මහානිසංස ලැබෙන කඨින චීවර පූජාව

77

කඨින මහා පිංකම් ඇරැඹෙන වප් පොහොය හෙටයි

වසරකට එක් වතාවක් විහාරස්ථානයකදී පැවැත්විය හැකි කඨින චීවර පූජාව බෞද්ධ ප්‍රජාව මහත් ගෞරවයකින් සිදුකරන සුවිශේෂී පිංකමකි. අටමහා කුසල්වලට ගැනෙන පිංකම් අතර වටිනාම පිංකම කඨින පූජාවයි. මේ නිසාම වෙන පිංකම්වලට වඩා බෞද්ධයන් කඨින පිංකම සිදුකිරීමට වඩා උනන්දුවක් දක්වති. මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල්වල මෙම පිංකම ඉතා උසස් ලෙස සමරනු ලබන්නේ බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගෙනය. කඨින මහා පිංකම් ඇරඹෙනුයේ අද වැනි වප් පොහෝ දිනකය.

ඇසළ පුර පසළොස්වක පොහෝ දින පොහොය සීමාවට රැස්ව භික්‍ෂූන් වහන්සේ විනයකර්ම ආදි කටයුතු සිදුකොට එදා සිට මාස තුනක් පුරාවට එම වස් මනාව ආරක්‍ෂා කරයි. මෙම කාලය තුළ ගිහියාගෙන් පැවිද්දාටත්, පැවිද්දාගෙන්, ගිහියාටත් අන්‍යොන්‍ය වශයෙන් යුතුකම් ඉටුවෙති. මෙම නිසාම වෙනදාට වඩා ගමත් පන්සලත් අතර සබඳියාව වඩා වර්ධනය වේ. වස් කාලසීමාව යනු සැබවින්ම නොහැදුන මිනිසෙකුට හැදෙන්න හොඳ කාල පරිච්ඡේදයකි. තවද ධර්මානුකූල ආධ්‍යාත්මික ජීවිතයක් ගොඩනඟා ගැනීමට ද මෙම කාලය ඉවහල් වේ.

වස් කාලය නිමවා චීවර මාසය එළඹීමත් සමඟ මිනිස් ප්‍රජාවට තම පිං දහම් කටයුතු සිතැඟි පරිදි සිදුකර ගැනීමට හැකිය. මෙම කාල පරිච්ඡේදය භික්‍ෂූන් වහන්සේට අවිවේකී කාලයක් වුවද උන්වහන්සේලා ඒ සියල්ලම පසෙකලා තම දායකයන් වෙනුවෙන්ද, අනාගත සම්බුදු සසුනේ පැවැත්ම උදෙසාද මේ සියල්ල ඉතා හොඳින් සිදුකිරීම ද සුවිශේෂී දෙයකි. කඨිනය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? මෙම වචනයේ අර්ථය ගත්විට නොවෙනස් වන, ශක්තිමත් බවක් හඟවයි. මහමෙර සෙලවුණත්, මහපොළව කම්පිත වුණත්, වජ්ර පර්වතය සිඳ බිඳ දැමුවත් කඨින පූජාවෙන් ලබන ආනිසංස නොසිඳෙයි. ආනන්තරීය පාපකර්මයට හැර වෙනත් අකුසලයනට යටපත් කළ නොහැකි නිසා ද කඨිනය නමින් හඳුන්වයි. පෙර වස් සමාදන්ව හොඳින් වස් ආරක්‍ෂා කරගෙන මහා පවාරණයෙන් පවාරණය කළ භික්‍ෂූන්ට කඨිනයක් ලැබිය හැකිය. කඨින චීවර පූජාවේ ආනිසංස බොහෝමයක් ඇත.නාගිතාපදානය තුළින් ද එය මනාව වටහා ගත හැකිය.

කඨිනානිසංස

දුගතිගාමී නොවීම
සක් දෙවි පදවි ලැබීම
ඒ ඒ ප්‍රදේශයන්හි රාජ සම්පත් සමඟ මිනිසුන්ට ප්‍රධානියෙක් වීම
දිව්‍ය හා මනුෂ්‍ය ලෝකවල පමණක් ඉපදීම
සසර උසස් කුලවල පමණක් ඉපදීම
නිවනට පැමිණීමට තරම් විපාක ඇතිවීම
සෑම ආත්මයකම සියලු සැප සම්පත් ලැබීම
ඉතා ධනවත් වීම
දෙවියන් අතර ජනප්‍රිය දෙවියෙකු වීම
තවද නාගිත හිමියන් විසින් ද කඨිනානිසංස පිළිබඳ බොහෝ විස්තර දක්වා ඇත.

අට්ඨාරසන්තං කප්පානං
දෙවලෝකේ රමා මහං
චතුත්තිංසක්ඛත්තුං දෙවින්දෙ
දෙවරජ්ජ මකාරසිං

(කල්ප දහ අටක් දෙව්ලොව වාසය කිරීමටත්, තිස් හතර වාරයක් සක්දෙව් රජුව ඉපදීමටත් කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසය.)

යත්ථයත්ථුප පජ්ජාමි
ලභිත්වා සබ්බ සම්පදං
ඵුරිසානං උත්තමො හොමි
කඨිනදානස්සිදං ඵලං

(සෑම ආත්මයකදීම සෑම තැනක සියලු සැප සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වීමටත් කඨින දානයෙහි ආනිසංස ඉවහල් වේ.)

මෙසේ නාගිත හිමියන් කඨිනයෙන් ලැබෙන ආනිසංස පිළිබඳව පෙන්වා දී ඇත. එපමණක් ද නොව කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සාසන ඉතිහාසය තුළ විවිධ තැන්වලදී පෙන්වා දෙයි.

අනාමන්තචාරය – කඨිනය ලැබූ භික්‍ෂුවට මැදින් මස පොහෝ දින දක්වා අවසරයකින් තොරව ගමෙහි තමන් කැමැති තැනකට යා හැකිය.

අසමාදානචාරය – තුන් සිවුරුවලින් තමන් කැමැති සිවුරකින් තොරව හැසිරීම කැපවේ.

ගණභෝජනය – ගණභෝජන ශික්‍ෂා පදයෙන් නිදහස් වීමයි. ගණභෝජන යනු අකැප ස්වභාවයෙන් භෝජනය පිණිස කරන ආරාධනාවයි.

යාවදත්‍ථ චීවරය – කැමති තරම් සිවුරු පරිභෝජනයට කැපය.

චිවරුප්පාදය – හේමන්ත සෘතුවෙහි කෙළවර දක්වා කඨිනයක් ලැබූ භික්‍ෂුවට මතක වස්ත්‍රා දී වශයෙන් ලැබෙන චීවර අයිතිය ලැබීමයි.

වර්තමාන සමාජය තුළ කඨින පිංකම සිදුකිරීම විනෝදජනක ලෙසින් පවත්වයි. එසේ කිරීම තුළින් මෙහි ගෞරවය නැතිවී යා හැකිය. මනා වැටහීමෙන් මෙම පිංකම සිදුකිරීමද වැදගත් වේ. කඨින පෙරහැරේ දී මහා රාත්‍රියේ රතිඤ්ඤා පත්තු කිරීම සහ ශබ්ද විකාශන යොදා කෑ ගසා නිදා සිටින අය ඇහැරීම, හූ කීම, මත්ද්‍රව්‍ය බී වෙරි වී පෙරහැරේ නටමින් යාම ආදිය කරන උදවියට කඨින පිංකම බුදුදහමට ගැලපෙන ලෙසට පවත්වන ආකාරය පෙන්වාදීම මහා සංඝරත්නයේ වගකීමකි. තවද දුප්පත්, පොහොසත් භේදයකින් තොරව කඨින චීවරය සෑම නිවසකම තැන්පත් කිරීමද ඉතා වැදගත් වේ. මුළු ගමක් එකතුව පොදුවේ සිදුකරන පිංකමක් නිසාවෙන් ගමේ සමගිය, හිතමිත්‍රකම්ද මේ කාලයේදී දියුණු කර ගැනීමට අවස්ථාව උදාවෙන බව වඩාත් කල්පනාවට ගෙන සියලු දෙනාම මෙම කඨින පිංකම සිදුකිරීමට උනන්දු විය යුතුය. වසරකට එක් වතාවක් පමණක් කළ හැකි මහානිසංස කුසලය සියලුදෙනාම එක්ව තුන් සිත පහදා ගෙන සිදුකර ගැනීමෙන් මහත් ඵල මහානිසංස උදාකර ගනිත්වා.

මහනුවර වත්තේගම ඉහළ යටවර ශ්‍රී ඛෙත්තාරාම මූල මහා විහාරවාසී,
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය වත්තේගම රතනසාර හිමි.

advertistmentadvertistment
advertistmentadvertistment