මහාචාර්ය  සෙනරත් පරණවිතාන පුරාවිදු මෙහෙවර

3282

(ශ‍්‍රී ලාංකීය පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා සිදු කළ අප‍්‍රහිත කැප කිරීම උදෙසා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට මෙය ගෞරවයක් පිණිස නිර්මාණය කරන ලදි.)

 විසිවන සියවස තුළ ශ‍්‍රී ලංකාවේ පහළ වුණු කීර්තිමත් පුරාවිද්‍යාඥයකු සහ යුග පුරුෂයකු ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හැඳින්විය හැකිය. තනතුරු නිසාවෙන් තමන් බැබළීමට උත්සාහගත් යුගයක පරණවිතානයන් නිසා ශ‍්‍රී ලාංකීය පුරාවිද්‍යා නාමය ජාත්‍යන්තර තලයේ බැබළවීමට මෙම යුග පුරුෂයා සමත්ව තිබේ. ඒ අනුව නම ඇසූ පමණින් ලොවක් හ`දුනන, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ශ‍්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස සේවය කළ, මහාචාර්ය සෙනරත් පරණවිතාන නම් මහා ප‍්‍රාඥයාගේ පුරාවි`දු මෙහෙවර පිළිබ`දව සිදු කරන මතකාවර්ජනයයි මේ.

 වර්ෂ 1896 වූ දෙසැම්බර් මස 26 වන දින ගාල්ලේ මැටරඹ නම් ග‍්‍රාමයේ දී සෙනරත් පරණවිතාන මහතා උපත ලැබීය. පරණවිතානයන්ගේ පියා නමින් ඒබ‍්‍රහම් පරණවිතාන වූ අතර මව නමින් ලෝරා හෙට්ටිගේ නම් විය. දරුවන් පස්දෙනකුගෙන් සමන්විත වූ පරණවිතාන පවුලේ බාලම දරුවා වූයේ ද සෙනරත් පරණවිතාන මහතා වේ. යටගල පන්සලේ කලහේ ශ‍්‍රී රතනජෝති ගුණරතනාභිධාන නායක ස්වාමීන්වහන්සේ විසින් සෙනරත් පරණවිතාන මහතාට අකුරු කියවමින් ප‍්‍රාථමික අධ්‍යාපනයට අඩිතාලම දමන ලදි. ඉන් අනතුරුව 1901 දී අන්නාසි හෙට්ටිගොඩ මෙතෝදිස්ත සිංහල පාසලෙහි ඉගෙනීම නිම කරමින් අනතුරුව 1903 දී ගාල්ල උණවටුනේ බොනවිස්ටා ඉංග‍්‍රීසි පාසලට ඇතුළු වී එහි ඉගෙනීම ආරම්භ කළ සෙනරත් පරණවිතාන මහතා 1906 සිට හීනටිගල රන්වලගොඩ විද්‍යාවර්ධන පිරිවෙණෙහි සිංහල පාලි හා සංස්කෘත යන භාෂා ඉගෙනීම ආරම්භ කරන ලදී.

 දකුණු ඉන්දියාවේ කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වූ කේ. වී. සුබ‍්‍රමන්‍ය අයියර් මහතා යටතේ පුහුණුව ලද සෙනරත් පරණවිතාන මහතා ද්‍රවිඩ සෙල්ලිපි කියවීමෙහිද නිපුණතාවයක් ලබා ගන්නා ලදී. 1930 දී රොස්ලින් කිතුල්ගොඩ මෙනවිය සමග විවාහ ජීවිතයට ඇතුළත් වූ පරණවිතාන මහතා 1932 හා 1935 යන වර්ෂවල පුරාවිද්‍යා කොමසාරිස් තනතුරේ වැඩ බැලීමෙහි ද යෙදුණේය. සිංහල භාෂාවෙන් මෙන්ම ඉංග‍්‍රීසි භාෂාවෙන් ද ශිලා ලේඛන ගැන පමණක් නොව ආගමල කලාශිල්ප, භාෂාව, සාහිත්‍යය හා ඉතිහාසය ආදී විවිධ විෂයන් පිළිබඳ පරණවිතාන මහතා විසින් ලියන ලද පර්යේෂණාත්මක ලිපි සිය ගණනක් වර්තමානයේ වුවද ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් සිය අධ්‍යයනයෙහිලා යොදා ගනු ලැබේ.

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එතෙක් පවත්වාගෙන ආ ශිලාලිපි පල කළ ග‍්‍රන්ථයක් වූ එපිග‍්‍රැෆියා සෙලනිකා (Epigraphia Zeylanica) නම් ග‍්‍රන්ථයෙහි සංස්කාරකවරයා ලෙසින් පරණවිතාන මහතා කටයුතු ආරම්භ කළේ 1929 වර්ෂයේ දීය. සෙනරත් පරණවිතාන මහතා විසින් ලියන ලද The Stupa in Ceylon (ලංකාවේ ස්ථූප) නැමති ශාස්ත‍්‍රීය පර්යේෂණ නිබන්ධය සඳහා නෙදර්ලන්තයේ ලෙයිඩින් විශ්වවිද්‍යාලය මගින් ඔහුට ආචාර්ය උපාධිය (P.H.D) 1936 වර්ෂයේදී පිරිනමන ලදී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ ඒ. එච්. ලෝංහර්ස්ට් මහතාට පසුව 1940 සිට සෙනරත් පරණවිතාන මහතා පුරාවිද්‍යා කොමසාරිස් තනතුරට පත් විය. මෙය ශ‍්‍රී ලාංකීය පුරාවිද්‍යා ඉතිහාසයේ ස්වර්ණමය සිදුවීමක් ද විය. මන්ද, මෙතෙක් කල් විදේශික ප‍්‍රධානීන් යටතේ පාලනය වූ ලාංකීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1940 වර්ෂයේ සිට දක්ෂිණ ලංකාවේ පුත‍්‍රයකු වූ සෙනරත් පරණවිතාන මහතා යටතේ පාලනය විය.

 විශේෂයෙන්ම සීගිරිය යන නාමය මතක් වන ඕනෑම මොහොතක කාගේ වුවත් සිහියට නැංවෙන සුවිශේෂී පුද්ගලයා වනුයේ ද සෙනරත් පරණවිතාන මහතා වේ. එතුමා පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත් වූ කාලයේම කරන ලද කැණීම් හා සංරක්ෂණ කටයුතු අතර සීගිරියට ද හිමි වන්නේ වැදගත් ස්ථානයකි. 1940 සිට 1948 දක්වා වූ කාලය මෙතුමා වැය කළේ සීගිරියේ කැණීම් හා සංරක්ෂණ කටයුතු සඳහා වේ. විශේෂයෙන්ම දිය අගල් හා විශාල ගඩොල් බැමි පාදා ගනිමින් ක‍්‍රමවත්ව ඒවා සංරක්ෂණය කිරීමත් අටපට්ටම් පොකුණේ ඉවුරු තහවුරු කිරීමත් ඉහළට නැඟීමට තිබූ පිය ගැට පෙළේ අඩුපාඩු පිරවීම පිණිස කොන්ක‍්‍රීට් යොදා කෘත‍්‍රීම පියගැට තැනවීමත් වැදගත් විය. මේ සමඟම සීගිරිය ප‍්‍රමද වනයේ කැණීම් කටයුතු ද කරන ලදී. ඒ පිළිබඳ එතුමා ලියූ ර්‍ණපුරාවිදු පර්යේෂණ” නම් ග‍්‍රන්ථය 1972 වර්ෂයේ දී ප‍්‍රකාශයට පත්විය. විශේෂයෙන්ම පරණවිතානයන් සීගිරිය සමඟ ජීවත් වූ අවධියේ ඔහුගේ කාලය වැඩි වශයෙන් වැය කොට ඇත්තේ කැටපත් පවුරේ වූ කුරුටු ගී කියැවීම සඳහා වේ.

 8-9 සියවස්හි දිවයිනේ සතර දිගින් පැමිණි කලා රසිකයන් විසින් ලියන ලද ගී රාශියක් ද එහි විය. නන් වැදෑරුම් විරිතින් හා කාව්‍යාලංකාරයෙන් ද හෙබි සාහිත්‍යමය වටිනාකමකින් පිරිපුන් මේ ජාතික වස්තුව ඒ වනතෙක් කිසිවකුගේ අවධානයට ලක් වී නොතිබිණි. එතුමා සීගිරි කවීන් ඇසුරු කළ බස් වහර ද වියරණ මගද හෙළි කොට දක්වන ලදී. කුරුටු ගී කියැවීමෙන් පසු එතුමා විසින් සීගිරි බස අළලා තුලනාත්මක වියරණයක් ද සම්පාදනය කරන ලදී. 1940 සිට 1956 දක්වාම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වශයෙන් සේවය කළ සෙනරත් පරණවිතාන මහතා විද්වතුන් සිය ගණනක් විසින් කළ යුතු පර්යේෂණ රාශියක්ම සිදු කරන ලදී. අපේ රටේ පැරණි සිංහල සාහිත්‍යයට අයත් වූ සීගිරි ගී ලෝක ඉතිහාසයට හඳුන්වා දීමේ ගරුත්වය හිමි වන්නේ සෙනරත් පරණවිතාන පඬිවරයාට වීමද මෙතුමා ලෝකයේ පුරාවිද්‍යා සන්නාමයක් වීමට හේතු සාධක විය. ඔහු විසින් සීගිරි ගී 685 පමණ ඉතා දැඩි ආයාසයකින් පිටපත් කර ඉතා අගනා ග‍්‍රන්ථයක් සම්පාදනය කරන ලදි. කාණ්ඩ දෙකකින් යුක්ත මේ සීගිරි ග‍්‍රන්ථය සීගිරි ග‍්‍රැෆිටි (SIGIRI GRAFFITI)  නමින් පල කරන ලදි. මීට අමතරව ලංකාවේ සෙල්ලිපි  (Inscriptions of Ceylon) ග‍්‍රන්ථයත් පුරාවිද්‍යාව හා ඉතිහාසයට අදාළව, ලොව පළවූ අතිවිශිෂ්ට කෘතින් ලෙස සැලැකේ. 1926 වර්ෂයේ ඉන්දියාවේ සඟරාවක පළ කරන ලද, පරණවිතාන මහතා විසින් ලියන ලද, ද්‍රවිඩ භාෂාවෙන් ලියැවුණු රහස් සංකේතවලින් ලියැවී තිබුණ ශ‍්‍රී ලංකාවේ ලේඛනයන් පරිවර්තනයක් අඩංගු නිබන්ධනයක් ඉන්දියාවේ ද විද්‍යාර්ථින්ගේ බලවත් ප‍්‍රශංසාවට ලක්ව තිබේ.

