මහින්දගේ නිවේදනයටත් උඩින් පනින ආණ්ඩුව!

706

මේ වූ කලී ලෝක සත්ත්වයන්ගේ භෞතික දුකටත් භවදුකටත් හේතු සාධක මෙන්ම ඉන් මිදෙන මාර්ගයද පහදා දුන් අසිරිමත් බුදු මහිමය සිහිපත් කෙරෙමින් ඒ උතුම් බුදුරජාණන් වහන්සේට සිය ගෞරවයද බුහුමනද නමස්කාරයද දැක්වූ සතියක නිමාවයි. සම්භාව්‍ය සාහිත්‍යයේ ඒ අපරිමිත බුදුගුණ විචිත්‍ර ලෙස දැක්වේ. පොදු ජනයාගේ කවීන් බුදු මහිම වර්ණනා කළේ උන්වහන්සේ සත්හට වන බව දුකට වෙදාණන් ලෙසය. හැම ලෙඩ සුවවන ලෙසට දනන්නේ තම උපතම බෙහෙදක් කොට දුන්නේ යන මහා දාර්ශනික සත්‍යයෙහිද පිහිටමින්ය. බුදු සිරිත අලංකාර වදනින්ද, විසිතුරු තොරණින්ද ඇසූ දුටු බොදුනු නොබොදුනු සියල්ලෝම පහන් සිත් ඇති කර ගත්හ. එව, කව, බොව කියන නෙපුලින්ද මුදු කරුණ ගුණයෙන්ද අඩුවක් නොවූ සෙයකි.

එහෙත් ඒ සමාධි දැහැන බිඳ යළිත් මේ සමාජ දේශපාලන සංසාරයට පිවිසීමට අපට සිදුවේ. එයද බුදුන් වදාළ සංසාරයට වඩා ගොරතරය. එසේ වුවද තවමත් ඒ සමාජ දේශපාලන සසරින්වත් එතෙර වීමට අපට හැකිවී නැත. සුවහසක් බොරු කාරයන්ගේ ඉච්ඡා බසට නෙක දහස් සිහින ලෝක මැවූ මායාකාර දේශපාලනයකට හසුවූ වල්මත් වූ සමාජයක ඉකිබිඳුම අදත් ඇසෙයි. ඒ සමාජ විපත ජනදුක ඔබේවත් අපගේවත් වරදක් නොවුවද පොදුවේ අප සියල්ලෝම එයට වගකිව යුතු වෙති.

මේ විපතින් රට ගොඩ දැමීමේ එක් මඟක් දේශපාලනයයි. ඒ සඳහා ප්‍රඥා සම්පන්න පුරවැසි සමාජයක් බිහි කිරීම වියතුන්ගේ, උගතුන්ගේ කලාකරුවන්ගේ මෙන්ම ආගමික නායකයන්ගේද වගකීමයි. ජගත් පූජිත නාට්‍යවේදී බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් වරක් ප්‍රකාශ කළේත් ජනතාව ප්‍රඥාසම්පන්න කළ යුතු බවය. එහෙත් එය අතිශය දුෂ්කරය. දියසේන කුමාර වෙස්ගත් අය මෙන්ම ලී ක්වාන් යූට මහතීර් මොහමඩ්ට මෙන්ම නෙල්සන් මැන්ඩෙලාටද ඇන්ද වූ අයද වූහ. එහෙත් රටට හෝ අපට අත්පත්වූ සුගතියක්, යහපතක් තිබේද? එසේ වුවද යළි යළිත් මෙම දේශපාලන සමාජ අත්දැකීම් තුළින් ද අපට උගන්වනු ලැබ ඇත්තේ ප්‍රඥාවන්තයන් සිංහාසනාරූඪ කළ යුතු බවය.

මහින්දගේ නිවේදනයටත් උඩින් පනින ආණ්ඩුව!

වෙසක් සතිය උදාවීමටත් පෙර සිටම සමාජ, දේශපාලන මෙන්ම මාධ්‍ය ක්‍ෂේත්‍රවලද ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කවදා පැවැත්වෙනු ඇද්ද යන්නයි. දේශපාලන පක්ෂවලට මෙන්ම වෙනත් සිවිල් සංවිධානවලට ද ඒ මැතිවරණ සම්බන්ධයෙන් තිබුණේ අවිනිශ්චිත බවකි. එයට සාධාරණ ද හේතු තිබුණි. විශේෂයෙන් ආණ්ඩුවේ කීප දෙනෙකුගේත් ඔවුන්ට සහාය දක්වන පොදුජන පෙරමුණෙත් සමහරුන් අපේක්‍ෂා කළේ මුලින් මහ මැතිවරණය පැවැත්වීමය. රාජපක්‍ෂවරුන්ගේ සමීපතමයකු ලෙස සැලකිය හැකි උදයංග වීරතුංග කැට තබා කීවේද මහමැතිවරණය මුලින් පැවැත්වෙන බවය. ඒවා ජනමාධ්‍යවලින්ද ප්‍රකාශයට පත් විය. එහෙත් පසුගිය කැබිනට් හමුවේද (22) ජනාධිපති රනිල් ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වෙන බවය. ඇත්තටම ජනාධිපති රනිල්ට මේ පිළිබඳව වේලාසනින්ම ජනතාවට කිව හැකිව තිබුණි. එහෙත් ඒ නිමිත්තෙන් වාද විවාද සිදු වෙද්දී ඔහු තුෂ්ණීම්භූතව සිටීම අපටද ප්‍රශ්නයකි.

මෙය අද මෙරටේ තිබෙන දේශපාලනයේම අවුලකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙබඳු විධි විධාන තිබුණත්, මැතිවරණ කොමිසම මොන ආකාරයේ නිවේදන කළත් ඒ සියල්ලටම උඩින් රටේ ජනාධිපතිවරයා සිටීම මෙයට හේතුවය. විශේෂයෙන් මේ ජනාධිපති රනිල් මෙන්ම ඔහුගේ නායකයා වූ ජේ. ආර්. ජයවර්ධනටද මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තිබෙන විවේචන යහපත් නැත. ජයවර්ධන යනු මැතිවරණ සිතියම හකුළා දමන බව ප්‍රසිද්ධියේ පැවැසූ ප්‍රජාතන්ත්‍රවාදියෙකි. ජනාධිපති රනිල් ද පළාත් පාලන මැතිවරණය අතුරුදන් කළ අයුරු ප්‍රසිද්ධ රහසකි. කුමක් වුවත් මහජන මතයට බියෙන් සිටින මේ ආණ්ඩුව මොන උප්පරවැට්ටියක් යොදා හෝ ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණයද කල්දැමිය හැකි යැයි සිතන පිරිසක් තවමත් සිටිති. ඒ මෙරටේ පවතින අලජ්ජී දේශපාලනයක් බොහෝ නායකයන් සම්බන්ධයෙන් තිබෙන ආකල්පත් නිසාය.

ජනාධිපති රනිල් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළත් ඔහු ඒ සඳහා ඉදිරිපත් වන්නේද යන්න තවමත් නිවේදනය කර නැත. එ.ජා.ප.යේ පළමු පෙළේ අයට අනුව නම් නිසැකයෙන්ම රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇත. ඔහු එ.ජා.ප. අපේක්ෂකයා ලෙස නොව පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ඔහුගේ සමීපතමයෝ කියති. එහෙත් ඔහුට පොදු අපේක්ෂකයකු විය හැක්කේ එ.ජා.ප.යේ හා පොදුජන පෙරමුණේ එකඟතාව අනුව පමණි. ඇතැම් විට ශ්‍රී ල.නි.ප.යද ඔහුගේ අපේක්ෂකත්වය අනුමත කළ හැකිය. මේ වනවිට ශ්‍රී ල.නි.ප. බලය අධිකරණය මඟින් ලබාගෙන සිටින චන්ද්‍රිකා පාර්ශ්වයේ නායකයන් සිටින්නේද ඔහු සමඟය. ප්‍රසිද්ධියට පත් නොවුවද පසුගියදා සිදු වූ ජනාධිති රනිල්ගේ ඉන්දුනීසියා සංචාරයටද චන්ද්‍රිකා මෙන්ම මහින්ද අමරවීර, දුමින්ද දිසානායක හා ලසන්ත අලගියවන්නද එක් වී ඇත. එසේම අනුර යාපා හා නිමල් ලන්සාද මේ සංචාරයට එක්වූ බවද කියති. එය නිල සංචාරයක ස්වරූපය ඉක්මවූ නූතන දේශපාලන කතිකාවකට උචිත වුවක් බවද පෙනී යයි.

මෙරටේ දේශපාලන පක්ෂවල උද්ගතවී තිබෙන අවුල් සහගත බව නොදන්නා අයෙක් නැත. විජයදාස රාජපක්ෂට හෝ මෛත්‍රීට ශ්‍රී ල.නි.ප.ය ගොඩගත නොහැක්කා සේම සිරිපාල, අමරවීර, දුමින්ද කණ්ඩායමටද එබඳු දෙයක් කළ නොහැක. එ.ජා.ප.යේ ඉරණමද ඊට වඩා වෙනස් එකක් විය නොහැක. රාජපක්ෂවරුන්ගේ පොහොට්ටු පක්ෂයට යම් පමණකින් ජාම බේරා ගත හැකි යැයි තවමත් ඔවුහු කල්පනා කරති. එහෙත් ඉදිරි මැතිවරණ භූමිකාවේ දකුණේ ප්‍රධාන දේශපාලන ධාරාවන් ලෙස සජිත්ගේ ස.ජ.බ.ය මෙන්ම අනුර කුමාරගේ ජා.ජ.බ.යද ඉදිරියෙන් සිටිනු ඇත. දැනටමත් එ.ජාප, පොදුජන පෙරමුණ, ශ්‍රී ල.නි.ප. මෙන්ම ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන්ද සිය දේශපාලන සතුරා බවට පත් කර ගෙන සිටින්නේ ජා.ජ.බ.ය බව නිසැකය. මේ සියල්ලන්ගේම පොදු විවේචනය වන්නේ මාලිමාව ලෙස සිටින ඒ පක්ෂය පැරණි ජ.වි.පෙ. බවය. එපමණක් නොව ඒ හැම අයෙකුගේම විවේචනවල හරය වන්නේ මාලිමාව බලයට පත් වුවහොත් යළි ඝාතනය භීෂණය සමාජ යන වන බවයි.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ලෙස සිදුවූ සියලුම ඝාතන මෙන්ම ජයවර්ධන, ප්‍රේමදාස පාලන යුගවලදී පැතිර ගිය ඝාතන භීෂණ සියල්ල දන්නා අය අදත් සිටිති. දේශප්‍රේමීන් ලෙස පැතිර ගිය භීෂණය හා ඝාතනයට පිළිතුරු දීමට හැදූ ප්‍රා, කොළ කොටි, කහ බළල්ලු වැනි අලුගෝසු කල්ලිද වූහ. චන්ද්‍රිකා බණ්ඩාරනායකලාත් එදා ඇඹිලිපිටිය සිසු ඝාතනය හා සූරියකන්ද සමූහ මිනීවළවල් හෑරීමට ගිය ඉතිහාසයක්ද තිබේ. හෝකන්දර සමූහ මිනීවළද එවක පාලකයන්ගේ අනුමැතිය ලත් තිරිසන් අපරාධයකි. මේ ඝාතන ක්‍රියාවලිය දේශපාලන බලය සඳහාම භාවිත වීම හැර ඒවායින් විපතට පත්වූ අයට යුක්තියක් ඉටු නොවූ බවද අප සඳහන් කළ යුතුය.

ජේ. වි. පි.යට මෙන්ම ඒ කාලවල තිබුණු ආණ්ඩුවලටද මේ ඝාතනවලින් ගලා ගිය රුධිර ගංගාවල වගකීමෙන් නිදහස් විය නොහැකිය. කාගේත් අත්වල ලේ තැවරී තිබේ.

කුමක් වුවත් ජයවර්ධන යුගයෙන් ඇරඹුණු ජ.වි.පෙ. මර්දනයට මුහුණ දී අද එම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවට එක්ව සිටින බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක. 1994 දී පාර්ලිමේන්තු දේශපාලනයටද එක්වූ ජ.වි.පෙ. අද සිටින තත්ත්වය ගැන එ.ජා.ප., ශ්‍රී ල.නි.ප. මෙන්ම පොදුජන පෙරමුණටද දිරවා ගත නොහැකි වීම ජනතාවට තේරුම් ගත හැකිය. එනිසා පරණ කුණු කන්දල් පසෙක දමා මහත්වරුන් ලෙස දේශපාලන ගමනක් යෑමට මේ සියලු දෙනාටම අපි යෝජනා කරමු. එසේම ජ.වි.පෙ. මේ හැම පාලනයක් සමඟම සන්ධාන ගත වී හෝ නිල නොවන ආකාරයේ අනුග්‍රහයෙන් ලබා දුන් බවද ජනතාවට මතක තිබේ. එසේම එ.ජා.ප.ය –

ශ්‍රී ල.නි.ප.ය මෙන්ම ඒවායින් වෙන්ව ස.ජ.බ. හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ගොඩනැඟී තිබෙන පක්ෂ සම්බන්ධයෙන්ද විවිධ විවේචන තිබේ. ස.ජ.බ.ට පාලන බලය හිමි නොවුවත් පොදුජන පෙරමුණ මෙරටේ දේශපාලන සමාජය තුළ ප්‍රබල මැදිහත්වීම කළ පක්ෂයකි. වත්මන් දේශපාලනයේදී ඔවුන්ගේ භූමිකාව සුවිශේෂ එකකි. එහෙත් අද පක්ෂයක් ලෙස ඔව්හු විශාල පසුබෑමකට ලක්ව සිටිති.

මහින්දගේ නිවේදනයටත් උඩින් පනින ආණ්ඩුව!

තිස් අවුරුදු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා රාජපක්ෂවරුන් ලද ජනප්‍රසාදය ඉමහත් විය. එහි උත්කර්ෂණීය අවස්ථාව 69 ලක්ෂයක ජනවරමකින් ගෝඨාභය ජනාධිපති ධුරයට පත් වීමය. එහෙත් ජනතාව අපේක්ෂා කළ සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඔවුන්ට නොවීය. අපේක්ෂා භංගත්වයට පත් ජනතාවගේ විරෝධය ඔවුන්ට එල්ල වූ අතර ගෝඨාභයට ජනාධිති ධුරය අත්හැර රටින්ද පැන යෑමට සිදුවිය. මහින්දට ද අගමැතිධුරය අත්හැරීමට සිදුවිය. 2022 ගාලුමුවදොර විරෝධතාව සම්බන්ධයෙන් ඔවුනට සැබෑ කියවීමක් නොවීය. සමහරු එය ජේ.වී.පී.ය මත පටවති. එහි නිශේධනීය ප්‍රතිඵලම සිහි කරති. මන්ත්‍රීවරයකු මහ මඟ ඝාතනයවීම, රාජ්‍ය දේපොළ හා පොහොට්ටු අනුගාමිකයන්ගේ මෙන්ම ඇතැම් එ.ජා.ප. පාක්ෂිකයන්ගේ නිවෙස් ගිනි තැබීමද ඒ අරගලය සමඟ එක්වී තිබේ. එවකට අගමැතිව සිටි රනිල්ගේ නිවසටද සාහසිකයෝ ගිනි තැබූහ. ඒ සැහැසි ක්‍රියාවලට ජ.වි.පෙ. පාක්ෂිකයන් හෝ අනුගාමිකයන් එක්වී සිටි බවට චෝදනා පවා නැඟුණි.

කවර ආකාරයක හෝ දේශපාලන ප්‍රබන්ධත්වයක් අපි අනුමත නොකරමු. ඒවා පිළිකුළෙන් හෙළා දකිමු. එහෙත් ඒ විරෝධයේ සැබෑ හේතු අමතක කළ හැකිද? ඒ විරෝධය සමඟ පොහොට්ටුව පසු බැස ගියා පමණක් නොව ඔවුන්ගේ මන්ත්‍රීවරුන් අතර එයට මුහුණ දිය හැකි කිසිවෙක්ද නොවූහ. රනිල් මුදල් ඇමැති හා අගමැති වූයේ ඒ පසුබිම තුළය. ඇත්තටම ඔවුන්ට පාර්ලිමේන්තුවෙන් රනිල් ජනාධිපති කිරීම හැර විකල්පයක්ද නොවීය. රනිල් ජනාධිපති වී දිනේෂ් අගමැති ධුරයට පත් කර ගනිමින් ගෝඨාභයගේ ඇමැතිවරුන් සමඟම ආණ්ඩුව ගොඩනඟා ගැනීමට දක්ෂ විය. රනිල් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වුවද ඔහු විසින් එහි කටයුතු කරන ලද්දේ ජයවර්ධන පන්නයේ විධායකයකු ලෙසය.

පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පසුගිය දිනක නිවේදනයක් නිකුත් කරමින් ඔහුට මෙන්ම ජනතාවටද සිහිපත් කළේ රනිල්ට ජනවරමක් නොමැති බවත්, ඔහුගේ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ජනාධිපතිවරණය තෙක් කල් දැමිය යුතු බවත්ය. නව රජයක් පිහිටුවන තෙක් රජය සතු වත්කම් හා ව්‍යාපාර විකිණීමද අත්හිටුවිය යුතු බවද මහින්ද අවධාරණය කර තිබුණි. වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභයගේ ධුර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවද මහින්ද සිහිපත් කර දී තිබුණි. ජනාධිපති රනිල් කිසිවිටෙක මහින්දගේ නිවේදනය ගැන කිසිම සඳහනක් නොකළා, පමණක් නොව එහි තිබෙන අවධාරණයන් පිළිබඳ තැකීමක් නොකළ බවද පෙනේ. මෙම වෙසක් උදාවට පෙර ලහි ලහියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද (22) ආර්ථික පරිවර්තන පනත හා ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමේ පනත ඒ නිවේදනයට උඩින් පැනීමක් ලෙස පොහොට්ටුවෙන් වෙන්වී සිටින ප්‍රබලයන්ගේද විවේචනයයි.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අමතරව මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතක්ද ඉදිරිපත් කර තිබේ. මේවා ආර්ථික විශේෂඥයන්ගේ අවධානයට යොමු විය යුතු පනත් කෙටුම්පත්ය. දැනටමත් ඒවා සම්බන්ධයෙන් දැඩි විවේචන නැඟී ඇත. ආර්ථිකය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට මේ පනත් ඉදිරිපත් කළ බව ආණ්ඩුව පවසයි. මේ පනත් නිසා දේශීය ව්‍යවසායකයා බරපතළ අර්බුදයකට ලක්වන බව සුනිල් හඳුන්නෙත්ති (ජ.ජ.බ.) කියා තිබේ. ආචාර්ය චරිත හේරත් පවසන්නේ මෙය මැතිවරණ ප්‍රකාශනයක ඇතුළත් විය යුතු බැරැරූම් තේමාවක් බවය. ජනාධිපති රනිල් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පනතක් ලෙස තිබිය යුතු බවය. මේ ලියන මොහොත වනතුරු ස.ජ.බ. නායක සජිත් මේ පිළිබඳව අදහසක් දක්වා තිබුණේද නැත.

කෙසේ වුවද මේ ආණ්ඩුව හබල් බබල් වූවකි. විධායකයට මෙන්ම ව්‍යවස්ථාදායකයටද අලුත් ජනවරමක් ලබාගත යුතුය. බරපතළම කාරණය වන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට මාස කීපයක් තිබියදී ජනවරමක් නැති ජනාධිපතිවරයකු යැයි කියනු ලබන රනිල් ක්‍රියාකරන ආකාරයයි. ඔහුගේ ඇතැම් තීන්දු තීරණ පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ ඇතැම් ආකල්පද විවාදයට තුඩු දී තිබේ. ව්‍යවස්ථා සභාව සමඟ ඔහු සිටින්නේ ද කනස්සල්ලකින්ය. අගවිනිසුරු ධුරය හැර අනෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවන් පත් කිරීම හෝ ව්‍යවස්ථා සභාවට නිර්දේශ කිරීම හෝ ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කර ඇත.

රටේ ජාතික ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා දැන් මේ ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් තිබෙන හදිස්සිය ප්‍රශ්නකාරී වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන ගමන අද විපක්ෂයේ සජිත් හා අනුර ද සංශෝධන සහිතව හෝ පිළිගනු ලබන්නකි. එසේම සමහර කරුණුවලට එකඟතාවක් නැති බවද කියනු ඇසෙයි. ආර්ථික පරිවර්තනයක් යනු සැහැල්ලු හෝ සුළු ක්‍රියාවක්ද නොවේ. එය ආණ්ඩුවේත් විපක්ෂවලත් එකඟතාවකින් සිදුවිය යුත්තකි. දේශපාලන හා සමාජ සංස්කෘතික වශයෙන් රටට අලුත් දැක්මක් අවශ්‍යව තිබේ. ඒ ගැන ජනාධිපති රනිල් සංවේදී නොවන්නා සේම ඔහු ක්‍රියා කරමින් සිටින්නේ ඔහුගේම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව බව පැහැදිලිය. මහින්දගේ නිවේදනයේ ප්‍රබල ඇඟවුම් නැති වුවත් ඔහු ආණ්ඩුවේ විකිණීම් හා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම් නොඉවසන බවද පෙනේ.

මේ වනවිට වෘත්තීය සංවිධානවල විරෝධතාද ඇවිලෙමින් තිබේ. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමද ආන්දෝලනාත්මක මාතෘකාවකි. මේ අර්බුදවලට උඩින් පැන ආණ්ඩුව යන්නේ තම ඉලක්ක සඳහා බව නිසැකය. මේ හදිසි ආර්ථික පනත් පුළුල්ව සාකච්ඡාවට ලක්විය යුතුය. පොහොට්ටුවේ ඒවා ගැඹුරින් වටහාගත් දේශපාලන සම්පත් අඩුය. කැබිනට් මණ්ඩලය රූකඩ පෙළක්දැයි සිතේ. රනිල් හැර රටට වෙන සරණක් නැති බව කියන ඇමති මණ්ඩලයක විචාර බුද්ධිය ගැන කතා කළ යුතුද නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් විකල්පයක්ද ආණ්ඩුවට නැත. ආර්ථික විවාදයකදී සමහරු ප්‍රශ්න කරන්නේ යළිත් ඉන්ධන හා ගෑස් පෝලිම් වෙත යනවාද යන්නය. බිය වැද්දීම, නොමඟ යැවීම මේ දේශපාලන බල පොරයේ මූලික ලක්ෂණ වී තිබේ. ඒ අතරම ජනාධිපති රනිල් සිය ඡන්ද ගොඩ සකසා ගැනීමේ මෙහෙයුමක සිටින බවද පෙනේ. ඒ වෙනුවනේ කෙරෙන ප්‍රදානයන් පිළිබඳ විවේචනද ඇත. සාමාන්‍ය ජනතාවට සහන සැලසීමට අමතරව මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන, මත්පැන් බලපත් ලබාදීම ගැනද දැඩි විවේචන තිබේ.

මෙම වෙසක් සතියේදී අපට ඇසුණු පුවතක සඳහන් වූයේ බදුල්ල දිස්ත්‍රික්කයේ අන්ත දිළිඳු ගමක් වන රිදීමාලියැද්දට පමණක් මත්පැන් බලපත්‍ර 15ක් දීමේ සූදානමක් ගැනය. ඒ නිසා රිදීමාලියැද්දේ බෞද්ධ වැඩසටහන් කිසිවක් නොපවත්වා නිහඬ විරෝධයක් පෑ වගක්ද වාර්තා විය. ආණ්ඩුවක් මෙසේ කරන්නේ බුද්ධාගම රැකීමට දැයි රිදීමාලියද්දේම ගැමියෝ අසති. ආණ්ඩුවේ ඇතැම් විවේචකයන්ට අනුව මේ සැරසෙන්නේ යන යකා කොරහත් බිඳගෙන යන තාලේ දේශපාලන ගමනකටද? පොහොට්ටුවේ මෙන්ම සජබ සමහරුද ඊළඟට පාර්ලිමේන්තුවට පත්වන්නේ කෙසේද යන උභතෝකෝටියකට මැදි වී සිටිති. විපක්ෂයේ ලක්ෂමන් කිරිඇල්ල පසුගිය දිනක කළ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේද ස.ජ.බට ආ අයට සංවිධායක ධුර ලබාදීමට බැඳී නැති බවකි. මේ වර්ගයේ ගැටුම් ඉදිරියට කෙළවරක් නැතිව අපට බලාගත හැකිය.

මේවා පිළිබඳ හොඳ සංවාදයකට ඉදිරියේදී පැවැත්වීමට යෝජිත සජිත් – අනුර විවාදයේදීත් හැකිවුණු ඇත. දේශපාලන අපතයන් විසින් වාද විවාදවලදී හැසිරෙන ජුගුප්සාජනක ආකාරයද පොහොට්ටුවෙන්ම රටට පෙන්වාදී තිබේ. එහෙත් රට සජිත් – අනුර විවාදය දෙස බලා සිටින්නේ විනයගරුක ශාස්ත්‍රීයභාවය හා ප්‍රතිපත්තිමය සංවාදයක් අපේක්ෂාවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment