මහනුවර – හොරොව්පතාන බසය උඩුදෙණියේදී පෙරළීමෙන් 18 දෙනකුට බරපතළයි

78

විදුලි සහ දුරකථන රැහැන් රැසකටත් හානි

මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නාලන්ද උඩුදෙනිය ප්‍රදේශයේ දී යාබද තාප්පයක ගැටී මහමඟ පෙරළීමෙන් පුද්ගලයන් 18 කට වැඩි පිරිසක් බරපතළ තුවාල ලැබූහ.

දඹුල්ල සිට මහනුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තවත් බසයක් පසුකර යෑමේ දී ඉදිරිපසින් පැමිණි හොරොව්පොතාන බසයේ පැති කණ්ණාඩියේ දැවටීමත් සමග එය රියැදුරු පාලනයෙන් ගිලිහී ගොස් යාබද පිහිටි තාප්පයක ගැටී පෙරළී ගොස් ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත.

ඉකුත් 19 දා පස්වරු 04.30ට පමණ මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

අනතුර හේතුවෙන් විදුලි රැහැන් හා දුරකතන රැහැන් රැසකට හානි සිදුව තිබේ. ඒ නවය මාර්ගයේ රථ වාහන ගමනාගමනයටද පැය කීපයක් බාධා එල්ල විය.

නාඋල පොලිසියේ හා මහවෙල පොලිසියේ රථවාහන අංශවල නිලධාරීන් සහ කොහොලන්වල විශේෂ බළකා සෙබළුන් එක්ව කඩිනමින් බසය පාරෙන් ඉවතට තල්ලුකොට වාහන ගමනාගමනයට පියවර ගන්නා ලදී.

තුවාල ලැබූවන් නාලන්ද, දඹුල්ල සහ මාතලේ මුලික රෝහල් වෙත යොමුකර ඇත. ලංගම බස් රථයටද දැඩි හානි සිදුව තිබේ.

පස්වරු හය පමණ වනවිට රෝහල් වෙත තුවාල වූවන් 18ක් ඇතුළත්ව තිබූ අතර එම සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

නාඋල – නිමල් කණහැරආරච්චි


advertistmentadvertistment