 විශේෂයෙන්ම සීගිරි කාශ්‍යප රජතුමා සිය වාස භවනය දේවරාජ භවනක් මෙන් මහජනතාවට පෙන්වීමට උත්සාහ ගත් බවත් එකළ පැවැති රාජ ධර්මය අනුව තමා මුළු ලෝකයේම දේව රාජයෙක්ය යන්න මහජනතාවට පවසන්නට උත්සාහ ගත් බවත් පැවසේ. පිරිත් පොතේ ආටානාටිය සූත‍්‍රයේ කුවේරයා හා ආලකමන්දාව ගැන සඳහන් වේ. ආලකමන්දාවේ ධරණී නම් පොකුණෙන් නික්මෙන වළාකුළුවලින් වැසි හට ගන්නා බව පැවසේ. එබැවින් සීගිරියෙත් වැසි වසින්නට ඇති අතර එය නියං කාලයේත් දැක්වීම පිණිස බිත්තිවල වළාකුළු අඳින්නට ඇති බව පරණවිතානයන් වැඩි දුරටත් පවසයි. එම අදහස තීව‍්‍ර කර ඇත්තේ වළාකුළුවලට ජීවය කැවීම ඉන්දියාවේත් පැවැති අතර එය දෙවියන් ලෙස දක්වන්නට ඇති බැවිනි. එම නිසා මෙහි ඇති කාන්තාවන්ගෙන් විදුලියත් මේඝයත් පෙන්වූයේ යැයි එතුමා අදහස් කරයි. සීගිරි රජමාළිගය පිළිබඳ ද පරණවිතානයන් පවසා ඇති තොරතුරු ඉතාමත් වැදගත්වේ. ඓතිහාසික සිදුවීමට අනුව ගත් කළ පෙනී යනුයේ කාශ්‍යප රජ බියෙන් ඇළලී ගිය සිත් ඇතිව සීගිරිය සිය ආරක්ෂිත ස්ථානය කර ජීවත් වූ බවයි. එහෙත් එහි දක්නට ලැබෙන අවශේෂ දෙස බැලීමේ දී එසේ සිතා ගැනීම දුෂ්කර වේ. කාශ්‍යප රජු සීගිරිය රජමාළිගාව සාදවා ඇත්තේ බොහෝදුරට අලංකාරය පිණිස බව මෙහි දී පැහැදිලිවම පෙනෙන කරුණකි.

 පරණවිතාන මහතාගේ ද අදහස වන්නේ කාශ්‍යප රජු ජීවත් වූයේ සීගිරිය මත වූ මාළිගයේ නොවන බව වේ. ඒ පිළිබඳ මෙසේ සඳහන් වේ. ර්‍ණගල උඩ මාළිගයක විසීමෙන් සතුරු උවදුරක දී සිදු වන්නේ තමනුත් තමුන්ගේ පිරිසත් හාමත් වී මියයෑම පමණි”ග ගල උඩ යමෙකුට ජීවත් වෙලා ඉන්න විධියට හදාපු ගෙවල ඇත්තේ ද එකක් හෝ දෙකක් පමණි. මේ අදහස් තහවුරු කිරීමට පරණවිතානයන් බොහෝ තර්ක ඉදිරිපත් කර ඇත. එතුමා පවසන පරිදි සීගිරිය අලංකාරය සඳහා නිර්මාණය කරන ලද්දක් බවට සාධක කැටපත් පවුර තැනීම සම්බන්ධයෙනුත් ඉදිරිපත් කර ඇත. විශේෂයෙන්ම පැරණි ලංකා ඉතිහාසය අධ්‍යයනයේ දී වාස්තු විද්‍යාත්මක තොරතුරු ලබාගැනීමට ද පරණවිතාන මහතාගෙන් මහඟු සේවයක් සිදු වී තිබේ. ඉහතින් ස`දහන් කළ The Stupa in Ceylon මොහු විසින් ප‍්‍රථමයෙන් සපයන ලද වාස්තු විද්‍යාත්මක ග‍්‍රන්ථයේ මුල් පරිච්ෙඡ්ද 4 උපාධි නිබන්ධ ලෙස ඉදිරිපත් කරන ලදී. මෙම පර්යේෂණ සාහිත්‍ය ග‍්‍රන්ථ අභිලේඛන හා පුරාවස්තු අනුසාරයෙන් කරන ලද්දකි. ලංකාවේ ස්ථූප නිර්මාණය ඉන්දීය ස්තූප නිර්මාණයන් හා සැසඳීම මෙම කෘතියේ ඇති ඉතා වැදගත් ලක්ෂණයකි. ලංකාවේ ස්ථූප ඉතිහාසය, ආකෘතිය, උපරිභාගය, වාහල්කඩ, චෛත්‍යාංගන ප‍්‍රදේශය, චෛත්‍ය ගෘහ, දුර්ලභ ස්ථූප යන අදියරවලට බෙදා ඇති මෙම පර්යේෂණ ග‍්‍රන්ථය ලංකාවේ ස්ථූප පිළිබඳ මෙතෙක් සපයා ඇති එකම උසස් ග‍්‍රන්ථය වශයෙන් දැක්විය හැකිය. ස්ථූපවලට අමතරව ලංකාවේ නටඹුන් අතර ඇති වෙනත් ගොඩනැ`ගිලි විශේෂයන් ද පරණවිතාන මහතා විධිමත් පරීක්ෂාවකට භාජනය කොට තිබේ. නොයෙක් පෙදෙස්හි ජරාවාසව පැවතුණු ආගමික ගොඩනැ`ගිලි රැුසක් සලකා බැලූ පරණවිතාන මහතා ඒවා වෙන් වෙන් වශයෙන් වෙන් කොට දැක්වීමට උත්සාහ ගෙන ඇත.

 මේ අතරින් බෝධිඝර, ආසනඝර, පටිමාඝර පිළිබඳ කරන ලද පර්යේෂණ ඉතා වැදගත් වේ. අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය ආදී පැරණි නගරවල සැලැස්ම පිළිබඳ සැඟවුණු තොරතුරු හෙළි කිරීමෙන් ද ඒ ස්ථානවල ඇතැම් නෂ්ටාවශේෂ හඳුනාගැනීමෙන් ද පරණවිතාන මහතා කර ඇත්තේ වටිනා සේවයකි. අනුරපුර ඇතුළු නගරයේ සීමාවන් ප‍්‍රථමයෙන් 1893 දී සාදනු ලැබුවේ බෙල් විසිනි. හෙන්රි පාකර් විසින් කරන ලද පර්යේෂණයක දී මහාවංශයේ එන තොරතුරු ආශ‍්‍රයෙන් බෙල් මහතාගේ අදහස තහවුරු විය. මෙම ප‍්‍රදේශයේ තවදුරටත් කැණීම් කළ පරණවිතාන මහතාට එකී පුරාවිද්‍යාඥයන්ගේ නිගමනයන් නියම වශයෙන් තහවුරු කළ හැකි විය. මහාපාලි දන්හල අසල වූ සෙල්ලිපියක් කියවීමෙන් අයර්ටන් මහතාගේ හඳුනා ගැනීම නිවැරදි බව පරණවිතාන මහතා පෙන්වා දෙන ලදී. පුරාතන ශ‍්‍රී ලංකා ඉතිහාසය අධ්‍යයනයේ දී චිත‍්‍ර හා මූර්ති කලාවන් පිළිබඳ තොරතුරු ලබාගත හැකි වේ. ඒ පිළිබඳ පරණවිතාන මහතා පර්යේෂණ පවත්වා තිබේ. එතුමා සඳකඩපහණ, මුරගල් පිළිබඳ පර්යේෂණ පවත්වා තිබේ. සඳකඩපහණේ එන රූප සටහන් පිළිබඳ එතුමා විචාරාත්මක අදහස් ඉදිරිපත් කොට තිබේ. ඒ මහතාගේ අර්ථකථනයට අනුව සඳකඩපහණේ අග පිහිටි කවාකාර තීරුවේ දැක්වෙන ගිනිදැල් මෝස්තරයෙන්

 කාමාග්නිතාවේද ක්‍රෝධාග්නියේ ද සංකේතයකි. සතුන් සතරදෙනා සංකේතවත් කරන්නේ ජාති, ජරා, ව්‍යාධි සහ මරණ යන සතර බියයි. ලියවැල් වූ කලී තණ්හාවේ සංකේතය වන ලතාවයි. හංසරූප අභිනිෂ්ක‍්‍රමණය ද මැද පියුම් ශ‍්‍රද්ධාව වශයෙන් දක්වන සංකේත වෙයි. මේ අනුව මුල් සඳකඩපහණේ සංසාරය පිළිබඳ සංකේතයක් වෙයි.

 එතුමා විසින් රුවන්වැලිසෑය, අභයගිරි පෙදෙස්, තොලූවිල, පන්කුලිය, අවුකන, පොළොන්නරුවේ වටදා ගෙය, ගල් විහාරය, තිවංක පිළිමගෙය, මැදිරිගිරිය, කුච්චවේලි, බුදුරුවාගල, මාලිගාවිල ආදී ස්ථානවලින් ලැබී ඇති බුදු පිළිම පිළිබඳ පර්යේෂණ පවත්වා තිබේ. එසේම එතුමා සීගිරි බිතුසිතුවම්, හිඳගල බිතුසිතුවම් ආදිය තියුණු පර්යේෂණයකට ලක් කර ඇති නිසා චිත‍්‍ර ඇඳීමේ ක‍්‍රම එකළ සමාජ ජීවිතය පිළිබඳ විශාල තොරතුරු ප‍්‍රමාණයක් ලබාගත හැකි වෙයි. මීට අමතරව 1952 දී කෝට්ටේ අලකේශ්වර සොහොනද 1953 දී නාලන්දා ගෙඩිගෙයද කැණීම් කරනු ලැබිණි. 1954 දී අනුරපුර අභයගිරි විහාරයට අයත් කපරාරාමයේ කැණීම්කොට එහිදී හමුවූ ශිලා ලිපියක් ඇසුරින්, පැරැුණි කප්පුර පිරිවෙන එයයැයි ස්ථිර වශයෙන්ම සොයා ගනු ලැබ ඇත. එම වසරේදීම, පදවියේ ස්ථූප දෙකක්ද 1955 දී සීගිරිය මහානාග පබ්බත විහාරයට අයත් ආරාමයක්ද කණිනු ලැබිණි. 1955 දී අභයගිරියේ පංචාවාසයේ කැණීම් කර ඇත. සිය පළපුරුද්ද හේතුවෙන්ද ඉතිහාසය, සාහිත්‍යය, භාෂාව හා අභිලේඛන පිළිබඳ තිබූ පෘථුල දැනුම උපයෝගී කරගනිමින්ද වැදගත් බෞද්ධ ස්මාරක රැුසක අනන්‍යතාව හඳුන්වාදීමට පරණවිතාන වියතුන් සමත් විය. එතුමාගේ වැඩි අවධානය යොමුවී තිබුනේ පැරැණි රජරට පළාතෙහි බෞද්ධ ස්මාරක වෙතය. එම ස්මාරක අතර ස්ථූප, ථූපඝර (වටදාගෙවල්) බෝධිඝර, පඨිමාඝර (පිළිමගෙවල්) සහ උපෝසථඝර වැනි විශිෂ්ට ගෘහනිර්මාණ අංගවිය. පැරැුණි ස්මාරකවල පුරාවිද්‍යාත්මක අගය පිළිබඳ ගැඹුරු වැටහීමක් එතුමන් සතුවිය. එවැනි ස්මාරකයක මුල් ස්වභාව, එය ගරාවැටුණු අයුරු, බිඳ වැටුණු අයුරු, නිධන් සොරුන් විනාශ කළ කොටස් හා ඉතිරි වූ කොටස් පිළිබඳ පරිකල්පනික සියුම් නිරීක්ෂණ ඔහු සතු විය.

 ශ‍්‍රී ලාංකීය පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයේ යුගයක හිමිකාරීත්වය සිය නම ඉදිරියේ සනිටුහන් කරගත් මේ මහා ප‍්‍රාඥයා රටට, ලෝකයට දායද කළ දෑ සුරක්ෂිතව අනාගතයටද දයාද කිරීම අප කාගේත් යුතුකමක් යැයි අවසාන වශයෙන් සිහිපත් කරමි.

 ඩබ්. එම්. ප‍්‍රසන්න වන්නිනායක
 පුරාවිද්‍යා (විශේෂ) සිවුවන වසර,
 පුරාවිද්‍යා අධ්‍යයනාංශය,
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment