රිමාන්ඩ් එකේදී මට අනතුරක් වේවි – සැකකරු කියයි
අගරු චෙක්පත් දෙකක් නිකුත් කළ පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් නොකර එම පැමිණිල්ල ගොඩින් බේරාදීම සඳහා රුපියල් විසිපන් දහසක අල්ලසක් ලබාගත් අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් මහබාගේ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04දා) නියෝග කළේය.
වත්තල පල්ලිය වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැටලීමක් සිදු කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් මහබාගේ පොලිසිය අසලදී පැමිණිලිකරුගෙන් එම අල්ලස ලබාගත් අවස්ථාවේදීම අමරතුංග ආරච්චිලාගේ මහින්ද ජයසිරි නමැති එම පොලිස් පරීක්‍ෂකවරයා පෙරේදා (03දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබිණි.
රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව විත්ති කූඩුවේ සිට අධිකරණය ඇමතූ එම සැකකරු “ස්වාමීනි මම කොම්පඤ්ඤවීදිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිතිවරයා ලෙස කටයුතු කළ සමයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් රැසක්ම මේ වනවිට බන්ධනාගාරයේ සිටිනවා. එනිසා මගේ ජීවිතයට තර්ජනයක් තිබෙනවා. මට විශේෂ ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා” යැයි අධිකරණයට ප්‍රකාශ කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක