මහවැලි, කළු, කැලණි, නිල්වලා, කෙහෙල්ගමු ඔය පිටාර මට්ටමේ

67

මහවැසි – තද සුළං මරණ 5 ක් – 3 ක් අතුරුදන්
පළාත් 4 ක දිස්ත්‍රික්ක 5 කට බලපෑම්: දිස්ත්‍රික්ක 4 කට නායයෑම් අනතුරු

පළාත් 04 ක දිස්ත්‍රික්ක 05 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (02 දා) දහවල් වනවිට පුද්ගලයන් 5 දෙනකු මියගොස් තිදෙනකු අතුරුදන්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇත.

ආපදාවනට ලක්ව ඇත්තේ උතුරු පළාතට අයත් යාපනය, මධ්‍යම පළාතට අයත් නුවරඑළිය, මහනුවර, දකුණු පළාතට අයත් ගාල්ල, සබරගමුව පළාතට අයත් රත්නපුර යන දිස්ත්‍රික්ක වේ.

ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1766 කට අයත් පුද්ගලයන් 7649 ක් පීඩාවට පත්ව ඇත. පුද්ගලයන් පස්දෙනකු මියගොස් ඇත්තේ නුවරඑළිය, අම්බෙගමුව යන ප්‍රදේශවලය. අතුරුදන් වී ඇත්තේ මහනුවර පස්බාගේ කෝරළේ පදිංචිකරුවන් තිදෙනෙකි.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 25 කට අර්ධ හානි සිදුවී තිබේ. පීඩාවට පත් පවුල් 64 කට අයත් පුද්ගලයන් 3046 ක් ආරක්‍ෂිත ස්ථාන 16 ක රැඳවීමට පියවර ගෙන තිබේ.

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම නිසා තවදුරටත් වර්ෂාපතනය බලාපොරොත්තු වන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 – 70 දක්වා වැඩිවන අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 03 ත්- 3.5 ත් අතර ඉහළ යා හැක. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්න්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස ද දැනුම් දී ඇත.

නායයෑම් අනතුරු ඇඟවීම් පිළිබඳ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 4 කට නිකුත් කළ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බව එම සංවිධානය පවසයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි, කැලණි, නිල්වලා හා කළු ගංඟා මෙන්ම කෙහෙල්ගමු ඔය ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමට පැමිණ තිබූ අතර එම තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල කළමනාකරණ) ඩී අබේසිරිවර්ධන මහතා පැවසීය. කෙසේ වෙතත් පහළ ප්‍රදේශවල ජනතාව සෝදිසියෙන් කටයුතු කරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

පෙරේදා (01 දා) දිනය තුළ මෙම ගංඟා හා කෙහෙල්ගමු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම නිසා ගංවතුර තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කළ නොහැකි බව ද ඔහු කීය.

ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යුද හමුදාව සමග එක්ව සහන සැලසීමේ කටයුතුවලට යොමුවී ඇතැයි ආපදා දකළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 කට බලපෑ ආපදා තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 1666 ක සාමාජිකයන් 6495 දෙනකු ආපදාවට ලක් වූ බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.

පවුල් අසූවක පුද්ගලයින් 369 දෙනෙකු සුරක්ෂා මධ්‍යෂ්ථානල රඳවා ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.

ඊයේ (02 වනදා) පෙරවරු 10 පමණ වන විට ලැබුණු වාර්තා අනුව ආපදා හානි වාර්තාගත කළ ද එම ප්‍රමාණය වැඩි බව රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

31 දා සිට 01 වනදා දක්වා පැවති වර්ෂාව නිසා මෙම ආපදා තත්වය රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල, ඇලපාත, නිවිතිගල, කලවාන, අයගම, කහවත්ත, වැලිගෙපොල, රත්නපුර, බලංගොඩ, පැල්මඩුල්ල, කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 සඳහා බලපෑම් ඇති කරනු ලැබූ බව දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක ග්‍රාම නිලධාරි වසම් 65 කින් ආපදා සිදුවීම් වාර්තා වී තිබේ.

මෙම ආපදා හේතුවෙන් අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 174 කි. ඒ ගොඩකවෙල, කොලොන්න හා කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් නිවාස 01 බැගින්ද, වැලිගෙපොල හා බලංගොඩ කොට්ඨාසවලින් නිවාස 02 බැගින්ද, කහවත්ත 03 ක්ද, ඇලපාත හා රත්නපුර 05 බැගින්ද නිවිතිගල 16 ක්ද, පැල්මඩුල්ල 138 ක්ද, ලෙස ය. මීට අමතරව වෙනත් දේපළ හානි 02 ක්ද වාර්තා වී ඇත. ඒ නිවිතිගල හා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් 01 බැගිනි.

එමෙන්ම මේ වනවිට පවුල් 146 ක සාමාජිකයන් 419 දෙනකු ඥාති නිවාසවල රැදී සිටියි. ඒ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 145 ක, සාමාජිකයන් 416 දෙනකු ද, අයගම පවුල් 01 ක, සාමාජිකයින් 03 දෙනෙකු ද ලෙසය.

සුරක්‍ෂිත මධ්‍යස්ථාන අටක පවුල් 80 ක, සාමාජිකයන් 369 දෙනකු ද කඳවුරුගත කර ඇත.

චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්, නාලක රත්නායක-නුවරඑළිය, කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment