මහා පාවාදීම…

153

සියවසක සටහන් – 41 වැනි කොටස

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ පක්‍ෂය ඇතුළේ සිදුවෙච්ච මහා පාවාදීමක් ගැනයි.

ලක්‍ෂයක මහා හමුදාවක් යොදවලා චියං-ශි සෝවියට් ප‍්‍රදේශයට එරෙහිව චියං කායි-ෂෙක් මෙහෙයවපු පළමු වටලෑම අවසන් වුණේ විශාල පරාජයකින්. හතුරාට සෝවියට් ප‍්‍රදේශය ඇතුළට එන්න ඉඩදීලා පහරදීමේ උපක‍්‍රමය සාර්ථක වුණා. ඒ හේතුවෙන් රතු හමුදාව ඇතුළේ මා ඕ ත්ස-තුංගේ නායකත්වය තව තවත් තහවුරු වුණා.

මේ වෙද්දි, ෂං-හයි නගරයේ රහසිගතව ක‍්‍රියාත්මක වෙච්ච පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඇතුළෙත් නොයෙකුත් පෙරැළි සිද්දවෙන්න පටන් ඇරගෙනයි තිබුණේ. 1930 අගෝස්තු අග වෙද්දි චෝ අන්-ලයි සහ ඡ්‍යු චියු-පැයි සෝවියට් දේශයේ ඉඳලා නැවතත් ෂං-හයි නගරයට පැමිණියා. ඒ වෙද්දි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඇතුළේ තිබුණේ මහ විශාල අවුලක්.

”නාගරික විප්ලවය’’ අසාර්ථක වීමේ වැරැද්ද මුළුමනින්ම පැටවිලා තිබුණේ ලී ලී-සන්ට. ඒ කාරණය මුල් කරගෙන ඇතිවෙලා තිබුණු අවුල සමනය කරන්න චෝ අන්-ලයි මහන්සි වුණා. ඔහුගේ උපදෙස් අනුව ඒ සැප්තැම්බර් මාසයේ දී ලී ලී-සන් ස්වයං-විවේචනයක් ඉදිරිපත් කළා. ඒ මාර්ගයෙන් තමන්ගේ වැරැද්ද පිළිගත්ත ඔහු පක්‍ෂයේ නායකත්ව වගකීම්වලින් ඉල්ලා අස්වුණා. මේ පිළිබඳ වාර්තා පදනම් කරගත්ත කොමියුනිස්ට් ජාත්‍යන්තරය ලී ලී-සන්ව මොස්කව් නුවරට කැඳෙව්වා. ඒ අනුව, 1930 අග ඉඳලා අවුරුදු පහළොවක් එක දිගටම සෝවියට් දේශයේ නැවතිලා කොමියුනිස්ට් ජාත්‍යන්තරයත් එක්ක වැඩ කරන්න ඔහුට සිද්දවුණා.

මහා පාවාදීම...

සෝවියට් දේශයේ ඉඳලා ෂං-හයි නගරයට ඇවිල්ලා හිටිය වං මිං ඇතුළු ”බොල්ෂෙවික්වරු විසි අට දෙනා සහ භාගය’’ (මේ ලිපි මාලාවේ 38 වැනි කොටසින් ඒ අය ගැන කියලා තියෙනවා) මේ වෙද්දි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ වැරැදි පෙන්නන්න පටන් ඇරගෙනයි තිබුණේ. ඔවුන්ගේ විවේචනය ඡ්‍යු චියු-පැයි ටත් එල්ලවුණා. මේ බොල්ෂෙවික් කල්ලියේ ගුරුතුමා (මිඛායෙල් ඇලෙක්සැන්ඩ‍්‍රවිච් ෆෝටුස්) කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විශේෂ නියෝජිතයෙක් විදිහට ඒ වෙද්දි ෂං-හයි නගරයට ඇවිල්ලා හිටිය හින්දා ඒ අයට ප‍්‍රතිප‍්‍රහාර එල්ලකරන්න අනිත් අය අදිමදි කළා. චෝ අන්-ලයි මහන්සි වුණේ මේ ආරවුල් පුළුවන් තරමින් සමනය කරන්නයි.

මිඛායෙල් ඇලෙක්සැන්ඩ‍්‍රවිච් ෆෝටුස් කියන හැම දේකටම අවනත වෙන්න පක්‍ෂ නායකයන්ට සිද්දවෙලා තිබුණා. ඉතින් 1931 ජනවාරි 7 වැනි දා කැඳවපු රැස්වීමේ දී මධ්‍යම කාරක සභාවට ඇතුළුවෙන්නත් වං මිංට පුළුවන් වුණා. ෆෝටුස්ගේ උදව්වෙන් ඔහුට පක්‍ෂයේ නායකත්ව බලයකුත් ලැබුණා. පක්‍ෂයේ මහ ලේකම් විදිහට වැඩකරපු ශියං චුං-ෆා මුළුමනින්ම වං මිංට අවනත වුණා. ලී ලී-සන් සහ ඡ්‍යු චියු-පැයි කියන සගයන් අහිමිවෙච්ච හින්දා චෝ අන්-ලයිගේ බලයත් හොඳටම සීමාවෙලයි තිබුණේ. ඉතින් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව මුළුමනින්ම වගේ කොමියුනිස්ට් ජාත්‍යන්තරයට අවනත ආයතනයක් බවට පත්වුණා.

ඒ වුණත්, වං මිං කරන මේ වැඩවලට විරුද්ධ අයත් පක්‍ෂයේ හිටියා. හ මං-ශියුං කියන්නේ එහෙම කෙනෙක්. ඔහුත් මා ඕ ත්ස-තුං වගේ ම හ-නන් පළාතේ ඉපැදුණු කෙනෙක්. ඉතින් පාසල් යන කාලේ දීම, ඔහුට මා ඕ ත්ස-තුං සහ ත්සැයි හ-සන් වගේ අයත් එක්ක සම්බන්ධකම් තිබුණා. 1919 දී පෙයි-චිං විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණු ඔහුට ලී තා-චා ඕ මහාචාර්යතුමාගේ මගපෙන්වීම යටතේ මාක්ස්වාදී අදහස් වැළැඳගන්නත් අවස්ථාව ලැබුණා. පක්‍ෂය පිහිටුවලා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඔහු පක්‍ෂ සාමාජිකයෙක් බවටත් පත්වුණා.

බොහොම ක‍්‍රියාකාරී පක්‍ෂ සාමාජිකයෙක් වෙච්ච හ මං-ශියුං 1930 නොවැම්බර් මාසයේ දී චියං-සු පළාත් පක්‍ෂ සංවිධානයේ ප‍්‍රධාන නායකයෙක් විදිහට පත්වුණා. හ මං-ශියුං කියන්නේ ලී ලී-සන් දියත් කරපු කලබල විප්ලවයටත් විරුද්ධ වෙච්ච කෙනෙක්. ඉතින් මේ හින්දා වං මිංගේ බලහත්කාරකම්වලට විරුද්ධ නොවී ඉන්න පුළුවන්කමක් ඔහුට තිබුණේ නෑ. ඔහු නිතර නිතර ම වං මිංව විවේචනය කළා.

හ මං-ශියුං ඇතුළු පිරිසක් 1931 ජනවාරි 17 වැනිදා රහසේ රැුස්වුණා. ඒත් ඒ වෙද්දිත් මේ රැුස්වීම ගැන ඔත්තුවක් පොලිසියට ලැබිලයි තිබුණේ. (පොලිසියට මේ ඔත්තුව දුන්නේ වං මිංගේ අනුදැනුම උඩ කියලා පස්සේ කාලෙක හෙළිදරව් වුණා). ඉතින් හ මං-ශියුං ඇතුළු තිස් හය දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වුණා. මේ අතර වාමාංශික ලේඛක සංගමයේ නායකයෝ පස්දෙනෙකුත් හිටියා.

වාමාංශික ලේඛක සංගමය කියන්නේ ලී ලී-සන්, චෝ අන්-ලයි ඇතුළු නායකයන් කීපදෙනෙක්ගේ අනුදැනුම යටතේ පිහිටුවපු සංවිධානයක්. 1930 මාර්තු 2 වැනිදා පිහිටුවපු මේ සංවිධානයට ලූ ශ්‍යුන් ඇතුළු ප‍්‍රසිද්ධ ලේඛකයෝ සැළකිය යුතු ප‍්‍රමාණයක් එකතුවෙලා හිටියා. පක්‍ෂයට කෙළින්ම සම්බන්ධ නොවී වාමාංශික අදහස් ජනතාව අතර ප‍්‍රචලිත කිරීමේ වගකීමයි මේ සංවිධානයට පැවරිලා තිබුණේ.

ජනවාරි 17 වැනිදා අත්අඩංගුවට පත්වෙච්ච පිරිස බේරගන්න විවිධ පෙරමුණු ඔස්සේ උත්සාහ කළත් ඒ වැඬේ සාර්ථක වුණේ නෑ. ඉතින් දවස් විසි දෙකකට පස්සේ (1931 පෙබරවාරි 7 වැනි දා) හ මං-ශියුං ඇතුළු 23 දෙනෙක්ට මරණ දඬුවම දෙන්න කු ඕ-මින්-තං ආණ්ඩුව කටයුතු කළා. මේ විදිහට මරාදාපු පිරිස අතර වාමංශික ලේඛක සංගමයේ පස්දෙනාත් ගැබිණි කාන්තාවකුත් හිටියා. පක්‍ෂය ඇතුළේ ඇවිලෙමින් තිබුණු ගැටුම් හින්දා මේ වගේ විශාල පිරිසකගේ ජීවිත කලින් කලට බිලිගන්න හතුරාට පුළුවන් වුණා.

පළමුවැනි වටලෑම අසාර්ථක වුනත් චියං කායි-ෂෙක්ගේ ප‍්‍රධාන අරමුණ බවට පත්වෙලා තිබුණේ චියං-ශි සෝවියට් ප‍්‍රදේශය විනාශ කිරීමයි. ඔහු ඒ වෙනුවෙන් සැලසුම් හැදුවා. ඒ අනුව චූ – මා ඕ බලය මර්දනය කිරීමේ දෙවැනි වටලෑම 1931 අපේ‍්‍රල් 1 වැනි දින ආරම්භ කරන්න ඔහු තීරණය කළා. මේ සටන වෙනුවෙන් ඔහු යොදවපු සේනාවල ලක්‍ෂ දෙකකට වැඩි පිරිස් බලයක් තිබුණා. ටිකෙන් ටික බිම් අල්ලගෙන පියවරෙන් පියවරට ඉදිරියට යන්න ඕන කියන උපක‍්‍රමයයි චියං කායි-ෂෙක් විසින් තෝරාගෙන තිබුණේ.

ඒත් ඒ වෙද්දිත් චියං-ශි සෝවියට් ප‍්‍රදේශයේ හිටියේ තිස් දහසකට ටිකක් වැඩි හමුදාවක් විතරයි. වං මිංගේ සගයෙක් විදිහට සැළැකුණු ශියං යිං මධ්‍යම කාරක සභාවේ විශේෂ නියෝජිතයෙක් විදිහට චියං-ශි සෝවියට් ප‍්‍රදේශයට ආවා. ඒ ප‍්‍රදේශය වෙනුවෙන් පත්කරපු දේශපාලන සහ හමුදා කොමිසම්වල ප‍්‍රධානත්වයත් ඔහුට පවරලා තිබුණා. ඉතින් මා ඕ ත්ස-තුංට සහ චූ තට කටයුතු කරන්න වුණේ ඒ කොමිසම්වල උප සභාපතිවරු විදිහට. මේ කාලය වෙද්දි රතු හමුදාවේ හතරවැනි සේනාව (චූ – මා ඕ රතු හමුදාව) නම් කරලා තිබුණේ රතු හමුදාවේ පළමුවැනි පෙරමුණු හමුදාව කියන නමින්. මේ හමුදාවේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා විදිහට කටයුතු කළේ චූ ත. ඒ වගේම, හමුදාවේ දේශපාලන කටයුතු භාර අධ්‍යක්‍ෂ විදිහට කටයුතු කළේ මා ඕ ත්ස-තුං.

වං මිංට අවනත තවත් පිරිසක් 1931 අපේ‍්‍රල් මාසය වෙද්දි චියං-ශි සෝවියට් ප‍්‍රදේශයට ආපු හින්දා චියං ශියංගේ බලය තවත් වැඩිවුණා. ඒත් මේ සටන වෙනුවෙන් ඔහු යෝජනා කරපු උපක‍්‍රම පිළිගන්න අනිත් අය කැමැති වුණේ නෑ. හතුරා එකතුවෙන්න කලින් පහරදිය යුතු බවටත්, හතුරු ප‍්‍රදේශවලට ඇතුළු වී පහරදිය යුතු බවටත්, අවශ්‍ය වුනොත් සෝවියට් ප‍්‍රදේශය අත්හැර යෑමට සූදානම් විය යුතු බවටත් ඔහු යෝජනා කරලා තිබුණා.

මේ යෝජනාවට මා ඕ ත්ස-තුං විරුද්ධ වුණා. හතුරු හමුදාවේ ශක්තිමත් සහ දුර්වල සේනා පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරපු ඔහු කිව්වේ ශක්තිමත් අය සමඟ නොගැටී දුර්වල අයට පහරදීමට ප‍්‍රමුඛතාව දිය යුතු බවයි. මේ ක‍්‍රමයෙන් හතුරාගේ ධෛර්යය හීන කරන්න පුළුවන් විදිහත් ඔහු පැහැදිළි කළා. හතුරට පහරදිය යුත්තේ මොන මොන පැත්තෙන් ද කියන එකත් ඔහු පෙන්නලා දුන්නා. භූමිය ගැන හොඳින් හදාරලා තිබුණු හින්දා ඔහුට ඉතාමත් හොඳින් ම තමන්ගේ අදහස් තහවුරුකරන්න පුළුවන් වුණා. අන්තිමේ දී හැම කෙනෙක් ම මා ඕ ත්ස-තුංගේ යෝජනා පිළිගත්තා.

1931 අපේ‍්‍රල් 1 වැනි දා පටන්ගත්ත චියං කායි-ෂෙක්ගේ දෙවැනි වටලෑම අවසන් වුණේ මැයි 31 වැනිදා. මේ මාස දෙකේ මෙහෙයුම අවසන් වුනෙත් රතු හමුදාවේ ජයග‍්‍රහණය තහවුරු කරමින්. ඒ කාලය තුළ හතුරු සේනාවල තිස්දහසකට වැඩි පිරිසක් විනාශකරන්න රතු හමුදාවට පුළුවන් වුණා. තුවක්කු විසිදාහකට වැඩි ප‍්‍රමාණයකුත් රතු හමුදාව සන්තක වුණා. කු ඕ-මින්-තං 28 වැනි සේනාවේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා විදිහට කටයුතු කරපු කුං පිං-පන් ඇතුළු විශාල පිරිසක් රතු හමුදාව විසින් අල්ලගත්තා.

ෂං-හයි නගරයේ රහසිගතව කටයුතු කරපු පාක්‍ෂිකයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් සහ හතුරාගේ තොරතුරු ලබාගැනීම වෙනුවෙන් චෝ අන්-ලයි විසින් ඔත්තු සෙවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලයි තිබුණේ. ඒ වෙනුවෙන් යම් යම් අය හතුරු පාර්ශ්වයේ මර්මස්ථානවල ස්ථානගත කරන්නත් ඔහුට පුළුවන් වුණා. මෝ ශියුං කියන්නේ ඒ වගේ කෙනෙක්. සුන් යත්-සෙන් එක්ක එකට විප්ලවීය වැඩ කරලා කු ඕ-මින්-තං කඳවුරේ ඉහළම තැනකට ඔහු පත්වෙලා හිටියා. ඒ කඳවුර ඇතුළේ තිබුණු දූෂණය සහ බල පොරය හින්දා කලකිරිලා හිටිය ඔහුට පොදු නිෂ්පාදන පක්‍ෂයත් එක්ක එකතුවෙන්න ඕන වුණා. ඒත් ඔහු තවදුරටත් හතුරු කඳවුරේ රැඳී සිටිය යුතු බවත් ඒ පැත්තේ ඉහළටම නැ`ගිය යුතු බවත් චෝ අන්-ලයි ඔහුට කියලා දුන්නා. ඉතින් නන්-චිං නගරයේ කු ඕ-මින්-තං මූලස්ථානයේම ප‍්‍රධාන චරිතයක් බවට පත්වෙන්න ඔහුට පුළුවන් වුණා.

නන්-චිං කු ඕ-මින්-තං මූලස්ථානයේ රහසිගත තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයේ වැඩ කරපු ඡියැන් චුවං-ෆෙයි කියන්නෙත් එහෙම කෙනෙක්. හතුරු කඳවුරේ රහස් තොරතුරුවලට අමතරව හමුදා සන්නිවේදන වැඩට යොදාගන්න රහස් කේත සොයාදීම පවා ඔහු අතින් සිද්දවුණා.

මේ වැඩ මෙහෙයුවේ පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ ආරක්‍ෂක අංශය විසින්. ඒ අංශයේ ප‍්‍රධානියා විදිහට වැඩ කළේ කූ ෂුන්-චං කියන පුද්ගලයා. කම්කරුවෙක් විදිහට වැඩ කරලා පක්‍ෂයට බැදිච්ච ඔහු ඔත්තු සේවා කටයුතු සම්බන්ධයෙන් පුහුණුවක් ලැබුවේ සෝවියට් දේශයේ දී. ෂං-හයි නගරයේ ඔහු රැඳිලා හිටියේ මැජික් පෙන්නන්නෙක් විදිහට. ඒ ශිල්පයේ හොඳ නිපුණතාවකුත් ඔහුට තිබුණා. රහසිගත විදිහට ෂං-හයි නගරයේ රැඳිලා හිටිය හැම පක්‍ෂ නායකයෙක්ටම, ක‍්‍රියාකාරිකයෙක්ටම අදාළ තොරතුරු ඔහු දැනගෙන හිටියා.

චියං-ශි සෝවියට් ප‍්‍රදේශයට එරෙහි දෙවැනි වටලෑම ක‍්‍රියාත්මක වෙමින් තියෙන අතරතුර, 1931 අපේ‍්‍රල් 24 වැනි දා, කූ ෂුන්-චං හිටියේ වූ-හන් නගරයේ. ඒ නගරයේ පවත්වපු මැජික් සංදර්ශනයකට සහභාගි වෙන්න ඇවිල්ලා හිටිය ඔහු තමන්ගේ ආරක්‍ෂාව ගැන සැළකිළිමත් වුණේ නෑ. අලූතින් මුණගැහුණු තරුණියක් එක්ක සම්බන්ධකමක් ඇති කරගන්න ඔහු මහන්සි වෙමින් හිටියා. ඒත් සංදර්ශනයට අදාළ ඡායාරූපයක් ආශ‍්‍රයෙන් කූ ෂුන්-චංව අඳුරගන්න කු ඕ-මින්-තං විශේෂ සේවයේ කෙනෙක්ට පුළුවන් වුණා. ඉතින් ඉතාමත් ඉක්මනින් ඔහු හතුරාගේ අත්අඩංගුවට පත්වුණා.

අත්අඩංගුවට පත්වීමෙන් පස්සේ හතුරු පාර්ශ්වයට එකතුවෙන්න කූ ෂුන්-චං එකඟවුණා. ඒ තමයි මහා පාවාදීමේ ආරම්භය. කොහොම වුණත් මේ තොරතුර හෙළිදරව් කරගන්න නන්-චිං රහසිගත තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයේ වැඩ කරපු ඡියැන් චුවං-ෆෙයිට පුළුවන් වුණා. ඉතා ඉක්මනින් ඒ කාරණය චෝ අන්-ලයිට දැනුම් දෙන්නත් ඔහු කටයුතු කළා. ඒ තොරතුරු ලැබුණු පමාවෙන් ක‍්‍රියාත්මක වෙච්ච නිසා චෝ අන්-ලයි ඇතුළු සැළකිය යුතු පිරිසකට තමන්ගේ පදිංචි ස්ථාන වෙනස් කරලා ආරක්‍ෂා වෙන්න අවස්ථාවක් ලැබුණා.

ඒත් කූ ෂුන්-චංගේ පාවාදීම හින්දා පක්‍ෂයේ සෑහෙන පිරිසක් හතුරු ග‍්‍රහණයට පත්වුණා. මේ විදිහට හතුරු ග‍්‍රහණයට ලක්වෙච්ච අය අතර පක්‍ෂයේ මහ ලේකම් ශියං චුං-ෆා සිටීමත් විශේෂයක්. චෝ අන්-ලයිගේ අනතුරු ඇඟවීම් නොතකා තමන්ගේ පෙම්වතිය බැලීමට ගිය ඔහු හතුරා විසින් අල්ලගත්තේ 1931 ජුනි 21 වැනිදා. මේ පුද්ගලයා කිසිම ප‍්‍රයෝජනයක් ගන්න බැරි නිකමෙක් බව තේරුම් ඇරගෙන හිටිය චියං කායි-ෂෙක් ඔහුව මරලා දාන්න කියලා නියෝග කළා. දවස් තුනක් ගතවෙන්නත් කලින් (ජුනි 24 වැනිදා) හතුරා විසින් ශියං චුං-ෆා මරාදැම්මා.

මහ ලේකම්වරයා මේ විදිහට මරණයට පත්වීම පක්‍ෂ ඉතිහාසයට එකතුවෙච්ච විශාල කළු පැල්ලමක්. කොහොම වුණත් මේ පුද්ගලයා පක්‍ෂයේ ප‍්‍රධාන තනතුරට පත්කළේ සෝවියට් දේශයේ මැදිහත්වීමෙන් හින්දා ඒ තේරීම පිළිබඳ වැරැද්දක් පක්‍ෂ සාමාජිකත්වයට පැටවිලා නෑ. කූ ෂුන්-චංගේ පාවාදීම හින්දා තවත් සෑහෙන පිරිසකට ජීවිත අහිමිවුණා. හොං-කොං නගරයේ පක්‍ෂ කටයුතුවලට නායකත්වය දෙමින් හිටිය ත්සැයි හ-සන් පවා ඒ අතර ඉන්නවා. (මේ ලිපි මාලාවේ 9 සහ 10 කොටස්වලින් ඔහු ගැන කියලා තියෙනවා). 1931 ජුනි මාසයේ දී අත්අඩංගුවට පත්වෙච්ච ඔහුව අගෝස්තු 4 වැනිදා මරාදමනු ලැබුවා.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment