මහවැලි ගොවිබිම් අක්කර 6000 ක මුංඇට වගාව අරඹයි

57

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි කලාපයට අයත් ගොවිබිම්වල අක්කර 6000 කට වැඩි භූමියක මුංඇට වගාව ආරම්භ කරමින් පවතින බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර මහතා ‘දිවයින’ ට ඊයේ (13දා) පැවසීය.

පසුගිය වසර තුළ ගොවීන් වගාකළ මුංඇට රුපියල් කෝටි 11 කට රජය මගින් මිලදී ගත් බවත් ඒ මහතා කීය. මුං වගාවට එතරම් ජලය අවශ්‍ය නැති බවත් පොහොර යෙදීමකින් තොරව මුංඇට වගාව කරන නිසා වී ගොවිතැනින් ගොවීන්ට යම් අලාභයක් ඇති වුවත් එය යම් තරමකින් මුං ඇට වගාවෙන් පියවා ගන්නා බවත් ඒ මහතා කීය. මාස දෙකකින් මෙහි අස්වැන්න නෙළාගත හැකි බව ද කීය.

සමනළ වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීමෙන් පසු එම ජලය ගොවිබිම්වලට ලැබෙන බවත් ඒ මහතා කීය. එම ජලයෙන් වාරිමාර්ග කලාපයට අයත් ගොවිබිම් සාර්ථක වුවත්, යම් බලපෑමක් ඇතිවී තිබෙන්නේ මහවැලි කලාපයට අයත් ගොවිබිම්වලට බවත් ඒ මහතා කීය. වාරි කලාපය තුළ හෙක්ටයාර් 35,000 ක් පමණ වගා කරන බවත්, මහවැලි කලාපයේ වගාකරනු ලබන්නේ අක්කර 9000 ක් පමණ බවත්, ඉන් අක්කර 7000 ක පමණ ගොවිබිම්වලට යම් බලපෑමක් ඇතිවී තිබෙන බවත් ඔහු කීය. සමනළ වැවේ ජලය උඩවලව ජලාශයට මුදාහැර තිබුණත් තවමත් ඇතැම් ප්‍රදේශවල ගොවිබිම්වලට ජලය ලැබී නැතැයිද ඔහු කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment