මහරගම යතුරුපැදි තරගයේ ‘ජෝගි’ නැටූ පිරිස අල්ලයි

891

ජය ලැබූ අයට රූමත් තරුණියකගේ වෙස්ගත් ලිංගික සංක්‍රාන්තියකුගේ ඇසුර දෙන්නත්
නිවේදනයක් කරලා
අනේ කාලේ වනේ වාසේ මෙහෙමත් නරිනාටක!

‘කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශයන්හි පදිංචිව සිටින තරුණයන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හා වට්ස්ඇප් මෙන්ම අන්තර් ජාල යෙදුම් තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් කැඳවීම් සිදුකර මහරගම හයිලෙවල් මාර්ගයේ අපරීක්ෂාකාරී අයුරින් පැවැත් වූ යතුරුපැදි තරගයක නියැළුණු තරුණයන් 29ක් (12 වැනිදා) අලුයම යතුරු පැදි 21ක් සමග අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

තරගයේ පළමු ජයග්‍රාහකයාට ත්‍යාග වශයෙන් රූමත් තරුණියකගේ වෙස්ගත් සංක්‍රාන්තික ලිංගිකයන්ගේ ඇසුර ලබාගැනීමට අවස්ථාව ලබාදීමට තරග සංවිධායකයන් තීරණ කර ඇති බව පොලිසිය සඳහන් කළේය. යතුරුපැදි පැදවූ තරුණයන් 14ක් සහ තරගය නරඹා ඔල්වරසන්දෙමින් සහාය දැක්වූ තවත් තරුණයන් 15ක් පෙරේදා පාන්දර (12 වැනිදා) අලුයම තරග සඳහා යොදාගත් යතුරු පැදි 21ක් ද සමග අත්අඩංගුවට ගත් බවත් එදිනම දහවල් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ජයසිංහ මහත්මිය නියෝග ලබා දුන් බව මහරගම පොලිසිය පවසයි. එලෙසම පොලිස් භාරයට ගත් සංක්‍රාන්ති ලිංගිකයන් දෙදෙනා සහ තරගය නරඹමින් සිටි පහළොස් දෙනාට කොන්දේසි සහ අවවාද කර පොලිස් ඇප මත මුදා හැර ඇත.

මෙලෙස බන්ධනාගාර ගත කළ 14 දෙනා අතර රත්මලාන, පිළියන්දල කැස්බෑව, කොට්ටාව, කිරුළපන, ඉංගිරිය, හෝමාගම හා බොරලැස්ගමුව, මීගොඩ, පාදුක්ක වටරැක වැනි ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 සහ 25 වැනි වියේ පසුවන තරුණයන් පිරිසකි බවත් පොලිසිය පැවැසීය.

පළමු තරග වටය අවසන් වීමෙන් අනතුරුව අනෙක් තරගයට සූදානම්ව සහාය දක්වමින් ඔල්වරසන් නඟමින් මුදල් ඔට්ටු අල්ලමින් සිටිනවිට මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස දැඩි අවවාද සහ ඇප කොන්දේසි මත පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගත් බවද පොලිසිය පවසයි.

මෙම තරගයේ විශේෂත්වය වනුයේ ප්‍රථම ස්ථානය ලබාගන්නා තරගකරුට ලබාදෙන ජයග්‍රාහි මුදලට අමතරව රූමත් සංක්‍රාන්තික ලිංගිකයකුගේ ඇසුර ලබාගැනීමට අවස්ථාව ලබාදීම බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් ඒ වෙනුවෙන් ගෙන්වා තිබූ සංක්‍රාන්තික ලිංගිකයන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන විත් පරීක්ෂණ කටයුතු සිදුකොට පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගත් බවත් පොලිසිය පවසයි.

කාන්තා වෙස්ගත් සංක්‍රාන්තික ලිංගිකයන් දෙදෙනකු ගෙන්වා ඇත්තේ ප්‍රථම ස්ථානය ලබා ගන්නා තරගකරුගේ සිතැඟි පරිදි ලිංගික ක්‍රියාවන්හි නියැළීමට එක් අයකු තෝරා ගැනීමට බවද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

ඝෝෂාකාරී අයුරින් අපරීක්ෂාකාරී ලෙස තරුණයන් පිරිසක් මහරගම පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ ටැංගෝ බෝඩ් හන්දියේ සිට පන්නිපිටිය දෙසට අධික වේගයෙන් මහජනතාවගේ කනට දැරිය නොහැකි ශබ්ද නිකුත් කරමින් යතුරුපැදි තරගයට පදවන බවට පොලිසියට ලද තොරතුරකට අනුව මෙම සැකකාර තරුණයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර තරුණයන් ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කර තිබූ ඇප් එකක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට යතුරුපැදී පැදවීම සඳහා පැමිණි බවට අනාවරණය කළ බව පොලිස් නිලධාරියකු පැවසීය.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.බී.එස් ජයමහ මහතාගේ ඍජු අධීක්ෂණය මත මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජෙ.සී. රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එම්.ඒ බණ්ඩාර මහතාගේ මෙහෙය වීමෙන් උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ, පොලිස් සැරයන් (56876) වික්‍රමතුංග, (42892) වීරසිංහ, (30674) ප්‍රියංකර, (5007) කමල්සිරි, (51891) ජීවන්ත පොලිස් කොස්තාපල් (69596) සම්පත්, (39126) අරුණ ශාන්ත, (93762) විජය බණ්ඩාර, (31627) ධනසේකර, කාන්තා පොලිස් කොස්තාපල් (12028) හර්ෂණී ඇතුළු නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.
එස්.ඩී. අබේසිංහ -මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment