පසුගිය සතිය වන විට උද්ඝෝෂකයින්ගේ උද්ඝෝෂණ තව තවත් ප්‍රබල වී තිබිණි. ඊට හේතු රාශියක් ම විය.
එක් ප්‍රධාන හේතුවක් වූයේ රටපුරා ඉන්ධන බෙදාහරින පුද්ගලික අංශයේ තෙල් බවුසර්කරුවන් තම ගෙවීම් ඉහළ දමන්නැයි ඉල්ලමින් කරන ලද වැඩ වර්ජනයයි. සැබැවින්ම ඩීසල් මිල ඔවුන්ට ද තදින් බලපාන්නක් වී තිබිණි.
තෙල් බවුසර පන්සියයකට වැඩි සංඛ්‍යාවක් මෙසේ තෙල් බෙදා හැරීමෙන් බැහැරවීම නිසා රට පුරා තෙල් බෙදා හැරීම අඩාල වූයෙන් පෙරටත් වඩා වැඩි තෙල් හිඟයක් රට පුරා ඇති විය.
දින දෙකකින් තෙල් සැපයීම සාමාන්‍ය තත්ත්වයට පත්කර ගන්නට අලුත් ඇමැති කංචන විජේසේකර සමත් වුවත් වර්ජනයෙන් පසු තෙල් බෙදා හැරීමට ඇතිවූ හිඟය සහ පාඩුව පියවා ගැනීම හා අර්බුදය සමනය කර ගැනීම පහසු වූයේ නැත.
අනිත් අතට මහජනතාව බලාපොරොත්තු වූ පරිදි ආණ්ඩුවේ බල හුවමාරුවක් වූයේද නැත. ජනාධිපති ගෙදර යැවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් නැතත් ආණ්ඩුව වෙනස් කිරීමට ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන පාවිච්චි කර රාජපක්ෂවරු අඩියක් ආපස්සට ගොස් වෙන පිරිසකට ආණ්ඩුව බාරදිය යුතු යැයි කියා සැලකිය යුතු පිරිසක් තුළ බලාපොරොත්තුවක් තිබිණි. එය සිදු වූයේ ද නැත. මේ තත්ත්වය මත උද්ඝෝෂණයේ තීව්‍රතාවය වැඩි කරන්නට උද්ඝෝෂකයෝ කල්පනා කළහ.
ගෝඨා ගෝ ගමට එහා ගිය මයිනා ගෝ ගමක් අගමැති මහින්ද රාජපක්ෂ රාජකාරි කළ අරලියගහ මන්දිරය ඉදිරියේ බිහිවන්නේ ඒ අනුවය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් පෙරටුගාමී සංවිධානය විසින් ආරම්භ කරන ලද මයිනා ගෝ ගම උද්ඝෝෂණය විසුරුවා හැරීම පොලිසිය සිතන තරම් පහසු වූ කාරණාවක් වූයේ නැත.
● ජනාධිපති ගෝඨාභයට
ඇතුළෙන්ම ගැටලුවක්…
තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කළේ පුළුල් එකඟතාවයකින් සැදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගෙන අද මේ තිබෙන ප්‍රශ්නවලට ඒ තුළින් යම් විසඳුමක් සෙවීමට ය. ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වී ඇමැති මණ්ඩලය විසුරුවා හැරිය යුතු වුවත් අගමැති මහින්ද රාජපක්ෂට ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙන්නට හෝ බලපෑම් කිරීමට ජනාධිපති ගෝඨාභය සතුටු වූයේද නැත.
කෙසේ වෙතත් පසුගිය දිනවල විපක්ෂයේ පක්ෂ එකොළහේ සංවිධානයත් ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු හතළිස් දෙනාත් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කරන අතරවාරයේදී මේ පිළිබඳ ගැඹුරින් කතාබහක් ඇති විය.
ඔවුන්ගේ යෝජනාව වූයේ අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ය. එම යෝජනාවලිය ඇතුළාන්තයේ ප්‍රධාන යෝජනා 11ක් විය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ හා සාකච්ඡා කොට අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟත්වය පළ කරන පක්ෂවල නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික විධායක සභාවක් තුළින් අගමැති, ඇමැතිවරු, අමාත්‍යංශ ලේකම්වරු හා ඉහළ නිලධාරීන් පත්කරමින් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම මෙහි ඇති මූලික යෝජනාව විය. රටේ අද තිබෙන ආර්ථික ප්‍රශ්න ඉවර වනතුරු වසරක් වැනි කාලයක් රට පාලනය කළ මහ මැතිවරණයකට යෑම එහි අරමුණ විය.
ජනාධිපතිවරයා මෙම යෝජනාවට එකඟත්වය පළ කළේය.
“පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ එක්ක මේ ගැන සාකච්ඡා කරන එක ඕගොල්ලම කරන්නකෝ…” ජනාධිපති යෝජනා කළේය.
“ඔව් ඒක එහෙම පුළුවන්… නමුත් ඒකට හැමෝම ගිහින් බෑ… අපි කමිටුවක් නම් කරමු…”
ඒ අනුව ජනාධිපතිවරයාගේ ද එකඟතාවය ඇතිව කමිටුවක් නම් කෙරිණි. නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මන්ත්‍රීවරු මෙම කමිටුවට අයත් වූහ. ඔවුන්ගේ රාජකාරිය වූයේ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කොට යෝජිත අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා එකඟත්වය ලබා ගැනීමයි.
මෙම විශේෂ කර්තව්‍යය පැවරුණ නියෝජිතයන් පස් දෙනාගේ කමිටුව පසුගිය සති අන්තයේ සිටම වැඩ ආරම්භ කළේය. ඒ අනුව ඊපීඩීපී සංවිධානය සමග ද ඔවුන් කතා කළේය. එම සාකච්ඡාව සාර්ථක විය. තවත් කුඩා කුඩා පක්ෂ කිහිපයක් සමඟ ම සාකච්ඡා කළ ඔවුන් මෙහිදී කළ කැපී පෙනෙන සාකච්ඡාවක් වූයේ සමගි ජන බලවේගය සමග කරන ලද සාකච්ඡාවයි.
● සජබෙ එකඟතාවට
කොන්දේසි දෙකක්…
සමගි ජන බලවේගය ඒ වන විට නුවර සිට කොළඹ බලා ආ පා ගමනේ අවසන් අදියරට පැමිණ සිටියේය. ඔවුන්ගේ සැලසුම වූයේ එම පා ගමන මැයි 1 වැනි ඉරිදා මැයි පෙළපාලියෙන් අවසන් කිරීමට ය.
කැම්බල් පිටියෙන් ආරම්භ කළ මැයි පෙළපාලිය කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා පැමිණියේය. මැයි රැලිය නිදහස් චතුරස්‍රයේ ඩී.එස්. සේනානායක පිළිරුව අබියස පවත්වන්නට අලංකාර වේදිකාවක් සාදා නිම කර තිබුණේ හරීන් ප්‍රනාන්දුගේ අධීක්ෂණයෙනි. කෙසේ වෙතත් අති විශාල සෙනඟක් මෙම මැයි රැලියට සහභාගි වී සිටියේ යැයි කිවහොත් නිවැරදිය.
අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව සඳහා වූ කමිටුව සමගි ජන බලවේගය හා සාකච්ඡා කළේ මැයි රැලියට සමගාමීව ය. එදින යම් කලබලකාරී පරිසරයක් කොළඹ තිබුණත් සාකච්ඡාවට ඒ කිසිවකින් බාධාවක් වූයේ නැත.
“ඔබලා මේ ආණ්ඩුවට විරුද්ධව ගේන විශ්වාසභංගය පිළිබඳ අපට ගැටලුවක් නෑ. විශ්වාසභංගය දිනුවට පස්සේ මොකක්ද කරන්නේ කියලා සැලැස්මක් ඕන. ඒ සඳහා අපේ යෝජනා දෙකක් තියෙනවා. එක්කෝ ඕගොල්ල මේ ආණ්ඩුව අරගෙන මේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න. අපි පැත්තක ඉඳන් සහයෝගය දෙන්නම්. එහෙම නැත්තං අපි මේ ගේන අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවට එකඟ වෙන්න. ඒ සඳහා මොනවද ඕගොල්ලන්ගේ යෝජනා කියලයි අපි සාකච්ඡා කරන්නේ…” කමිටුව කීහ.
“ඔයගොල්ලො ඉස්සරවෙලා අගමැතිට විරුද්ධව අපි ගේන විශ්වාසභංගයට අත්සන් කරන්න. ඊට පස්සේ අපි ඔයාල ගෙනාපු අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවට එකඟත්වය පළ කරන්නම්…” සජබය පැත්තෙන් කියවිණි.
මේ අනුව දෙපිරිස අතර එක්තරා අන්දමක එකඟතාවයක් විය.
● පොහොට්ටුවෙන් ආ
දේශපාලන දුස්රාව…
අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ කමිටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හමුවූයේ පසුගිය 2 වැනි සඳුදා ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය ජී. එල්. මුලින්ම පැමිණ සිටියේය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් ආවේ උදේ 11.20ට පමණය. කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ නියෝජිතයන් පැමිණියේ තරමක් ප්‍රමාද වී ය. සාකච්ඡාවට එක් පැත්තකින් පස් දෙනාගේ කමිටුවත් අනිත් පැත්තෙන් මහාචාර්ය ජී. එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න, රමේෂ් පතිරණ පැමිණ සිටියහ.
මේ වෙලාවේ කමිටුව පැත්තෙන් හොඳ පැහැදිලි කිරීමක් කළේය.
“වර්තමානයේ රටේ තියෙන ප්‍රශ්නය අපි ඔක්කොටම පැහැදිලියි. අපි දැන් මේ ප්‍රශ්නය ගැන වටේ කැරකෙමින් සාකච්ඡා කරනවා විතරයි. හැබැයි මේ විදියට කල් ඇරීමෙන් වෙන්නේ දවසෙන් දවස රට ප්‍රපාතයට වැටෙන එක. අපට ඉක්මන් විසඳුමක් ඕන.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උනත් කියන්නේ ජාත්‍යන්තරයෙන් ආධාර උපකාර ගන්න නම් ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න කියලා. ශක්තිමත් නොවූ ආණ්ඩුවකට ලෝකේ කිසිම රටක් උදව් කරන්නේ නෑ. ඒක හින්ද රට ගැන හිතනවා නම් අපි ඉක්මන් විසඳුමකට ඇවිල්ල ශක්තිමත් ආණ්ඩුවක් හදලා ලෝකෙට විශ්වාසයක් ඇති කරන්න ඕන….”
කමිටුව එසේ කී පසු ජනාධිපතිවරයා කතා කළේය.
“හැමෝම කියනව අගමැතිතුමාට ගෙදර යන්න කියලා. ඒ උනාට අගමැතිතුමාට එහෙම කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද. මට නම් බෑ එතුමට අයින් වෙන්න කියන්න. අපි ඒක කළ යුතුයි. හැබැයි එතුමගෙ හිත නොරිදෙන විදිහට සූක්ෂමව කළ යුතු වැඩක්. එතුමන්ටත් පිළිගන්න පුළුවන් වැඩපිළිවෙළක් හදලා කවුද ඊළඟ අගමැති කවුද ඊළඟ ඇමැතිවරු කියලා සැලැස්මක් පෙන්නුම් කළොත් එතුමාම කැමැත්තෙන් අයින් වේවි…” ගෝඨාභය කීවේය.
“ඒක තමයි අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙන්නේ…” කමිටුව කීවේය.
“මම මේ කඩාකප්පල්කාරී ප්‍රශ්න අහනවා කියල හිතන්න එපා. මට ප්‍රශ්න කීපයක් තියෙනවා විසඳ ගන්න.” සාගර කාරියවසම් කීවේය.
“ඔයගොල්ලා යෝජනා කරනවා ජාතික විධායක සභාවක් ගැන. හැම ලොකු කුඩා පක්ෂයකටම මේ කමිටුවේ එක් නියෝජනයක් ලැබෙනවා. පොදුජන පෙරමුණ කියන්නේ මේ කණ්ඩායමේ ඉන්න ලොකුම පක්ෂය. ඒකටත් එක නියෝජිතය යි. රතන හිමියන්ටත් එක නියෝජිත යයි… මෙතන කොහොමද සාධාරණ නියෝජනයක් තියෙනවා කියලා බලාපොරොත්තු වෙන්නේ… මේ කමිටුවේ ඡන්දෙන්නේ අගමැතිවරයා ඇතුළු ඇමැතිවරු පත් කරන්න ජනාධිපතිට උපදෙස් දෙන්නේ…” සාගර ඇසුවේ සාධාරණ ප්‍රශ්නයකි.
“මොකක් හරි තැනකින් පටන් ගන්නයි ඕන. ඒවගේ තියන ප්‍රශ්න විසඳාගන්න පුළුවන්. අපි කතාබහ කරල එකඟත්වයකට එමු.” කමිටුව කීහ.
මේ අයුරින් සාකච්ඡාව පැය එකහමාරක් පමණ ඇදී ගියේය. තරමකින් සාකච්ඡාව උණුසුම් වන විට ජනාධිපති මාධ්‍ය අංශයට එතැනින් ඉවත් වන්නට සිදුවිය. ඊළඟ අගමැති කවුදැයි යන කාරණාව දැඩි ලෙස විවේචනයට බඳුන් වූහ.
මෙහිදී පොදුජන පෙරමුණෙන් දැඩි කොන්දේසියක් පෙරට ආවේය…
“පොහොට්ටුවේ එකම අගමැති නියෝජිතයා මහින්ද රාජපක්ෂ පමණයි. මහින්ද අගමැතිතුමාව ඉවත් කරලා පොහොට්ටුව වෙනත් කෙනෙක් අගමැති කරනවාට අපි එකඟ නෑ. එහෙම නම් වෙනත් පක්ෂයකින් අගමැතිවරයෙක් නම් කරන්න…”
සාකච්ඡාව අවසන් එකඟතාවයකින් තොරවම අවසන් විය. අවසානයේ දේශපාලන නිරීක්ෂකයෝ මෙම සාකච්ඡාවේදී පොදුජන පෙරමුණෙන් පැමිණි යෝජනාව හැඳින් වූයේ ඩලස් අලහප්පෙරුම අගමැති කරවීමේ යෝජනාවට එරෙහිව පැමිණි දේශපාලන දුස්රාවක් ලෙසයි.
● අලුත්ම අර්බුදය
නියෝජ්‍ය කථානායක…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය තනතුරෙන් ඉවත් වී අලුත් ආණ්ඩුවක් පත් කර ගන්නට අවස්ථාව ලැබෙනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුවත් පසුගිය සතියේ එබඳු කිසිවක් සිදු වූයේ නැත.
ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් බොහෝදෙනෙක් ඊළඟ ආණ්ඩුව ගැන සිතමින් සිටියහ. ඇතැමකු දිනේෂ් හොඳයි කීහ. වැඩි දෙනාගේ බලාපොරොත්තුව වූයේ ඩලස්ය. ඊළඟ හොඳම සුදුස්සා නිමල් සිරිපාල ද සිල්වා යැයි කී අය ද සිටියහ.
අනුර යාපාගේ නමත් තැන තැන කියැවිණි.
සමාජය අගමැති ගැන කතාබහ කරමින් සිටියදී තවත් ප්‍රශ්නයක් දේශපාලන කරළිය මත පතිත වූයේ හිටපු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීමත් සමග ය. එම නිසා දැන් අගමැති සෙවීම පැත්තක තබා නියෝජ්‍ය කථානායකයෙක් සෙවීමේ මෙහෙයුමට දේශපාලන පක්ෂ අවතීර්ණ වූහ.
එය සිදු වූයේ මෙසේය.
හිටපු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය එම ධුරයෙන් ඉවත් වන්නට තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සියලුදෙනා ස්වාධීන වී විපක්ෂයේ වාඩි වන්නට තීරණය කරනවාත් සමගය. එහෙත් එම ඉල්ලීම ජනාධිපතිවරයා භාර ගත්තේ නැත. තවදුරටත් එම තනතුරේ ඉන්නැයි ජනාධිපතිවරයා කරන ලද යෝජනාවට අනුව තවත් මාසයකට පමණක් තනතුරේ ඉන්නට රංජිත් තීරණය කළේය.
මාසයක් අවසන් වූවාට පසු නැවතත් තම අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යැවූ රංජිත් තනතුරෙන් ඉවත් විය.
ඒ අනුව මෙම සතියේ පාර්ලිමේන්තුව පටන් ගනිද්දී නියෝජ්‍ය කථානායකවරයෙක් පත් කරගන්නට පාර්ලිමේන්තුවට සිදුවිය.
ඒ අතරතුර නියෝජ්‍ය කථානායක තනතුරට පුද්ගලයකු ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂ එක් වී කරන ලද සාකච්ඡා ගණනාවක් ද විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවෙන් ඉවත් ව ස්වාධීන වූ මන්ත්‍රීවරුත් සමගි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂත් පොදු විපක්ෂය හැටියට එකම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට පූර්ව එකඟතාවක් ඇතිව සාකච්ඡා කරනු ලැබීය. ඒ අනුව ඔවුන් සියල්ලන්ගේම යෝජනාව වූයේ ද රංජිත් සියඹලාපිටියයි. විශේෂයෙන්ම සමගි ජන බලවේගය, දෙමළ, මුස්ලිම් පක්ෂ කිසිවක් ඒ සඳහා වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නට සූදානම් වූයේ නැත.
මේ අතර ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම ද නියෝජ්‍ය කථානායක ධුරය සඳහා නමක් ඉදිරිපත් කරන්නට කතාබහ කරන්නට වූහ.
● අරගල ඔක්කෝම
සුළුතර පිරිසක්ලු…
ඔවුන් ශ්‍රීලනිපයෙන් ඕගොල්ලන්ගේ පොදු අපේක්ෂකයා කවුදැයි කියා විමසනු ලැබීය. ඒ රංජිත් සියඹලාපිටිය ම බව දැනගත් ඔවුන්ගෙන් පිරිසක් ද ඔහුට සහාය දීම වඩාත් සුදුසු යැයි යෝජනා කර සිටියහ.
මේ පිළිබඳ කතාබහ වූ සාකච්ඡාව පසුගිය අඟහරුවාදා දහවල් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක පැවැත්වුණේ අගමැතිවරයා මුලසුනේ තබාගෙනය.
එම සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් ගේ අදහස වී තිබුණේ රංජිත් සියඹලාපිටිය කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ රාජකාරි කළ බැවින් ඔහුටම මේ තනතුරු ලබාදී කටයුතු කිරීමට සහයෝගය දීම වඩාත් සුදුසු බවටය. එහෙත් ඒ පිළිබඳ විවිධ යෝජනා විය.
“ආණ්ඩුව හැටියට අපිත් කෙනෙක් ඉදිරිපත් කරන එක තමයි හොඳ…” ජගත් කුමාර මන්ත්‍රීවරයා කීවේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැඩ කරන්නේ ආණ්ඩු පක්ෂයට විරුද්ධව. එහෙම එකේ අපි මොකටද ඒගොල්ලට උදව් කරන්නේ. අපි වෙනම අපේක්ෂකයෙක් දාන්න ඕන… මේ සෙල්ලම දැන් ඇති. අපට එරෙහිව හැමතැනින්ම විරෝධතා එකතු වෙනවා. අපි නිහඬව හිටිය හොඳටම ඇති. මේ විදිහට රට යන්න දෙන එක විහිළුවක්. මේකට නැවතීමේ තිත තැබිය යුතුමයි…” ජොන්ස්ටන් තදින් කීවේය. ඔහුගේ යෝජනාව අජිත් රාජපක්ෂව ඉදිරිපත් කිරීමටය.
“ඔහේ එක එකා ඉදිරිපත් කරන නම්වලට නම් මම ඡන්දෙ දෙන්නෙ නෑ….” විමලවීර දිසානායක කීවේය.
“එක එකා කියන්න එපා… ඒ අයත් ගරු මන්ත්‍රීවරුන්…” මහින්ද රාජපක්ෂ කීවේය.
“මෙතන ඉන්නවා පාවාදෙන්නෝ… ඒ කවුද කියලා හොඳට දැන ගන්න පුළුවන් වෙනම කෙනෙක් ඉදිරිපත් කළොත්… මේ විදියට ගිහින් බෑ…” ජොනී තවදුරටත් කීවේය.
“ආණ්ඩුව හැටියට අපි හිතුවක්කාර වෙන්න හොඳ නෑ. අපිට විරුද්ධව ලොකු විරෝධයක් රටේ තියනවා. ජනතාව අපිට ගෙදර යන්න කියනවා. අපි මේ වෙලාවේ අපේක්ෂකයෝ දාන්න යන්න හොඳ නෑ…” මන්ත්‍රීවරයෙක් කීවේය.
“ජනතාව අපට ගෙදර යන්න කියලා නෑ. ඔය ඔක්කොම කියන්නේ සුළුතර කණ්ඩායමක්. ඔය වගේ ජනතා තෙරපුම් ඉතිහාසය පුරාම වෙලා තියෙනවා. ජනතාව කියන කියන වෙලාවට ආණ්ඩු ගෙදර ගියා නම් හැත්තෑ එකේදිත් ආණ්ඩුව වෙනස් වෙනවා. ප්‍රභාකරන් රාජ්‍ය නායකයාත් වෙන්න තිබුණා. ජනතාව කියලා පෙන්නගෙන සුළුතරයක් කියන කතාවලට අපි යටවෙන්න හොඳ නෑ..” සුරේන් රාඝවන් කීවේය.
“මමත් කියන්නේ ආණ්ඩුව මේ වෙලාවේ අපේ කොන්ද පාවිච්චි කරන්න ඕන…” කෙහෙළිය කිව්වේ ය.
“මොනව කරත් අගමැතිතුමාට විරුද්ධ වෙන්න නම් අපිට බෑ…” එස්. එම්. චන්ද්‍රසේන කතාව වෙනස් කළේය.
මේ අතර ගාමිණී ලොකුගේ කතා කළේ මැයි දිනයේ සාර්ථකත්වය ගැන ය. දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මැයි දිනය නුගේගොඩ දී පැවැත් වූ ආකාරය ඔහු විස්තර කළේය.
මේ අතර රෝහිත අබේගුණවර්ධන ලලිත් එල්ලාවලට බැණවදිමින් කතා කළේය. ජනාධිපති අගමැති වන් ප්‍රවීණයන්ට විරුද්ධව කතා කරන්නට පාර්ලිමේන්තුවේ හතර මායිමවත් හරිහැටි නොදන්නා ආධුනිකයින් එඩිතර වූයේ කෙසේදැයි අසමින් කතා කළ රෝහිත මේ හැමෝටම දිය හැකි හොඳම උත්තරය පාර්ලිමේන්තුව විසුරුවා දමා මැතිවරණයකට යෑම බව පෙන්වා දුන්නේය.
“මෙතනදි අපි දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන මේ කඳවුර දාලා නොගියාට. එතුමා වීරයෙක්…” රෝහිත කීවේය.
මේ ආකාරයෙන් නියෝජ්‍ය කථානායකයා ගැන කතා කරන්නට පටන් ගත් සාකච්ඡාව දුරදිග ගියේය. අවසානයේ අවසන් තීන්දුවක් නොවීය. පසුවදාත් ඒ ගැන කතා කර තීන්දුවක් ගන්නට නියම විය.
● නිතීපති උපදෙස්
දිනේෂ් කියාදෙයි…
බදාදා උදේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණි. සමගි ජන බලවේගය වෙනුවෙන් එහි නායක සජිත් ප්‍රේමදාස මෙහිදී විශ්වාසභංග දෙකක් ඉදිරිපත් කර තිබුණි. එකක් මහින්ද රාජපක්ෂ අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට ය. අනිත් එක ජනාධිපතිවරයාට ය.
ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව හැකියාවක් නැත. ඔහුට විරුද්ධව ඉදිරිපත් කළ හැකි වන්නේ දෝෂාභියෝගයක් පමණි. මෙහිදී එම කාරණා කිහිපය ගැඹුරින් සාකච්ඡාවට ලක් වූහ.
“යෝජනා සම්මතයකින් විශේෂ අවස්ථාවකදී එහෙම විශ්වාසභංගයක් ගේන්න පුළුවන්” සජිත් තර්ක කළේය. මෙය විශේෂ අර්ථකථනයක් විය. සබ්ස්ටෑන්ඩින් මෝෂන් ලෙස සජිත් එය නම් කළේ ය.
“මම නීතිපති උපදෙස් ගන්නවා මේ සම්බන්ධයෙන්…” කථානායක කීවේය.
“නීතිපති උපදෙස් ගන්න දෙයක් මෙතන නෑ.” සජිත් කීවේය.
“එහෙම කියන්න එපා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය කරුණු සඳහා නීතිපතිගේ උපදෙස් ගන්න කථානායකවරයාට ඕනම වෙලාවක පුළුවන්. ඉතිහාසයේ එහෙම දේවල් වෙලා තියෙනවා.” දිනේෂ් ගුණවර්ධන කීවේය.
දිනේෂ් මෙහිදී අතීත සිද්ධියක් මතක් කරමින් කතා කළේ 1990 පෙබරවාරි 18 රිචඩ් සොයිසා මරා දැමීමේ සිද්ධිය ද මතක් කරමිනි.
“මම එදා රිචඩ් ද සොයිසා ගැන පාර්ලිමේන්තුවේ කතා කරනකොට ආණ්ඩු පක්ෂය විරුද්ධ වුණා නඩුවක් තියෙන නිසා ඒ ගැන කතා කරන්න බෑ කියලා. ඒ වෙලාවේ කථානායක හිටපු එම්. එච්. මොහොමඩ් මහත්තයා නීතිපතිගෙන් උපදෙස් අරගෙන අපට කතා කරන්න අවස්ථාව සලසලා දුන්නා….” දිනේෂ් කීවේය.
පහුවදා පාර්ලිමේන්තුව පවත්වන ආකාරය ගැන කතා කිරීමෙන් පසුව එදින පක්ෂ නායක රැස්වීම අවසන් වූයේ එලෙසිනි.
නියොජ්‍ය කථානායක ධුරය සඳහා රංජිත් සියඹලාපිටියට සහාය දෙනවද, නැත්නම් වෙනත් අයකු පත් කරනවාද කියා කතා බහ කර ගන්නට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම බ්‍රහස්පතින්දා උදයේත් සාකච්ඡා කළහ. එහිදී ජී. එල්. පීරිස් ප්‍රමුඛ පිරිසක් කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය දීමෙන් අවැඩක් සිදු නොවන බවකි. එහෙත් ආණ්ඩුවේ ස්ථාවරය හා ගෞරවය රැක ගැනීමට නම් ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කර පත්කර ගත යුතු බව කී අය ද සිටියහ.
බ්‍රහස්පතින්දා උදේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍ර අනුකූලව කළ යුතු වූයේ 27/2 වගන්තියට අනුව මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක් ලබා දීමටය. එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය කථානායකවරයා පත්කිරීම ඉදිරියට ගත යුතු බව යෝජනා කළේය.
ඒ අනුව නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා ඉදිරිපත් කරන්නට අවස්ථාව සැලසිනි. නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එම ධුරයට රංජිත් සියඹලාපිටියගේ නම ඉදිරිපත් කරද්දි කල් වේලා ඇතිව කතාබහ කරගත් පරිදි එය ස්ථිර කරන්නට සිටියේ රාජිත සේනාරත්න ය. ඒ ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබූ නිසාය. එහෙත් රාජිත නොනැගිටි නිසා සුසිල් ප්‍රේමජයන්ත එය ස්ථිර කළේය.
වෙනත් නම් තියෙනවා දැයි කථානායක විමසද්දී ලක්ෂ්මන් කිරිඇල්ල… තියනවා… තියනවා කෑ ගැසීය.
මේ අතර මහාචාර්ය ජී. එල්. පීරිස් නැගිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගයත් රංජිත් සියඹලාපිටිය වෙත ලබා දෙන බව කියා සිටියේය.
එම අවස්ථාවේ රංජිත් මද්දුමබණ්ඩාර නැගිට ආණ්ඩුවේ සහයෝගය රංජිත් සියඹලාපිටිය ට දෙන්නට ආණ්ඩු පක්ෂය ක්‍රියාකරන නිසා විපක්ෂය වෙනුවෙන් ඉම්තියාස් බාකිර් මාකාර් ගේ නම යෝජනා කරන බව කීවේය.
පාර්ලිමේන්තුව උණුසුම් වී රහස් ඡන්දයකට ගියේ ඒ හේතුව නිසාය.
● රහස් ඡන්දයේ
සජිත් ආදර්ශය…
රහස් ඡන්දය කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස ඒ මොහොතේ තමන් ඡන්දය ලබා ලබා දුන් ආකාරය හා සිය අත්සන වටේටම පෙන්වමින් ඡන්දය පාවිච්චි කළේ කථානායකවරයාගේ දැඩි විරෝධය පිටයි.
රහස් ඡන්දයක් ඉල්ලපු අයම රහස් ඡන්දයේ තිබෙන විධිවිධාන හා වටිනාකම උල්ලංඝනය කළ බව කථානායකවරයා පෙන්වා දුන්නේය.
අවසානයේ රංජිත් සියඹලාපිටියට ඡන්දය එකසිය හතළිස් අටක් ලැබිණි. විපක්‍ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයාට ලැබුණේ ඡන්ද 65ක් පමණි.
මෙම ප්‍රතිඵලය වූයේ පාර්ලිමේන්තුව කවර අභියෝගවලට මුහුණ දුන්නත් එහි තිබෙන ඇත්ත බලතුලනය කුමක්ද කියා රටට හෙළිදරව් වීම බව එක් පිරිසක් තර්ක කළහ.
කොතරම් විශ්වාසභංග ගෙනාවත් සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් නොමැති බව මින් පැහැදිලි වේ යැයි සමහරු තර්ක කළහ. මෙම තත්ත්වය අනිත් පැත්තට විග්‍රහ කරන අයද සිටියහ. රටට මොන බොරුව පෙන්නුම් කළත් ආණ්ඩු පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ස්වාධීන වූවා යැයි කියන අයත් තවමත් ඉන්නේ ආණ්ඩු පක්ෂයේම බව මින් හෙළිදරව් වෙතැයි තවත් පිරිසක් කීහ.
පාර්ලිමේන්තුව ඇතුළේ මේ මොන විපරියාස වෙතත් ගෝල්ෆේස් පිටියේ අරගලය රට පුරාම පැතිර යන්නට විය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පෙරටුගාමී පක්ෂයේ තරුණ බලවේග පාර්ලිමේන්තුව වට කරන්නට යන ආකාරය පැහැදිලි විය. විරෝධතා හර්තාලවල ඉවරයක් නොවීය. රටේ ප්‍රශ්න තමන්ගේම ප්‍රශ්න කරගනිමින් අන්තරයේ ශිෂ්‍යයෝ මුළු පාර්ලිමේන්තුවම එපා කියමින් සටන් වදිද්දී කරකියාගත හැකි කිසිවක් නොමැතිව ආරක්ෂක අංශ අසරණ වන ආකාරය ද අපට බලාගත හැකි විය.
බුලිත ප්‍රදීප් කුමාර