මහා පුරුෂයකුගේ නික්ම යාම

961

අද අගෝස්තු මාසයේ පසළොස්වන ඉරිදා ය. මේ සමරු සටහනෙහි කතානායකයා වන්නේ හෙට වැනි දිනෙක එනම් අගෝස්තු මාසයේ දහසයවන දාවක ජාතියෙන් සමුගත් මහා පුරුෂයකු සිහිපත් කිරීමය. පසුගිය වසර විසිහතරක් පුරාම අප මෙන් ම එතුමන්ගේ සමුගැනීම ස්මරණය කළ විශාල පිරිසක් සිටින බව මට මතක් වේ. ඔවුන‘තර දශක ගණනාවක් තිස්සේ පේරාදෙණිය හෝ කොළඹ සරසවියේ දී එතුමන්ගෙන් ශිල්ප ලද සුවහසක් ශිෂ්‍ය පිරිස් මෙන් ම එතුමන්ගේ සාහිත්‍ය නාට්‍ය කලා නිර්මාණ හා අනෙකුත් ශාස්ත‍්‍රීය සම්ප‍්‍රදාන රස විඳිමින් ජීවිත පරිඥානය පුළුල් කරගත් පිරිස් ද එම සම්ප‍්‍රදාන ආශ‍්‍රයෙන් තම ඥාන මණ්ඩල පෝෂණය කර ගත් පිරිස් ද වන බව දනිමු. ඒ සියලූ දෙනාටම 1996 අගෝස්තු දහසය වන දා සිට 2021 අගෝස්තු දහසය වන දාට දශක දෙකකුත් අඩක් සපිරෙන හෙට දින තෙක්ම එතුමන්ගේ කීර්ති ගුණ කදම්භය සිහි වූ බව නොකිවමනාය. 1914 ජූනි තුන්වන දා වක මෙලොව එළිය දුටු යූස්ටස් රෙජිනල්ඞ් ද සිල්වා හෙවත් වැදිතන්ත‍්‍රිගේ එදිරිවීර සරච්චන්ද්‍ර නම් වූ මහා පුරුෂයා වසර අසූ දෙකක් පමණ ආයු වලඳා ජන්මාන්තර ගත වී වසර විසිපහක් සපිරෙන්නේ හෙටය.

කුමන හෝ දේශයකට රටකට මහා පුරුෂයකු බිහිවීම හාස්කමකින් හෝ ප‍්‍රාතිහාර්යයකින් සිදුවන්නක් විය නොහැකිය. එවන් පුරුෂයන් ජාතියේ පිනට පහළ වන බව ද කියැවේ. එනයින් සලකා බලන කල්හි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යනු අප දේශයෙහි, අප ජාතියෙහි පිනට පහල වූ මහා පුරුෂයකු ම වන්නේය. ඔහුගේම ශිෂ්‍ය මහාචාර්ය කේ.එන්. ඕ. ධර්මදාස විසින් හඳුන්වා දී ඇති පරිදි සරච්චන්ද්‍ර යනු ශාස්ත‍්‍රවන්තයා ය. කලාකරුවා ය. දාර්ශනිකයා ය. එතුමන්ගේ තවත් කීර්තිමත් ශිෂ්‍යයකු වූ මහැදුරු සුචරිත ගම්ලතුන් තම ගුරුදේවයන් සිහි කොට තිබුණේ මෙසේය. ප‍්‍රථම වරට මා තුළ සෞන්දර්යකාමය ද විචාරබුද්ධිය ද දැල්වූ මාගේ සදාදරණීය ගුරුදේව යනුවෙනි (ගුරු ගුණ සමර – සුචරිත ගම්ලත්) එතුමන්ගේ ශිෂ්‍යයකු නොවූව ද පේරාදෙණි සරසවියේ ම තවත් කීර්තිමත් නිෂ්පාදනයක් වූ අද දවසේ අපගේ මහා කවියා ලෙස සැලැකෙන ආචාර්ය ගුණදාස අමරසේකර සරච්චන්ද්‍ර නම් කවියාගේ කවීත්වය දැක ඇත්තේ මෙසේය. සරච්චන්ද්‍ර අග‍්‍රගණ්‍ය කවි ශක්තියකින් හෙබි කවියකු බව පවසන අමරසේකර ඔහු ශ‍්‍රී රාහුල හිමියන්ගෙන් පසු සිංහල වියත් වහරෙහි ව්‍යංජනා ශක්තිය අතැඹුලක් සේ පිරිසිඳ දත් කවියා බව පවසයි. (සිංහල කාව්‍ය සම්ප‍්‍රදාය – ගුණදාස අමරසේකර) ශ‍්‍රී ලංකාව විසින් බිහිකොට ඇති මහා පුරුෂ නාමාවලිය බබළවන මහැදුරු සෙනරත් පරණවිතාන, මහ ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ, මහාචාර්ය ගුණපාල මලලසේකර, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, පුවත්පත් කලාවෙහි පුරෝගාමියා ඞී.බී.ධනපාල, මහා නර්තනපති චිත‍්‍රසේන, වසන්ත කුමාර, මහා සංගීතඥයන් වූ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේව, ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස, නවීන නාට්‍ය කලාවෙහි විප්ලවවාදියා වූ සුගතපාල ද සිල්වා, චිත‍්‍ර කලාවෙහි මංජු ශ‍්‍රී, ජෝර්ජ් කීට්, මහගම සේකර හා තවත් කීප දෙනෙකු අතර මහැදුරු සරච්චන්ද්‍ර නම් වූ මහා පුරුෂයාගේ නාමය ප‍්‍රදීපස්ථම්භයක් සේ ආලෝකය පතුරුවමින් තිබෙන බව මෙවන් සැමරුමක දී යළි යළිත් අප මතකයට පිවිසෙන බව දැනේ. හැෙඟ්.

මහාචාර්ය සරච්චන්ද්‍ර අපගේ දේශයෙහි ජීවත් වූ විශිෂ්ටතම නාට්‍යකරුවන් අතර විශිෂ්ටතමයා ය. සිංහල නාට්‍යයෙහි ජාතික අනන්‍ය ලකුණ සොයා දුන් මහා නාට්‍යවේදියා ය. මුදලාලිගේ පෙරළියේ(1943) සිට මනමේ(1956), සිංහබාහු(1961) ඇතුළුව භවකඩතුරාව (1998) දක්වා වේදිකාවට සම්ප‍්‍රදානය කළ නාට්‍ය මාලාවෙහි නාටකීය ගුණය, ජීවිත පරිඥානය, බෞද්ධ සාහිත්‍යය ආශ‍්‍රය විශද කරවන නිර්මාණ රාශියකි. පබාවතී, මහාසාර, පෙමතො ජායතී සොකො, වෙස්සන්තර,ලෝමහංස ඉන් කිහිපයක් පමණි. සිංහල නවකතා ඉතිහාසය හා විචාරය, කල්පනා ලෝකය, නාට්‍ය ගවේශණ, සිංහල ගැමි නාටකය, වෙස් මුහුණු ද සැබෑ මුහුණු ද වැනි ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ ද මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, විලාසිනියකගේ පේ‍්‍රමය, මායාරූපය, ප‍්‍රංශ කෙටිකතා, රුසියන් කෙටිකතා අසම්පූර්ණ චාරිකා සටහන්, පිං ඇති සරසවි වරමක් දෙන්නේ ආදී නවකතා, කෙටිකතා, පරිවර්තන හා අනෙකුත් කෘති සරච්චන්ද්‍ර සාහිත්‍යවේදියාගේ අනන්‍ය ලකුණ දිස්වන සම්ප‍්‍රදාන වේ. මේ සා විසාල සේවාවක් ඉටු කොට ජාතියෙන් සමුගත් මහා පුරුෂයා ගේ සරසවි ආචාර්ය භූමිකාව, දර්ශනවාදියකු, විචාරකයකු, පරමාදර්ශී කලාකරුවකු ලෙස තම දිවි සැරිය නිමා කරන තෙක් ඉටු කළ සේවාව, ගත කළ ජීවිතය හා විශේෂයෙන් ම ඔහුගේ නාට්‍ය සාහිත්‍ය විචාර නිර්මාණාවලිය පිළිබඳ කතා බහ කිරීමට අදහස් නොකරමි. මන්ද යත් එතුමන් ජීවත්ව සිටියදීත්, වියොවින් පසුවත් අවශ්‍ය තරම් ඇගයීමට ලක්ව ඇති බැවිනි. එතෙර මෙතෙර සිංහල හා ඉංග‍්‍රීසි බසින් සරච්චන්ද්‍රගේ නිර්මාණ කාර්ය සාධනය පිළිබඳ ඇගැයීමට පත් වූවා පමණක් නොව භාරතයේ කේරළ ප‍්‍රාන්ත රාජ්‍යයේ කුමාරන් අසන් විශ්ව සම්මානයෙන් පිදුම් ලැබීමටත්, පිලිපීනයේ මැග්සේසේ ජාත්‍යන්තර සම්මානයෙන් මෙන්ම ජපන් රජයේ ස්වර්ණ රාජ්‍ය සම්මානයෙන් ද මහැදුරු සරච්චන්ද්‍ර පිදුම් ලද බව ඉතිහාසයට එක්ව හමාරය. මෙතෙර විශ්වවිද්‍යාල හා අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් එතුමන් ලද සම්මාන හා බුහුමන් අපමණ ය. මහා පුරුෂයකු විසින් ලැබිය යුතු ගෞරව සම්මාන ජීවත්ව සිටියදී ම ලබන්නට සරච්චන්ද්‍රයෝ වාසනාවන්ත වූහ. ඔහු කෙතරම් දුලබ ගණයේ මහා පුරුෂයකු ද යන්නට දැක්විය හැකි ආසන්නම අවස්ථාව ලෙස මට සිහිවන්නේ 2014 වර්ෂයේ ජූනි 10 වන දා පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී පැවැත් වූ එතුමන්ගේ ජන්ම දින ශත සංවත්සර උපහාර හා ඇගයීම් උත්සවයයි. ආසියාවේ රබීන්ද්‍රනාත් තාගෝර් තුමාට පසු එවන් බුහුමනක් ලද දෙවැන්නා වීමත් පළමු ශ‍්‍රී ලාංකිකයා වීමත් සරච්චන්ද්‍ර යනු තවත් එක් මහා පුරුෂයකු නොව එකම මහා පුරුෂයා ලෙස ද කල්පනා කිරීමට අප පොලඹවනු ලබයි.

මහාචාර්ය සරච්චන්ද්‍ර නම් මහා පුරුෂයා තුළ ජීවත් වූ මානව හිතවාදියා පිළිබඳ, මනුස්සකම් ප‍්‍රකට කළ සාමාන්‍ය සරල මිනිසා ගැන මගේ පෞද්ගලික අත්දකීම් පාදක කොටගත් සිදුවීම් හා අවස්ථා කීපයක් පිළිබඳ ඉතා කෙටියෙන් මෙහි ලියා තබමි. පාසල් වියේ දී මගේ සාහිත්‍ය වීරවරයකු වූ ඔහු දැක හැඳින ඔහු ගේ නිර්මාණ සඳහා දායක වීමට ඒවාට උපකාර කිරීමට,මගේ පවුලේ ඥාතියකු තරම් සමීප ඇසුරක් පැවැත්වීමේ සිහිනයක් මා තුළ නොවිණ. එහෙත් ඔහු දැක හැඳින කතාබහ කිරීමේ සිහිනයක් නම් මට තිබිණ. 1968 වසරේ දී පමණ එතුමා විද්‍යෝදය සරසවියේ නේවාසිකාගාරාධිපති ඔහුගේ ශිෂ්‍ය තිස්ස කාරියවසම් ඇදුරිදුගේ නිල නිවස්නෙහි නැවතී සිටි කල එක් දිනක පුස්තකාලයේ දොරටු විවෘත කරන තෙක් සිටි මහැදුරුතුමා දකින්නට ලැබිණ. මා අත වූ සමරු පොත දිගු කළ පසු එහි පිටුවක සරච්චන්ද්‍ර යන්න පමණක් මට ලියා දුන් බව මතකය. එහෙත් කිසි දිනෙක ඔහුගේ ශිෂ්‍යයකු නොවූ මා හට 1969 සිට සිංහල නාට්‍ය වංශ කතාවේ මුදුන් මල්කඩ වූ මනමේ නාටකයේ සිට සරච්චන්ද්‍ර නාට්‍ය මුතු හරෙහි මුතු පන්තිය වන් සිංහබාහු, පෙමතො, මහාසාර,වෙස්සන්තර, කදා වළලූ, රත්තරන්, එලොව ගිහිං මෙලොව ආවා හා විද්‍යෝදය විශ්වවිද්‍යාලය වෙනුවෙන් නිෂ්පාදනය කළ කිරි මුට්ටිය ගෙඟ් ගියා වැනි නාට්‍ය බොහොමයක අංග රචනය, රංග භූමි පාලනය, ප‍්‍රචාරක කටයුතු, රංග පත‍්‍රිකා සංස්කරණය වැනි කලාංශ රැුසකට දායක වන්නට ලැබීම පෙර කළ පිනකින් උදා වූ අවස්ථාවක් ලෙස සිතමි. ඒ අවස්ථාව මාහට උදා කර දුන් ඔහුගේ සමීපතම ශිෂ්‍යයා වූ මගේ ගුරුවර මහැදුරු තිස්ස කාරියවසම් මෙන් ම නාට්‍ය භූමිකාවේ දී අංග රචනය පිළිබඳ ගුරුහරුකම් දී එකී ක්ෂේත‍්‍රයේ අත්පොත් තබන්නට මග කියා දුන් පද්මකුමාර එදිරිවීර ගුරුතුමා ද බැතියෙන් සිහි කරමි. මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍ය නිෂ්පාදකතුමා සමග වූ සම්බන්ධය නාට්‍ය කටයුතුවලින් ඔබ්බට ගිය එතුමාගේ සාහිත්‍ය කාර්යයන්හි දී සෝදුපත් කියවීම, මාධ්‍ය සම්මුඛ සාකච්ඡුා, සංස්කරණ කටයුතුවලට සම්බන්ධ වීමි. අප දෙදෙනා අතර සමීප සබඳතාව කෙතරම් දැඩි වී ද යත් පැරීසියේ ශ‍්‍රී ලංකා තානාපති ධුරය ලැබී එහි සිටිය දී ද 1977 න් පසු හවායි හි ඊස්ට් වෙස්ට් මධ්‍යස්ථානයේ මහාචාර්ය ලෙස කටයුතු කළ සමයේ දී ද අප දෙදෙනා අතර දේශපාලනය සාහිත්‍යය හා නාට්‍ය කලාව පිළිබඳ මූලික වූ ලිපි හුවමාරුවීම් නොකඩවා ම සිදු වූ බව මතකය. එතුමන් විසින් මා වෙත එවන ලද ලිපි සියල්ල සුරැුකිව මා සතුව ඇත. මගේ විවාහයේ ඡුායාරූප (වර්ණ) සියල්ල මුද්‍රණය කොට එවුයේ ඔහුත් බිරිඳ ලලිතාත් විසිනි. මගේ විවාහයට සුබ පතන අතරතුර ඡුායාරූපවල සිටි මගේ මෙන්ම ඔවුන්ගේ ද හිත මිතුරන් දැකීමෙන් සතුටට පත් වූ බවත් මට ලියා එවා තිබිණ. ඊස්ට් වෙස්ට් ගොස් සිටි ශ‍්‍රී ලාංකිකයකු වූ මහින්ද රණවීර මගින් එම ඡුායාරූප මා වෙත ලැබෙන්නට සැලස්වූයේ ඔවුන් දෙපොළ ය. පෙරළා ශ‍්‍රී ලංකාවට පැමිණි පසු සරච්චන්ද්‍ර සර් බිරිඳ ලලිතා හා දූ පුතුන් හා අපේ පවුලේ බිරිඳ ගීතා හා දූ දරුවන් සමග පවුලේ මිත‍්‍රයන් ලෙස බැඳුණු මිත‍්‍ර ස්නේහය අද දක්වා ම එලෙසම පවතින බව කිව යුතුය. මගේ දූ පුතුන්ගේ උපන් දින, අකුරු කියවීම්, මගේ මාපිය සහෝදර වියොවන් සඳහා හවුල්වීම් ආදී සෑම කටයුත්තකටම සරච්චන්ද්‍ර සර් බිරිඳ ලලිතා , කිසා, යසා, රංසි දූ පුතුන් සහභාගී වූහ.

වර්ෂාවසාන තිස් එක් වනදා රාත‍්‍රී හමුවීම ජයමංගල මාවතෙහි අප නිවසේ දී ද පසුව එපිටමුල්ල පාරේ සරච්චන්ද්‍ර සර්ගේ නව නිවස්නෙහි ද නාට්‍ය කණ්ඩායමේ බොහෝ දෙනා ද සමග රැුඟුම් ගැයුම් නැටුම් සහිතව ප‍්‍රීති ප‍්‍රාමෝද්‍යෙන් නිමා වූ බව මිහිරි මතකයකි. මේ සෑම මොහොතකම මා දැක ඇත්තේ සරච්චන්ද්‍ර නම් වූ මහා ප‍්‍රාඥයා නොව සරල සුන්දර සාමාන්‍ය මිනිසෙකි. මනෝ, දිගා, ජය ශ‍්‍රී, විමල්, සූරි, රත්නා, විල්මන්, අනුර පුෂ්පා, විජය දේවිකා, චාලි, ලාල් කුලරත්න, දන්තුරේ හා ස්වර්ණා, මැණිකේ හා නාට්‍ය කණ්ඩායමේ තවත් බොහෝ සාමාජික සාමාජිකාවන් ද සරච්චන්ද්‍ර සර්ගේ සමීප මිතුරන් වූ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සුනිල් නන්දා, මහාචාර්ය ජේ.බී. දිසානායක, ජයසුමන දිසානායක, කේ.බී හේරත්, සෝමෙ හේවාකපුගේ ආදී සමාගමයේ සරච්චන්ද්‍ර සර් සතුටු සාමීචීයේ යෙදෙමින් ද මනෝ දිගා ජයශ‍්‍රී වැන්නන්ගේ වේදිකාවෙන් බැහැර නාට්‍ය රංගන, ගායනා අසමින් නරඹමින් ඉඳහිට අප සමග සිනා ගන්වන උපහාසාත්මක කතාවක් ද කියමින් සැහැල්ලූවෙන් සිටි සරච්චන්ද්‍ර සර් කෙසේ අමතක කළ හැකි වේ ද?

මගේ ලොකු මල්ලී ඞී. ගලප්පත්ති ( නීතිඥ හා ඡායාරූප ශිල්පී) සරච්චන්ද්‍ර සර්ගේ ඡායාරූප මෙන් ම නාට්‍ය ඡුායාරූප ද රැසක් ගෙන තිබුණි. ඔහු හදිසි අනතුරකින් මියගියේ 1996 අපේ‍්‍රල් 21 වන දා ය. සත් දින මතක බණ සඳහා වැඩම කරනු ලැබූයේ නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් ය. අපේ‍්‍රල් 27 දා ජයමංගල මාවතේ නිවසේ පැවති එම පිංකමට සරච්චන්ද්‍ර සර් පැමිණ ධර්ම දේශනාව අවසන් වන තෙක්ම රැඳී සිටියේය. එවන් හමුවක දී මා සරච්චන්ද්‍ර සර් දුටු අවසාන අවස්ථාව එය විය යුතුය. ජූලි මාසයේ මුල් සතියේ පමණ සරච්චන්ද්‍ර සර් රෝගාතුර වී මහාරෝග්‍ය ශාලාවේ මර්චන්ට්ස් වාට්ටුවට ඇතුළත් කරනු ලැබ සිටියේය.

මගේ දිනපොත සටහන් අනුව, ජූලි 3 වන දා, ජූලි 10 දා, ජූලි 26 වනදා 27 වන දා, 29 වන දා 30, 31 වන දා අගෝස්තු 7 වන දා, 12 වන දා යන සෑම දිනකම මා ආරෝග්‍ය ශාලාවට ගොස් උසස් පෙළ පංතියේ දී මගේ වීරයා වූ ජීවිතයේ පසු කලෙක ඔහුගේ නිර්මාණ සඳහා දායක වූ ශිල්පියකු ලෙස ඉන් පසුව අප පවුලේ සමීපතම වැඩිහිටියා ලෙස අසුරු කළ මහා පුරුෂයා ගේ අවසන් දින කිහිපය රෝහල් වාට්ටුවක සයනයෙහි නිසලව වැතිර සිටිනු බලා සිටියේ දරා ගත නොහෙන වේදනාවකිනි. දුකකිනි. අනුර ෆොන්සේකා මිතූරා සමග 14 වන දා රැුයෙහි දැඩි සත්කාර ඒකකයට ගොස් ඔහු දැක බලා ගත්තේ අවසන් වරට බව නොසිතුවෙමි.

16 දා අලූයම් කාලයේ දී මහා පුරුෂයකුගේ නික්මන රෝහල් පොතපතෙහි නිල වශයෙන් සටහන් වීය. හදිසි මරණ පරීක්ෂක කාර්යාලය, මෘත ශරීරාගාරය හා ඒ.එෆ්. රේමන්ඞ් අවමංගල්‍ය ශාලාවෙහි කටයුතු සංවිධානයෙන් පසු එපිටමුල්ල පාරේ බොහෝ උදේ කාලයේ එතුමා සක්මනෙහි නිරතව සිටි පාළු ආලින්දය සහිත නිවසට ආමි. අවමංගල්‍ය කටයුතු සංවිධානය සඳහා ඒ වන විටත් එහි පැමිණ සිටි එතුමන්ගේ ශිෂ්‍ය සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය ඒ.වී. සුරවීර, මහාචාර්ය මැන්දිස් රෝහණධීර ආදීහු වූහ. ලේක් හවුසියේ මාධ්‍යවේදී අජිත් සමරනායක සරච්චන්ද්‍ර සර්ගේම ඉංග‍්‍රීසි යතුරු ලියනයෙන් වම් ඇඟිල්ලෙන් අකුරින් අකුර කොටමින් මාධ්‍ය නිවේදනය සකස් කරමින් සිටියේය. හවස් කාලයේ දේහය නිවෙසට ගෙන ඒමෙන් අනතුරුව අවසාන කටයුතු සිදු කෙරෙන්නේ කුමන ස්ථානයකද යන්න පිළිබඳ අවසාන තීරණයකට නොපැමිණ සිටි අතර එතුමන්ගේ අවසාන කටයුතු කොළඹ විශ්වවිද්‍යාල පරිශ‍්‍රයෙහි සිදු කිරීමට පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ කැමත්ත වී තිබිණ. මේ පිළිබඳ අවසාන සාකච්ඡුාවට 16 දා රාත‍්‍රියේ හමු වූ කණ්ඩායමට එකල විශ්වවිද්‍යාලයේ උපකුලපති ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන්, මහාචාර්ය ජේ.බී.දිසානායක, දිවයින ඉරිදා සංග‍්‍රහයෙහි කර්තෘ ගාමිණී සුමනසේකර, සරච්චන්ද්‍ර සර්ගේ ශිෂ්‍ය මනමේ මුල් රැුඟුමේ වැදි දෙටු, කීර්තිමත් පරිපාලන නිලධාරී ලයනල් ප‍්‍රනාන්දු, ලේක් හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ වජිර පැල්පිට, ප‍්‍රවීණ මාධ්‍යවේදී, එපිටමුල්ල පාරේ අසල්වැසියා දයා විජේසේකර ආදීහු ඇතුළත්ව සිටියහ.

උපවුලේ සාමාජිකයන් නියෝජනය පැවරී තිබුණේ මාහටය. ඒ වන විට ආදාහන කටයුතු කොළඹ විශ්වවිද්‍යාලයේ සිදුකිරීම පිළිබඳ විවිධ මත පැන නැගී තිබුණු අතර උපකුලපතිතුමාගේ සෘජු කැමැත්තක් ඊට නොවුණු බව පැහැදිලිව පෙනුණි. මා තරයේම පැවසූයේ සරච්චන්ද්‍ර සර්ගේ අවසන් කටයුතු විශ්වවිද්‍යාලයේ ම සිදුවිය යුතු බවයි. ඊට ප‍්‍රතිවිරුද්ධව නැගුණු තර්කය වූයේ විශ්වවිද්‍යාල පරිශ‍්‍රයක් ආදාහන උත්සවයක් වෙනුවෙන් යොදා ගැනීම කෙතරම් සුදුසු ද යන්නයි. මා එක්වරම ඔවුන්ට සිහිපත් කළේ 1963 දී ශ‍්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයේ ආරම්භක උපකුලපති ස්වාමීන් වහන්සේ වූ වැලිවිටියේ සෝරත නාහිමියන්ගේ ආදාහනය සිදු කරන ලද්දේ සරසවි බිමෙහි දී බවයි. උන්වහන්සේගේ අවමඟුල් උත්සවය නිදහස් චතුරශ‍්‍රයේ දී පැවැත්වීමට රජය අදහස් කළ ද විශ්වවිද්‍යාල පාලක සභාවේ අදහස වූයේ එය විශ්වවිද්‍යාලයේ ම පැවැත්විය යුතුය කියායි. ඒ අනුව උපකුලපති සෝරත නාහිමි අවසන් කටයුතු ගංගොඩවිල දී සිදු කෙරිණ. සරච්චන්ද්‍ර සර්ගේ අවසන් කටයුතු ද නිදහස් චතුරශ‍්‍රයේ සිදුකිරීමට රජය සූදානම් බව මේ සාකච්ඡුාවේ දී සඳහන් විණි. එහෙත් ඊට මා ඇතුළු කණ්ඩායමේ බොහෝ දෙනාගේ කැමත්තක් නොවීය. ඒ වන විට ආදාහනය කොළඹ කනත්තේ සිදු කිරීමට පවුලේ සාමාජිකත්වය තීරණය කොට තිබූ අතර ඒ අනුව මාධ්‍ය ප‍්‍රවෘත්ති ද සැකසෙමින් තිබුණි. අවසන් තීරණය නිදහස් චතුරස‍්‍රයේ පැවැත්වීම බව උපකුලපති තුමා ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව ඒ බව සරච්චන්ද්‍ර මැතිනිය හා දරුවන් වෙත දන්වා සිටියෙමි. පියගැට පෙළ බැස ආ කිසා ගෝතමී මහට පැවසූයේ ‘බුද්ධි මාමා, කැම්පස් එකේ ආදාහනය නොකෙරෙනව නම් නිදහස් චතුරස‍්‍රයට අපි තාත්තව ගෙනි යන්නෙ නෑ, අපි කොළඹ කනත්තෙ ආදාහනය කරනව. අම්මගෙත් අපෙත් අවසාන තීරණය ඒකයි.’ අවසාන තීරණය උපකුලපතිතුමා ප‍්‍රධාන කණ්ඩායමට දන්වනු ලැබීය. වජිර පැල්පිට, ලයනල් ප‍්‍රනාන්දු, ගාමිණී සුමනසේකර ආදීහු මා සමග වූ බව මට මතකය. ජේ.බී. සර්ට උපකුලපතිතුමා වෙනුවෙන් පෙනී සිටින්නට සිදු වන්නට ඇත. කෙසේ හෝ අවසන කොළඹ විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ ම ආදාහන කටයුතු සිදු කරන්නටත්, 18 වන දා පෙරවරුවේ සිට අවසන් ගෞරව සඳහා නවකලාගාරයේ දේහය තැන්පත් කොට තැබීමටත් එකඟ වූ සැණින් ගාමිණී සුමනසේකර කර්තෘවරයාගේ පළමු කටයුත්ත වූයේ පසුදා දිවයිනේ මුද්‍රණය වීමට තිබූ ආදාහනය කොළඹ කනත්තේ දී යන ප‍්‍රවෘත්තිය වෙනස් කොට ඒ වෙනුවට කොළඹ විශ්වවිද්‍යාලයේ ය යන්නට මුල් තැන දීමයි. සාකච්ඡුාව අවසන ලයනල් අය්යා ( 69 මනමේ මේක් අප් කළ කාලයේ සිට අමතන්නට පුරුදුව සිටියේ එලෙසය.) මට කීවේ ‘උඹ තමයි මිනිහා, කොහොමහරි ෆයිට් එක දුන්නා’ කියායි. මා ෆයිට් කළේ සාධාරණ තීන්දුවක් වෙනුවෙන් බව තවමත් සිතමි. අගෝස්තු 17 දවස පුරා නිවසේ තැන්පත් කොට තිබූ සරච්චන්ද්‍ර සර්ගේ දේහයට බුහුමන් දැක්වීමට දිවයිනේ නන් දහස් සංඛ්‍යාත පිරිස් එක් වූහ. 18 වන දා උදෑසන ම ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පිටකෝට්ටේ නිවසට පැමිණ ඈ බොහෝ ප‍්‍රිය කළ මහා පුරුෂයාණන්ට ගෞරව දැක්වූවාය.

1996 අගෝස්තු මාසයේ 18 වන දා කොළඹ විශ්වවිද්‍යාලයේ නවකලාගාරයට රැුගෙන ගිය මහා පුරුෂයාගේ දේහය දහසක් දෙනාගේ ගෞරවයට පාත‍්‍ර වෙමින් එදින සැඳෑ කාලයේ සරසවි ක‍්‍රීඩා භූමියේ දී දැවී අවසන් වූයේ පළමු දුම් රොටුව සොවින් වැලැපෙමින් හිස් ගුවනට එක් වෙමිනි. සියලූ කටයුතු නිමා වී පිටකෝට්ටෙ එපිටමුල්ල පාරේ ඔහු නොමැති පාළු නිවහනට පැමිණිය ද එහි රැුඳී සිටින්නට සිත් නොදුන් නිසාදෝ ජයශ‍්‍රී මට යෝජනා කළේ වරෙන් යන්න කැම්පස් එකට කියායි. ජයශ‍්‍රී සමග මම තර්ස්ටන් පාරට පැමිණ දැවී අළුවෙමින් කඩා වැටෙනා චිතකය දෙස බොහෝ වේලා බලා සිටියෙමු. එවන් මහා පුරුෂයකු කවදා මෙබිම පහළ වන්නේ ද යන්න පිළිතුරක් සොයා ගත නොහෙන ප‍්‍රශ්නයක් ය යන්න එතුමන්ගේ වියොවින් විසිපස් වසරක් සපිරෙන අදත් අපට මෙන්ම ශ‍්‍රී ලංකාවාසී ජන සමාජයට ද දැනෙන බව විශ්වාස ය.

බුද්ධදාස ගලප්පත්ති

advertistmentadvertistment
advertistmentadvertistment