මහනුවර පොහොට්ටුවේ සහායත් රනිල්ට – රෝහිතත් රනිල්ට ළංවෙයි

170

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6ක්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් 202ක් ඇතුළු පිරිස ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

ඉකුත් 02 වැනිදා මහනුවර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගෙන ඇත.

එම රැස්වීමට පැමිණ සිටි සියලු දෙනාගේ මතය වූයේ වසර 2ක් තුළ රට නැවත ගොඩනැඟීමට හැකි වූ නායකත්වයට තවත් වරක් අවස්ථාව ලබා දී මෙරට ආර්ථිකයේ දිශානතිය ගොඩනගා ජනජීවිතය තවදුරටත් සුබදායි කිරීම සඳහා කොන්දේසි විරහිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එක්විය යුතු බවයි. ඒ සඳහා සියලු දෙනා අත් ඔසවා එකඟත්වය පළ කිරීම සිදු විය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් මෙන්ම ශ්‍රී.ල.පො.පෙ. හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.පො.පෙ. හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ගුන්නෑපාන- ජානක සම්පත් බණ්ඩාර

දේවානන්දා – වියාලේන්ද්‍රන් අංගජන් රනිල් සමග

උතුරු සහ නැගෙනහිර පළාත් මෙන්ම සමස්ත රටම එක ලෙස සංවර්ධනය කරා ගෙන යෑමේ පුළුල් දැක්මක් හා වැඩපිළිවෙළක් ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී එතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බව ඊපීඩීපී පක්ෂයේ නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 03 දා පෙරවරුවේ යාපනය පිහිටි ඊපීඩීපී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී එම පක්ෂයේ ක්‍රියාකාරීන් සමඟ හමුවකට එක් විය. එහිදී ඩග්ලස් දේවානන්දා මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර දෙමළ ප්‍රගතිශීලි සංගමයේ නායක රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා විසින් මඩකලපුවේදී සංවිධානය කර තිබූ හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 03 දා පෙරවරුවේ එක් විය.

රට අනතුරට පත්වූ අවස්ථාවේ රටත් ජනතාවත් බේරා ගැනීමට නිර්භීතව ඉදිරිපත් වූ ජනාධිපතිවරයාට රට ඉදිරියේ ඇති අනෙකුත් අභියෝග ජයග්‍රහණය කිරීමේ ශක්තිය ද ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා මෙවර ජනාධිපතිවරණයේ දී එතුමාට පූර්ණ සහාය පළ කරන බව කියා සිටියේය.

මුළු රටම ගිනි ගත් අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූ බවත් ඇතැමුන් අඳුරේම පැනගිය අතර තවත් පිරිසක් සැඟවී සිටි බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටේ ආර්ථිකය ගොඩගත් ජනාධිපතිවරයා අද නව ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට මෙහෙයවමින් සිටින බව පෙන්වා දුන්නේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 2 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ නිවසේ සංවිධානය කර තිබූ හමුවකට ද එක් විය.

ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ඊට එක්ව සිටි අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවී කටයුතු කරන බවට එහිදී ඔවුහු සහතික වූහ.

රෝහිතත් රනිල්ට ළංවෙයි

වාද්දුව – සුමිත් පොතුපිටිය

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (04දා) පැවසීය.

කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කළ මත විමසීමෙන් පසු ඔහු මෙම අදහස් පළ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදෙන ලෙස කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත චන්ද්‍රලාල් මහතා යෝජනා කළ අතර කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ටී. ඩී. ජයසිරි මහතා එය ස්ථිර කළේය.

පානදුර මිල්ලනිය සහ බණ්ඩාරගම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරුන්, කළුතර හිටපු නගරාධිපති ඇතුළු දේශපාලන ක්‍රියාකාරීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment