මහාචාර්ය මනුජ් වීරසිංහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති පදවියට

32

මෙරට ජනතාවගේ ඖෂධ හිමිකම් වෙනුවෙන් වසර 30කට අධික කාලයක් ක්‍රියාශීලී ලෙස පෙනී සිටි විද්වතකු වන මහාචාර්ය මනුජ් ක්‍රිෂන්ත වීරසිංහ මහතා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය.

මහාචාර්ය වීරසිංහ, මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය කේන්ද්‍ර කරගෙන සාධාරණ ඖෂධ භාවිතයක් උදෙසා සිය හඬනැඟීම මුලින්ම අරඹන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන අවධියේ දී ඔහු ද ඇතුළු පිරිසක් එක්ව එම පීඨයෙහි පිහිටුවාගන්නා ලද සබුද්ධික සෞඛ්‍ය ක්‍රියාකාරකම් සඳහා වන ශිෂ්‍ය එකමුතුව හරහා ය.

අනතුරුව කථිකාචාර්යවරයකු ලෙස කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍යවිද්‍යා අධ්‍යයන අංශයට සම්බන්ධ වන ඒ මහතා, පසු කලක ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රකාශනය සම්පාදනය සහ ජාතික ඖෂධ නියාමන පනත සකස් කිරීම සඳහා පුරෝගාමී වැඩකොටසක් ඉටු කළේය. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ හිටපු සභාපතිවරයකු ද වන ඒ මහතා මෙරට ජනයා අතර විද්‍ය දැනුම ප්‍රචලිත කිරීම සඳහා විද්‍යා සන්නිවේදකයකු ලෙස ද කැපීපෙනෙන කාර්යභාරයක් සිදු කර ඇති අයෙකි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා විද්‍යා මාධ්‍යවේදියකු ලෙස විදුසර විද්‍යා සඟරාවට ඔහු එක්වන්නේ අනූව දශකය ආරම්භයේදීය. ජනතා හිතවාදී ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් කැප විය යුතු බවට වන අදිටන තමන් තුළ මුල් වරට රෝපණය වන්නේ එවකට විදුසර විද්‍යා සඟරාවේ කොටස් වශයෙන් පළවූ දෙනගම සිරිවර්ධනයන් විසින් සම්පාදිත සේනක බිබිලේ චරිතාපදානය (යුගයේ මිනිසා) ආභාසයෙන් බව මහාචාර්ය වීරසිංහ පවසයි.


advertistmentadvertistment