මහනුවර පෙරහැර අලුත්නුවරින් අලුත් වන හැටි

175

වසරක් පාසා මහනුවර බැබළෙන දළදා අසිරිය

මෙවර ‘කප්’ සිටුවන්නේ ජූලි විසි නව වැනිදා

‘කප’ හදන්නේ මෙහෙමයි

කිත්සිරි මෙවන් රජු දවස පටන් අද දක්වාම දන්තධාතුන් වහන්සේ මෙරට බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙසින් පූජෝපහාරයට බඳුන් වේ. සකල ලෝකවාසී බෞද්ධ ජනයාටත් විශේෂයෙන් සිංහල බෞද්ධ ජනයාටත් මෙය මහානර්ඝ වූ පූජා වස්තුවකි. ඒ වෙනුවෙන් කර ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාව වූ කලී සිංහල ජාතියේත්, බෞද්ධ ආගමේත් උත්තරීතර සංකේතයයි. රාජ්‍යයත්, ආගමත් එකිනෙකට යා කොට බැඳ තබා ගනිමින් වසර එක් දහස් හයසියයකට වඩා අධික කාලයක් මුළුල්ලේ දිවයිනේ නොයෙකුත් රාජධානි තුළ සැදැහැවත් බෞද්ධ නරපතියන් ඉදිකළ දළදා මැඳුරුවල සෙවන හා රැකවරණය ලබමින් නොකඩවා කෙරෙන පුද සත්කාර හමුවේ උපේක්ෂා සහගත මුත් විරාජමානව වැඩ සිටින දළදා වහන්සේ වනාහී ලාංකීය සමාජය තුළ වූ විවිධ පැතිකඩවල් අවධාරණය කරලීමෙහිලා ඉවහල් වූවකි.

හෙළයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මෙම මහනුවර ඇසළ පෙරහැර ආරම්භ වන්නේ නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාලයන්හි පෞරාණික චාරිත්‍රානුකූලව සුබ නැකතට කප් සිටුවීමෙනි.

මෙම වසරේ එය සිදුවන්නේ එළැඹෙන ජූලි විසි නව වැනි දිනය. පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරන කප් සිටුවීම අනාදිමත් කාලයක පටන් පැවැත එන ඉතා වැදගත්වූ චාරිත්‍රයකි. පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම සුබ නැකතට අනුව පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සිදු කිරීම තුළින් පෙරහැර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කළ හැකි බවට අතීතයේ පටන් පැවත එන විශ්වාසයක් පවතී. මේ නිසාම කප් සිටුවීමේ මංගල්‍යය පෞරාණික චාරිත්‍රවලට අනුව අකුරටම ඉටු කිරීමට පෙරහැර සංවිධානය කරන්නෝ වගබලා ගනිති. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භයේ සිට අවසානය දක්වාම පැවැත්වෙන්නේ රජ දවස පටන් පැවත එන පෞරාණික චාරිත්‍ර අනුවය. එහිදී නැකැත්වලට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. පෙරහැර ආරම්භය සනිටුහන් කරන කප් සිටුවීමේ මංගල්‍යයේ සිට දිය කැපීමේ මංගල්‍යය දක්වා සියලු දේ සිදු වන්නේ නැකැත් මූලික කර ගනිමිනි. මෙහිදී පෙරහැර කේන්ද්‍ර කර ගනිමින් පවත්නා පෞරාණික චාරිත්‍ර බොහොමයකට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ මහනුවර මහ විෂ්ණු දේවාලයයි. පෙරහැරේ ආරම්භයත් අවසානයත් සනිටුහන් කරන කප් සිටුවීමේ හා දිය කැපීමේ මංගල්‍යයන් හා බැඳී පවතින චාරිත්‍ර මෙහිදී ප්‍රධාන තැනක් ගනී. මෙම චාරිත්‍ර දෙකම ඉෂ්ට සිද්ධ කිරීමේ වගකීම මහ විෂ්ණු දේවාලයට භාරවී තිබෙන්නේ රාජ නියමය අනුවය.

මහනුවර පෙරහැර අලුත්නුවරින් අලුත් වන හැටි

දෙවුන්දර සිට අලුත්නුවරට විෂ්ණු දෙවියන් වැඩම කිරීම සිදුව තිබෙන්නේ ක්‍රි. ව. 1200 පමණය. එතැන් පටන් වසර පන්සියයක පමණ කාලයක් විෂ්ණු දෙවියන් උදෙසා පෙරහැර මංගල්‍යයන් හා පුද පූජා පැවැත්වීම හතර කෝරළය මූලික කර ගනිමින් අලුත්නුවරදී සිදු කෙරුණි. සීතාවක රාජධානියේ සිට මහනුවර දක්වා පැමිණිය හැකි මාර්ගය මෙම දේවාල භූමිය ඔස්සේ වැටී තිබිණි. සුදු ජාතිකයින් මෙම මාර්ගය ඔස්සේ උඩරට ආක්‍රමණය කිරීමට ඒමේදී දේවාලයට හානි කිරීම නිසා 18 වැනි සියවස මුල් භාගයේදී විමලධර්මසූරිය රජු උපුල්වන් විෂ්ණු දේවාලය මහනුවරට ගෙන ආ බව ඉතිහාස තොරතුරුවලින් අනාවරණය වෙයි. මහනුවර පිහිටි රජ මාලිගාව ආසන්නයට විෂ්ණු දේවාලය ගෙන ඒමේදී අලුත්නුවර රාජකාරි කළ පිරිස්ද ඒ සමඟ මහනුවරට පැමිණියේ රාජ නියමය පරිදි අදාළ රාජකාරී ඒ ලෙසින්ම ඉටු කරන්නටය. පැරණි විෂ්ණු දේවාලය පිහිටි මාවනැල්ල අලුත්නුවර භූමියේ වර්තමානයේ දක්නට ලැබෙන්නේ දැඩිමුණ්ඩ දේවාලයයි. මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ධුරයට පත්වන තැනැත්තා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේදී බස්නායක නිලමේ ලෙසද පිළිගැනීම සියවස් ගණනාවක පටන් පැවැත එන සම්ප්‍රදායකි. දේවාල දෙක එකම බස්නායක නිලමේවරයකු යටතේ පාලනය වීම මගින් රජ දවස පටන් මෙම දේවාල දෙකෙහි පැවැති සම්බන්ධතාව මනාව පැහැදිලි වෙයි. විෂ්ණු දේවාලය මහනුවර ස්ථාපිත කිරීමෙන් පසු මහනුවර කේන්ද්‍ර කර ගනිමින් පෙරහැර කිරීම ආරම්භ විය.

මහනුවර පෙරහැර සිදු කිරීමේදී අලුත්නුවර පෙරහැර සිදුකර අත්දැකීම් ඇති රාජකාරීකරුවන් මූලිකත්වය ගැනීම නිසා විෂ්ණු දේවාලයට එහි ප්‍රධාන කාර්යභාරයක් සිදු කිරීමේ වගකීම පැවරිණි. දේවාලයේ මුල් ඉඩම් හා රාජකාරිකරුවන්ගේ ඉඩම් සියල්ල අලුත්නුවර පිහිටා තිබීම නිසා පෙරහැරට ‘කප’ කපා ගැනීම සිදු කෙරෙන්නේ අලුත්නුවර දේවාල පරිශ්‍රයෙනි. එම කප අලි ඇතුන් සහිත පෙරහැරකින් මහනුවර විෂ්ණු දේවාලයට වැඩම කර පල්ලේ දේවාලයේ තැන්පත් කරයි. කප ලෙස කපා ගන්නා පණස දැව කඳ කැබලි හතරකට කපා කප් සිටුවීමේ මංගල්‍යය සඳහා සෙසු දේවාලවලට බෙදා දීම සිදු කරනු ලබන්නේ වන්නගු රාළ හා දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ මූලිකත්වයෙනි. කප ගලවා රැගෙන ගොස් දියේ පාකර දිය කැපුම් මංගල්‍යය පවත්වන රාජකාරියේ ද ප්‍රධාන තැන හිමිවන්නේ විෂ්ණු දේවාලයට ය. පැරණි රජදවස පටන් පැවත එන චාරිත්‍රයන්ට අනුව මහනුවර සතර මහ දේවාල මූලික කර ගනිමින් සිදු කෙරෙන කප් සිටුවීමේ මංගල්‍යය සඳහා අවශ්‍ය කප වැඩම කරනු ලබන්නේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ සිටය. අලි ඇතුන් සහිත පෙරහැරකින් අලුත්නුවර සිට කිලෝ මීටර 26 ක දුරක් ගෙවමින් දින දෙකක් තිස්සේ වැඩම කරනු ලබන කප මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේදී සිව් කඩකට කපා සෙසු දේවාල අතර බෙදා දීම රජ දවස පටන් සිදු කෙරෙයි. පෙරහැර මංගල්‍යය සඳහා දින වකවානු තීරණය කිරීමත් සමග කප වශයෙන් තෝරා ගන්නා පණස වෘක්ෂයක් (කොස් ගසක්) ඒ සඳහා වෙන්කර ගනී. උදලු මිටක් තරම් මහත කඳකින් සමන්විත කොස් ගසක් මේ සඳහා තෝරා ගන්නා අතර ගස වටා ශුද්ධ පවිත්‍ර කිරීමෙන් පසු ගස සුවඳ පැණින් නහවා මල් පහන් පූජා කර වතාවත් ඉටු කරනු ලබයි. දින හතක් තිස්සේ ගසට පූජා පවත්වමින් පේ කර කපු මහතුන් විසින් සුබ නැකැතට අනුව එය කපා ගැනීම සිදු කරයි.

එසේ කපා ගන්නා පණස වෘක්ෂ කඳ කොටස පෙරහැරින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට වැඩම කර එහිදී කොටස් හතරකට වෙන් කරගනු ලබයි. එම කොටස්වලින් එකක් විෂ්ණු දේවාලයේ තබාගෙන අනෙක් ඒවා නාථ, කතරගම හා පත්තිනි දේවාලවලටත් බෙදා දෙයි. කප දේවාල කරා වැඩම කරනු ලබන්නේද පංච තූර්ය වාදන සහිත පෙරහැරකිනි. දළදා මාලිගාවේ නැකැත් කෝරාළ විසින් ලබාදෙන සුබ නැකතට අනුව මෙම කප සතර මහ දේවාලයන්හිදී එකම වේලාවකදී සිටුවනු ලබන්නේ රජ දවස පටන් පැවත එන චාරිත්‍ර ගරු කරමිනි. දේවාල භූමියේ ඇහැළ ගේ නම් විශේෂ ස්ථානයක් සකස් කර ඒ වටා සුදු තිර ඇද ගොක් කොළ එල්ලා මල් පලතුරුවලින් පූජා පවත්වා කප් සිටුවීමේ චාරිත්‍රය ඉටු කෙරෙන අතර එය මහනුවර ඇසළ පෙරහැරේ ආරම්භය ලෙස සැලකෙයි. එදින පටන් සතර මහ දේවාලයන්හි දින පහක් අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙයි. කපු මහතුන් විසින් දේව ආභරණ දේවාලයෙන් පිටතට වැඩමවා පංච තූර්ය නාද මධ්‍යයේ දේවාල භූමිය වටා පැදකුණු කොට උඩු වියන්, ධජ, මුතුකුඩ, සේසත් සහිතව කප වටා පෙරහැර පැවැත්වීම දේවාල අභ්‍යන්තර පෙරහැර ලෙස හඳුන්වයි.

දේවාල අභ්‍යන්තර පෙරහැර දින පහක් පැවැත්වීමෙන් පසු මහනුවර ඇසළ පෙරහැර වීදි සංචාරය ආරම්භ වන්නේ කුඹල් පෙරහැරෙනි. දින පහක් කුඹල් පෙරහැරද අනතුරුව තවත් දින පහක් රන්දෝලි පෙරහැරද වීදි සංචාරය කිරීමෙන් පසු දහවල් පෙරහැර වීදි සංචාරය කර පෙරහැර මංගල්‍යය නිමාවට පත්වෙයි. නිකිණි පුන් පොහෝ දින රාත්‍රී අවසන් රන්දෝලි මහ පෙරහැර වීදී සංචාරය කිරීමෙන් පසු දළදා මාලිගාවේ පෙරහැර අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව විහාරස්ථානය වෙත වැඩම කර එහි පෙරහැර කරඬුව තැන්පත් කරනු ලබයි. පසුව සිව් මහ දේවාල පෙරහැර ගැටඹේ දියකපනා තොට වෙත රාත්‍රීයේම ගමන් කරයි. දිය කැපීමේ මංගල්‍යය සිදු කරන අවස්ථාවේ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් සතර මහ දේවාලයන්හි සිටුවනු ලැබූ කප ගං දියේ පාකර හරී. මෙසේ පාකර හරින කප සෞභාග්‍යයේ සංකේතයක් ලෙස අතීතයේ පටන් සැලකීම නිසා අති විශාල පිරිසක් එය ලබා ගැනීම පිණිස ගඟ පහළ රැස් කකා සිටිනු අද ද දක්නට ලැබෙයි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment