මහවැලිය මෙන් මතකයේ රැඳෙන ගාමිණී

247

(දිවංගත හිටපු ඉඩම් හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායකයන්ගේ 82 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙනි.)

ජීවත්ව සිටියදීත්, මියගිය පසුවත් නායකයන් පිළිබඳව ජන සමාජයේ බොහෝ දේ කථා කරති. එම කථිකාවන්ට නිමිති වනුයේ ගෞරවණීය, කෘතවේදී මතක සටහන් පමණක්ම නොවන බව පැහැදිලිය. කෙසේ වෙතත් ජීවමානව සිටියදී කියවූ චරිතාපදානයට වඩා නිවැරදිව හා ගැඹුරින් දේශපාලන නායකයන් කියවා ගැනීමට ඉතිහාසය සමත් ය.

ජනතා සිත් සතන් තුළ බිතු සිතුවම් රූ මෙන් රැඳී සිටින කෘතවේදී මතක සටහන් ගොන්නක් ඉතිරි කර නික්ම ගිය නායකයක් ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ දුලබ නැත. ලයනල් ගාමිණී දිසානායකයන් එවන් ප්‍රතාපවත් මතක සටහනකි.

ගාමිණී දිසානායකයන් මට හමුවනුයේ 80 දශකයේ මුල් භාගයේදී ය. කොළඹ වාණිජ මණ්ඩලයේ හා රබර් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වූ මට එවකට වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය භාර මේ තරුණ ඇමැතිවරයා හමුවීමට අවස්ථා රැසක් යෙදී තිබුණි. එවන් අවස්ථාවල අප අතර සිදුවූ දීර්ඝ සාකච්ඡා හැම විටම ඉතාමත් විෂයානුබද්ධ විය. ගාමිණී දිසානායකයන් නිරත්නරයෙන් එවන් කථිකාවන් ප්‍රිය කළේය. හුදු සම්ප්‍රප්පලාප වචන හුවමාරු වෙනුවෙන් කාලය වෙන් කිරීමට ඔහු අකමැති විය. විශේෂයෙන්

ශ්‍රී ලංකාවේ ආනයන අපනයන පරතරය පියවා ගැනීමේ වැදගත්කම අපනයන විවිධාංගීකරණය සහ ලෝක වෙළඳපොළේ ශ්‍රී ලංකාවට හිමි පංගුව ප්‍රසාරණය කිරීමේ වැදගත්කම පිළිබඳව ඔහු ඉතා උනන්දුවෙන් සාකච්ඡා කළේය. ඒ පිළිබඳව ඔහු තුළ තිබූ සැලසුම් විශ්මය ජනක විය. එතරම් ගැඹුරින් කල්පනා කිරීමට තරුණ අමාත්‍යවරයාට ඇති හැකියාව අප කා තුළත් ගෞරවයක් ඇති කළේය.

ගෝලීය දේශපාලනය තුළ ලෝකයේ බල කඳවුරු වෙනස් වෙමින් පවතින බව නව බල කඳවුරු බිහිවෙමින් පවතින බව ඔහු දූරදර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පරිද්දෙන් විග්‍රහ කළේය. එවන් විටක ඔහු වචන අතර නිසි පරතරය තබමින්, වචන බර තබමින් මුළු මුහුණෙන්ම සන්නිවේදනය කළ ආකාරය විශිෂ්ටය.

සැබවින්ම එය අතිශයින් සිත් ඇදගන්නා සුළු කථිකත්වයකි. ඒ වන විට ආසියානු කලාපය තුළ ඇති වෙමින් පැවති ආර්ථික විප්ලවය ගාමිණී දිසානායකයන් අතැඹුලක් සේ අවබෝධ කොටගෙන තිබුණි. ආසියාව මත පය ගසා යුරෝපයට දත ගසා අවදි වන කොරියාව, තායිවානය, සිංගප්පූරුව, මැලේසියාව ඇතුළත් ව්‍යාඝ්‍රයින් සිව් දෙනාගේ ආර්ථික ක්‍රමෝපායන් ඉදිරියේ ශ්‍රී ලංකාව සටන අත නොහැරිය යුතු බව ඔහු අවධාරණය කළේය. එනයින් ම ඔහු සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ අතර, විවෘත ආර්ථික මොඩලයට පක්ෂ විය. නමුත් විවෘත ආර්ථිකය යනු දේශීය ස්වයංපෝෂිත බව අතහැරීම නොවන බව ගාමිණී දිසානායකයන් දැඩිව කියා සිටියේ ය.

දේශීය කෘෂිකර්මය ගොඩනැගීමේදී පස සහ ජලය අතර ගැලපුම නිසි පරිදි සකස් කිරීම පළමු අත්‍යවශ්‍ය සාධකය බවට ඔහුගේ දර්ශනය විය. සැබවින්ම ගාමිණී දිසානායක නායකත්වය දුන් මහවැලි ව්‍යාපාරය මෙරට ඉතිහාසයේ පස සහ ජලය අතර ගැලපුම කළමනාකරණය කළ අසමසම කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපාරයයි.

තිස් වසරකට සැලසුම් කළ මහවැලිය කඩිනම් ව්‍යාපාරයක් ලෙස පස් වසරකින් නිම කිරීම ඔහු භාරගත් අභියෝගයකි. ඒ වෙනුවෙන් ඔහු සති ගණන් නිදි වර්ජිතව සැලසුම් සකස් කළේය. මහවැලිය ජන ජීවිතයේ අතිමහත් පරිවර්තනයක් සිදු කරන ව්‍යාපාරයක් වූ බැවින් ජනතා සහාය ලබා ගැනීමට එය මානව විද්‍යාත්මකව සැලසුම් කළ යුතු වීම විශාලතම අභියෝගයයි. ස්වකීය සාම්ප්‍රදායික ගම් බිම් ජලයෙන් යට වෙද්දී නව ජනපද කරා සංක්‍රමණයවීමට ජනතාව එකඟ කරවාගැනීම අතිශය මානුෂීය ප්‍රවේශයකින් කළ යුතු විය.

එහිදී සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයක් කෙරෙහි ගාමිණී දිසානායකයන් විශ්වාසය තැබීය. වර්තමානයේ කථා කරන සහභාගිත්ව සංවර්ධනයේ මුල් සොයා ගැනීමට ඔහු එදා සමත් විය. ඒ උදෙසා ඔහු මහවැලි සංස්කෘතියක් ගොඩනැගීමට පෙළඹිණි. හැම ජනපදයකම මහවැලි ක්‍රීඩා සමාජ, මහවැලි සංස්කෘතික සමාජ, මහවැලි තරුණ සමාජ, කාන්තා සමිති බිහි විය. ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩාංගන, සංස්කෘතික මධ්‍යස්ථාන, පාසල්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආදී සියල්ල නොඅඩුව සම්පාදනය කෙරිණි. නොබෝ කලකින්ම මහවැලි ක්‍රීඩා උළෙල, මහවැලි සංස්කෘතික ප්‍රසංග ශ්‍රී ලංකාව තුළ පමණක් නොව විදෙස් රටවලද අවධානය දිනා ගැනීමට සමත්විය.

වරක් චීනයේ හිටපු කීර්තිමත් නායකයෙකු වූ මාඕ සේතුංට විශේෂ අනන්‍ය උප සංස්කෘතික ලක්ෂණ පෙන්නුම් කරන 500 ක පමණ වඳ වෙමින් යන කුඩා ජන කොට්ඨාසයක් හමු විය. ඔවුන් මහා සංස්කෘතිය තුළට ඇතුළු කොට එම උප සංස්කෘතිය තුළ තිබූ අනන්‍ය ලක්ෂණ නැසීමට ඉඩ නොතැබිය යුතු බව කල්පනා කළ මාඕ එම කුඩා සංස්කෘතිය නියෝජනය කළ ජන කොටසට විශේෂ ගමක් වෙන් කොටදී එම සංස්කෘතික ලක්ෂණ සුරක්ෂිත කිරීමට පියවර ගත්තේය.

මහවැලි ව්‍යාපාරය තුළ ගාමිණී දිසානායකයන් ද එවැනිම ප්‍රවේශයන් සටහන් කළේ ය. මහවැලි සංස්කෘතික සමාජ තුළ ප්‍රාදේශීය සංස්කෘතීන් නැවත ඔප්නැංවීමට කටයුතු කෙරිණි. ආදිවාසී ජනතාවගේ කිරි කොරහ යාගය, රජරට පුල්ලෙයාර් පූජාව ආදිය මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත්වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ගාමිණී දිසානායකයන්ගේ මෙම මානවීම එළඹුම හේතුවෙන් ස්වකීය ගම්බිම් අතහැර වියළි කලාපවල පදිංචියට යෑමට අකමැති වූ ජනතාව ස්වකැමැත්තෙන්ම නව ජීවිතයක් සොයා සිය දරු මල්ලන් කැටුව, බලාපොරොත්තු පිරුණු දෑසින් වියළි කලාපයට පිය මනින්නට විය.

අද කවර ආර්ථික අර්බුදයක් හමුවේ වුවද මෙරට සහලින් ස්වංයපෝෂිතව පවතිනුයේ එදා ගාමිණී දිසානායකයන් සමග එක්ව කර්කශ වියලි පොළොව ජය ගන්නට එක්වූ මහවැලි ජල කඳ කෙරෙහි විශ්වාසය තැබූ එම ධෛර්ය සම්පන්න මිනිසුන්ට පිං සිදුවන්නට ය.

ගාමිණී දිසානායකයන් මිනිසෙකු ලෙස මනුෂ්‍යත්වයට ගරු කළේය. උස් පහත් භේදයකින් තොරව සෑම කටහඬකටම මඟ නොහැර සවන් දුන්නේ ය. පටු ජාතිවාදී ආගම්වාදී මතයන්ට පහර දුන්නේ ය. බලය බෙදීමත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයත් වෙනුවෙන් පැකිලීමකින් තොරව දේශපාලන වාසි අවාසි නොතකා පෙනී සිටියේය.

මහවැලි මහ ජල කඳ ඉරිතලන මහ පොළව සරු කරමින් වියළි කලාපයේ ගම්බිම් සිසාරා තව වසර සිය දහස් ගණනක් අඛණ්ඩව ගලා බසිනු ඇත. ඒ සෑම දිය දෝතකම ගාමිණී දිසානායක නමැති ධෛර්ය සම්පන්න යුග පුරුෂයාගේ අධිෂ්ඨානය සහ නිවැරදි දර්ශනය රැඳී පවතිනු ඇත.

මහවැලිය මෙන් මතකයේ රැඳෙන ගාමිණී

ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායක

advertistmentadvertistment
advertistmentadvertistment