මහාද්වීපයක තනි වී – මෛත්‍රී ප්‍රසාද් ජයවර්ධන

216

මෛත්‍රී ප්‍රසාද් ජයවර්ධනගේ මහද්වීමපයක තනි වී පද්‍ය සරණිය රසාස්වාද කොට ඉන් ලත් කවි රසය හෘද සංවාදයට පමණක් සීමා නොකර එය සහෘද ජනයා සමග බෙදා හදා ගැනීම වඩාත් උචිත වෙයි. ස්වකීය තුරුණු වියේදී කවි පොතක් පළකොට තෙදශයකට ආසන්න කාලයක් පද්‍ය නිර්මාණයේ යෙදුණේ වුවද ඒවා ග්‍රන්ථගත කිරීමේ සද්ක්‍රියාවට නොපැමිණ නිහඬ ව්‍රතයක් අනුගමනය කළ මෙම කවියා දුරු රටකට නොහොත් දක්ෂිණාර්ධගෝලීය මහද්වීපයකට ගොස් ජීවන ගමනේ ලත් ඉසිඹුවකදී සටහන් කළ පද්‍ය නිර්මාණ පුස්තකයක් ලෙසින් එම මහද්වීපයෙන් බොහෝදුර කොදෙව්වක වෙසෙන සහෘද ජනයා වෙත පුද කොට තිබේ.

ඒ අනුව මෙම පද්‍ය සරණිය සඳහා ප්‍රස්තුත කරගන්නා අනුභූතීන් සතු බහුවිධතාව කැපී පෙනෙන ලක්ෂණයකි. ඒවා විවිධ ක්ෂේත්‍ර පුරා පැතිර යයි. මානුෂීය වෛෂියක ජීවිතානුභූතින්, සමාජ සංවේදනයෙන් නිපන් සානුකම්පික ජීවිතානුභූතින්, සමාජ සම්මතයෙන් ප්‍රශ්න කිරීම් හා විරෝධාකල්ප ජනනය යනාදී වශයෙන් එය යම් වර්ගීකරණයකට ලක් කළ හැකි වෙයි. මානුෂීය ජීවිතානුභූතින්ගේ වෛෂයිකත්වය විවිධ ඉසව් කරා යොමු වී ඇත. වයස් සීමාවකට යටත් කළ නොහැකි ලිංගිකත්වය හා බැඳුණු ආත්මීය ප්‍රේමය මෙන්ම තමාගේ ලෙන්ගතු බවට පාත්‍ර වූ මව්පියන් මෙන්ම අසල්වැසි මානවයන්ද කවි ඇසින් විමසන අයුරු දැකිය හැකිය. එය ඉතා සංවේදී කාර්යයක් ලෙස ඉස්මතු වෙයි. මෙම සියලු මිනිසුන් අලුත් ඇසකින් පාඨක ප්‍රජාව හමුවට ගෙන ඒමට කවියා සමත් වෙයි. එය කෙනකුට සමාජ ඇසුරේ දී සංස්පශරික නොවන සංවේදී ගුණ සමුදායක අවලෝකනයක් සේම මතු වෙයි. එය කවියට මිනිසුන් නැවත මුණගස්වා ඔවුන්ගේ සැඟවුණ මානවීය ගුණ හදවතට දැනෙන සේ සංවේදනය කළ හැකි බව සනාථ කරවන්නකි. මේ බව පද්‍ය සංග්‍රහයේ එන කවිය සහ මම කවි පෙළේ දැක්වෙන,

පෙර සසර බැඳුමකි
කවිය මසිතට නිවනකි
දුක සැපට ළඟ ඇති
කවිය සසරෙම එකට ඉමු අපි

යන කවියාගේ හදෙහි ජීවත්වන පිටමං කළ නොහැකි අපූර්ව මානව ගනුදෙනුවට සපයන විවරණයක් වැනිය.

සදාතනික වූ යෞවන ප්‍රේමයේ අපූර්වත්වය මෙන්ම එය නැවත ළයෙහි ඇනුණු කටුවක් සේ විටෙක රිදුම් දෙමින්ද තවත් විටෙක මතකය කළඹමින්ද කරන

ගනුදෙනුව මෙහි එන නිර්මාණ කිහිපයකම කාව්‍යානුභූතිය තුළ අන්තර්ගත වී ඇත.

ඔහු සිතින් සඳ ගමනේ යෙදේ. හඳට යන කවියා එහි සිට දකින්නේ සිය සැමියා හා දරුවන් ද කැටුව පන්සලට පැමිණ බුදුන් වඳින කලක් තමාගේම වී සිටිය අතීත පෙම්වතියයි. යොවුන් විය ඉක්මවා මැදිවියට එළැඹෙමින් සිටින්නකුට හෝ මැදිවියේ සිට මහලුවියට එළැඹෙන්නකුට හෝ ආවර්ජනය වන අතීත ප්‍රේමානුභූතිය බොහෝවිට සෝතැවුල් සන්තාපය දනවන්නකි. එය යෞවන ප්‍රේමයේ එන හිතුවක්කාර ආවේගයන් ගෙන් විනිමුර්ක්ත වූ නිවිසැනසුණු අපූර්වත්වය ගැබ් වූවකි. මෙම පද්‍ය පන්තියේ එන ප්‍රේමානුභූතිය කවි ගත වන ආකාරයේ ඇති අමුත්ත සුවිශේෂ වන්නේ එබැවිනි.

එදා දෙන්නා පහන් දැල් වූ
තැනම ඇය සමවැදී තනියම
ඇගේ පොඩිවුන් වෙන්න ඇති ඒ
බඩ පිනුම් ගහනවා ඒ ළඟ…

කවියා අතීත ප්‍රේමාර්ජනයේ යෙදී සිටින්නේ ඇය පන්සල් බිමේ හැසිරෙන අයුරු චිත්තරූපාවලියේ සිටින්නි එදා දෙදෙනා පහන් දැල් වූ තැන ගොළු වී අතීතයට සමවැදුණු පෙර පෙම්වතියයි.

කඳුළු දිය කඳුරු සිදුණු
ඉරි තැළුණු ඇස් දෙකට
කඳුළු බිඳු බාගයක්
හදවතම මිරිකලා ගෙනැල්ලා
මා බදා ගත්තා…

ඇය තම පුතු ගැන මතකය දිග හරිමින් විලාප නොනගා පුතුගේ මිතුරා තම පුතු සේ උණුසුම් දාරක ස්නේහයෙන් පිළිගන්නා ආකාරය අපූර්ව ලෙස නිර්මාණය කරයි.

සමාජ සම්මතයන් ප්‍රශ්න කිරීම හා විරෝධාකල්ප දැනවීමේදී සාම්ප්‍රදායික සමාජ මතවාදය තුළ බුහුමන් ලබන්නන් හා සුදුවීම් විෂය කර ගනිමින් සියුම් සමාජ අපහාසයක් දැනවීමට කවියා සමත් වෙයි. කියනවද සිදුහත්… පැදි පෙළ සිද්ධාර්ථෝපත්තියේදී කියැවෙන පස්මහ බැලුම් නම් සංසිද්ධිය ඔස්සේ සමාජය අවිචාරයෙන් වැලඳගත් සම්මතයන් සියුම් ප්‍රශ්න කිරීමට ලක් කරන්නකි.

ප්‍රීති බණ්ඩාර ධනපාල

advertistmentadvertistment
advertistmentadvertistment