ්‍ය මර්දනකාරී ක්‍රියාන්විතයන් සමඟ එදා රනිල්ට ද චෝදනා නැඟුණි. ඔහුගේ අද්දැකීම් වඩාත් එකල සිදුවූ මර්දනයන් සමඟ බැඳී තිබීමද පුදුමයක් නොවේ. එනිසා ඔහු ගාලුමුවදොර අරගලය පිළිබඳ සාවi හා අථාර්කික නිගමනයන්ට එළඹීම ද ස්වාභාවික විය හැකිය. එහෙත් අද ඔහු ඒවා දෙස නව දෘෂ්ටියකින් බැලිය යුතුය. එසේ වූයේ නම් මෙබඳු විවේචන ඔහුට එල්ල වන්නේ ද නැත. තම ක්‍රියාව ව්‍යවස්ථාවට හා නීතියට එකඟ යැයි ඔහුට ඔහුගේ හෘදසාක්‍ෂිය රවටා ගත හැකිද? විපක්‍ෂ නායක සජිත් නිවැරදිව දැක්වූ පරිදිම නිරායුධ අරගලකරුවන් වෙත අලුයම් වේලෙහි කඩා පැනීම කවර යුක්තියක්ද? ඉවක් බවක් නොමැතිව ඔවුන්ට පහර දුන් ආකාරය සජීවී ලෙස රූපවාහිනි නාලිකා ඔස්සේ දුටු කිසිවකුට ඒ ප්‍රහාරය සමඟ එකඟවිය නොහැක. කිසිම අරගලකරුවෙක් ගල් කැටයක් තරම්වත් දෙයක් අතට නොගත් බවද මෙහිලා සඳහන් කළ යුතුය. අනෙක් අතට අරගලයේ නායකයන්ට අනුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේද ඔවුන් ජනාධිපති මන්දිර පරිශ්‍රයෙන් ඉවත්ව යන බවට නිල වශයෙන් දැනුම්දීමෙන් ද පසුවය. එය සත්‍යයක් නම් ජනාධිපති රනිල්ට එබඳු මෘග ප්‍රහාරයක් එල්ල කිරීම සිදුවූයේ ඇයි යන ප්‍රශ්නය ද පැනනඟී.

කෙසේ හෝ ජනාධිපති රනිල් මෙන්ම පොලිසියේ නිල නිවේදන අනුව හැඟෙන්නේ අරගලකරුවන් එහි දිගින් දිගටම රැඳී සිටීම නිසා ඔවුන් ඉවත් කිරීමට බලය පාවිච්චි කිරීමට සිදුවූ බවය. මෙහිදී පැමිණිල්ල මෙන්ම විත්තිය ලෙස දෙපක්‍ෂයම දක්වන කරුණු බොහෝවිට ඔවුන්ට සාපේක්‍ෂක විය හැකිය. එසේ නම් මේ ප්‍රහාරය පිළිබඳ සත්‍යය හා සැබෑ චිත්‍රය කුමක්ද යන්න අඳුරෙහි තිබෙන්නකි. එහෙත් අප යෝජනා කරන්නේ ආණ්ඩුවට මීට වඩා ඉවසීමෙන් හා විවේක බුද්ධියෙන් යුතුව ක්‍රියාකිරීමට ඉඩතිබුණු බවය. දේශපාලන තීන්දු ගැනීම පිළිබඳව මැකියාවෙලී විසින් දෙන ලද උපදේශයක් මෙසේය.

“ක්‍ෂය රෝගය ගැන වෛද්‍යවරුන් කියන්නේ සුව කිරීම පහසුය. එහෙත් රෝගය සොයා ගැනීම අපහසුය යනුවෙනි. එසේම එය හඳුනා නොගෙන ප්‍රතිකාර කළත් කල්ගත වන විට එය හඳුනාගැනීමට හැකි වන බවත් එහෙත් එහිදී සුව කිරීම දුෂ්කර බවත්ය.

මැකියාවෙලීගේ මෙම විග්‍රහය තුළින් ගම්‍යවන්නේ අර්බුදයක් මනාව වටහා නොගෙන එයට විසඳුම් දීමේ අනතුර පිළිබඳවය.

දැන් අප අවධානය යොමු වන්නේ ගාලුමුවදොර අරගලකරුවන් විසින් අත්පත් කරගන්නා ලද ජනාධිපති මන්දිරය ඇතුළු මහජන ආයතනවලට සිදුවී ඇතැයි කියන විනාශය පිළිබඳවය. මේ ජනාධිපති මන්දිරයට සිදුකර තිබෙන විනාශයන් මෙන්ම එහි තිබුණු වටිනා පෞරාණික වස්තූන් අතුරුදන් වී තිබීමද බරපතළ ක්‍රියාවකි. ඒවා අරගලකරුවන්ගේ ගිණුමට බැහැර කළ නොහැකි වුවද ඒ සඳහා දොර හැර දෙන ලද්දේ ඔවුන්ගේ ක්‍රියාන්විතය විසින් බව කවුරුත් දන්නා දෙයකි. එහි තිබුණු භාණ්ඩ විනාශ කර තිබෙන ආකාරය විiුත් මාධ්‍ය මගින් ජනතාවට ද දැකගත හැකිවිය. ඒ සියලු විනාශයන් අපට තහවුරු කරන්නේ මිනිස් සිත් සතන් තුළ සැඟව සිටින කුරිරු යක්‍ෂයකුගේ ප්‍රචණ්ඩත්වයයි. භාණ්ඩ විනාශ කළ කිසිවකුට සමාවක් නොදිය යුතුය යන සිතිවිල්ල ඒවා දුටු බොහෝ දෙනකු තුළ ඇති වීම ද ස්වාභාවිකය.

අරගලය මෙහෙයවූ ප්‍රබුද්ධ පිරිසට ද ඒවා අනුමත කළ නොහැක. ඇත්ත වශයෙන්ම අරගලයේ පාලනය ඔවුන් අතින් ගිලිහී යෑමද අපට තේරුම්ගත හැකිය. ලද අවසරයෙන් සිය දුෂ්ට අරමුණු ජයගන්නා පිරිස් සමාජයෙහි සුලභය. වෙනත් මංකොල්ලකරුවන්, සමාජ විරෝධී නරුමයන් මෙබඳු අවස්ථාවක ක්‍රියාත්මක වන ආකාරය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. අතීතයේදීත් විවිධ ජනතා නැඟිටීම්වලදී අවස්ථාවාදී නරුමයන් විසින් කරන ලද මැදිහත්වීම් අපට මතකය. කුමක් වුවත් මේ මන්දිරවල ඓතිහාසික වටිනාකම් හා ඒවායේ තැන්පත් කර තිබුණු පෞරාණික වස්තූන් යළි සොයාගැනීම අසීරු මෙහෙයුමකි. එහෙත් එය අත් නොහළ යුතුය. ඒ චෞරයන්ට දැඩි දඬුවම් දීමද අත්‍යවශ්‍යය. ඇතැම් විට ඒවා විනාශ කළ ඇතැම් කෙනෙක් ඒවා රාජපක්‍ෂවරුන්ගේ වත්කම් ලෙස සිතා එබඳු ප්‍රතිචාර දැක්වූවාද විය හැකිය. ඒ කුමක් වූවත් ගාලුමුවදොර අරගලයට ඉන් සිදුවූ හානියද බරපතළය. එය එම අරගලය විවේචනයට ලක්කළ අයට කිසියම් පදනමක් ද ලබාදෙන මෝඩ හා අදූරදර්ශී ක්‍රියාවක් බවද නිසැකය. එනිසා අරගලකරුවන් ද තම විරෝධතා ව්‍යාපාරය මෙහෙයවීමේදී වඩාත් ප්‍රබුද්ධ හා විචාරශීලී මනසකින් ක්‍රියාකළ යුතුවේ. ඇත්තටම ඒ මන්දිරවලින් ඉවත්වීමේ ක්‍රියාවලිය මීට වඩා විධිමත් ආකාරයට සිදුවිය යුතුව තිබුණි. එනිසා අරගලයේ ඉදිරි මග අතීත පාඩම් මගින් නිවැරදි කර ගැනීම හැර දැන් වෙනත් මගක් ද නැත.

ජනාධිපති රනිල් ප්‍රමුඛ පාලකයන් විසින් ද මේ අරගලයටත් එයට තුඩුදුන් සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදවලටත් වඩාත් බුද්ධිමය හා ප්‍රජාතාන්ත්‍රවාදී මූලධර්ම මත පදනම්ව ප්‍රතිචාර දැක්විය යුතුවේ. අරගලය විසින් ඉල්ලා සිටිනු ලබන දේශපාලන ප්‍රතිසංස්කරණය මගහැර යෑමට හෝ එය මර්දනය කිරීමට හෝ යෑම කිසිසේත් නොකළ යුත්තකි. දියවන්නාවේ බහුතර කැමැත්ත හෝ කවර ආකාරයක දේශපාලන ගුණ්ඩුවලින් හෝ මේ අර්බුදය සමනය කළ නොහැක. කොටින්ම රාජපක්‍ෂවරුන් බිම හෙලූ හා ඔවුන්ට වේදනාකාරී පරාජයන් අත්කර දුන් මේ අරගලය පවතින ප්‍රභූ දේශපාලන අධිකාරිය නොඉවසන එකකි. අරගලකරුවන් හා ආණ්ඩුව අතර තිබෙන ප්‍රතිවිරෝධතා සුළුපටු නැත. රාජපක්‍ෂවරුන් අත තිබුණු දේශපාලන බලයත්, එයට පදනම් වී තිබෙන ප්‍රභූ දේශපාලනයේ අප්‍රසන්න හා ජුගුත්සාගත බවත් මේ අරගලකරුවන්ගේ දැඩි විරෝධයට ලක්ව තිබේ. අරගලකරුවන්ගේ පාර්ශ්වයෙන්ද රාජ්‍ය මර්දනයකට අවකාශ සැලසෙන කිසිදු ක්‍රියාවක් සිදුනොකිරීමට ද වගබලාගත යුතුය. මහජන කලකිරීමට තුඩුදෙන ක්‍රියා ඔවුන්ගේ අරගලයට බාධාවකි.

ජනාධිපති රනිල්ගේ මෙම කැබිනට් මණ්ඩලය ද ගෝඨාභය පාලනය තුළ තිබුණු ජනතාවගේ විවේචනයට භාජනය වූ ඇමැතිවරුන් සමූහයකගේ පිළිබිඹුවක් පමණි. මේ රට අර්බුදය කරා ඇදගෙන ගියේත්, මේ ඇමැතිවරුන් ද අයත් වූ පාලනය සමගය. ඇත්ත වශයෙන්ම එය රාජපක්‍ෂවරුන්ගේ පොහොට්ටුවේම නියෝජනයකි. ව්‍යවස්ථාවට එකඟ වුවත් එයට අලුතින් එක්වන කිසිවකුට ජනතා වරමක් ද නැත. එහෙත් තවමත් බොහෝ දෙනකුගේ අභිමතය වී ඇත්තේ පාර්ලිමේන්තුවට රිංගා ගැනීම හා ඇමැති පදවි ලබාගැනීම බවද ඉතා පැහැදිලිය. රනිල්ගේ ජාතික ලැයිස්තුවට මෙන්ම ධම්මික ඉවත් වුවහොත් ඇතිවන හිස්තැනට පොරකන ආකාරය තිරය පසුපස තිබුණත් එය ලැජ්ජාසහගත එකකි.

ඒවා අරගලකරුවන්ගේ පමණක් නොව ජුලි 09 වැනිදා මහජන විරෝධතාවට එක්වූ ජනතාවගේ ද කෝපයට හේතුවනු ඇත. තවමත් ජනතාව පීඩාවට පත්කළ එකදු ප්‍රශ්නයකටවත් සහනයක් ලැබී නැත. එහෙත් ජනාධිපති රනිල්ට හෝ ඔහුගේ දේශපාලන ක්‍රියාන්විතයට හෝ ජනතාව අපේක්‍ෂා කරන “වෙනස” හෙවත් “සිස්ටම් චේන්ජ්” එකට වුවමනා මූලික පියවරක් හෝ ගැනීමට නොහැකිව තිබේ. රාජපක්‍ෂලා වෙනුවට පැමිණි රනිල් කරන්නේ ඒ රෙජීමය ඉදිරියට ගෙන යෑමක් බවට දැඩි දේශපාලන විවේචනයක් ද තිබේ.

ගාලුමුවදොර අරගලකරුවන් මේ පාලනය අනුමත නොකළත් එහිලා සිදුවන සාධනීය වෙනස්කම් ඔවුන්ට පිළිගැනීමට ද සිදුවේ. අරගලයේ ඉදිරි ගමන නිගමනය වන්නේ ද ජනාධිපති රනිල්ගේ පාලනයේ හැඩතල අනුවය.

අරගලකරුවන්ට කිසිසේත් පවතින ක්‍රමය සමඟ එකඟතාවකට පැමිණිය නොහැක. එහෙත් මේ දේශපාලන හා ව්‍යවස්ථාව ඇතුළත සිදුකළ හැකි වෙනස්කම් ද බොහෝය. තවමත් තිබෙන පාලකයන් සතු අධිකාරි බලයත්, එයට යටත්වූ රාජ්‍ය සේවය, ආයතන ව්‍යුහය ඇතුලු සියලු පද්ධතීන් ස්වාධීන කිරීම වහාම සිදුවිය යුතුය. එය 19 වැනි සංශෝධනය මගින් හෝ වෙනත් උචිත ආකාරයකින් හෝ ක්‍රියාත්මක කළ හැකිය. ප්‍රංශ විප්ලවයට ආසන්න හේතුව ආහාර හිඟයයි. ජනතාව ඉල්ලා සිටියේ පාන් සහ බදු සහනයන්ය. රුසියාවේ ඇතිවූ බංකොළොත් බව එරට විප්ලවයකට හේතුවිය. අපේ රටේ සිදුවූයේත් ඒ හා සමාන දේවල්මය.

ගෝඨාභය පාලනයේ විපාක ලෙස කෘෂිකර්මය සමඟ ආර්ථිකය බිඳ වැටුණි. දැන් මාස ගණනක් මුළුල්ලේ ඒ අර්බුද උඩුදුවමින් තිබේ. එහෙත් පාලකයෝ තවමත් දේශපාලන බලඅරගලවල නිරතව සිටිති. දුකට පීඩාවට පත් ජනතාව ගැන පාලකයන් දක්වන ඈලි මෑලි දුබලතාව සැඟවිය නොහැක.

කිසියම් සීමිත කාලසීමාවක් සඳහා සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව ද බොහෝ දෙනකු අනුමත කරති. පාර්ලිමේන්තුවේ දේශපාලන සුජාතභාවය ප්‍රශ්නකාරී වුවත් අද තිබෙන දේශපාලන වාතාවරණය තුළ මේ අර්බුදයෙන් ගොඩවිය හැක්කේ එබඳු සර්වපාක්‍ෂික සම්මුතියකින් රටේ දේශපාලන ස්ථාවරභාවයක් ගොඩනැඟීමෙන් පමණි. ජාත්‍යන්තර සහාය මෙන්ම අයි. එම්. එෆ්. මැදිහත්වීම් ඉදිරියට යෑමට ද එය අවශ්‍ය වේ. ඉන් අනතුරුව කළ යුතු මූලිකම දේ නම් මහමැතිවරණයකින් අලුත් ජනවරමක් ලබා ගැනීමය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment