දැන් සෑම සති අන්තයකදීම ජනාධිපතිවරයා කුමක් හෝ දිස්ත්‍රික්කයකට යයි. ඒ පහුගිය මැතිවරණවලදී තමන් සහ කණ්ඩායම විශ්වාස කරගෙන සහය දුන් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පාක්ෂික ජනතාවට ස්තුතිවන්ත වීම ඇතුළු වෙනත් වැඩ රාජකාරි කිහිපයක් ඉටු කර ගැනීම සඳහාය.
ඒ අනුව පසුගිය සති අන්තය ජනාධිපතිවරයා තෝරා ගත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයයි. උදේ වරුවේ අනුරාධපුර නගරයේ පළාත් සභා ශ්‍රවණාගාරයට ගිය ජනාධිපතිවරයා දිස්ත්‍රික් සංවර්ධන සභා කමිටු රැස්වීමට සහභාගි වූයේය.
සංවර්ධන සභා කමිටු රැස්වීමේ දී අනුරාධපුර දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ කීපයක් අරගත් ජනාධිපතිවරයා අනුරාධපුරයේ පළමු රැස්වීම අමතන්නට ගියේය. රැස්වීමක් යැයි කීවාට එය ප්‍රසිද්ධ මහජන රැස්වීමක් නොවේ. එය සංවිධානාත්මකව තම පාක්ෂිකයන් පමණක් ඒකරාශී කරගත් මහජන රැස්වීමකි. විවේකානන්ද ක්‍රීඩාංගණයේ පැවති එම රැස්වීමේදී පළමුව ජනාධිපතිවරයා කළේ තමන් හා තමන්ගේ වැඩපිළිවෙළ කෙරෙහි විශ්වාසය තැබූ අනුරාධපුර ජනතාවට කෘතඥතාව පළ කිරීමයි. අනතුරුව විශේෂ කතාවක්ද කළේය.
අනුරාධපුරයේ දෙවැනි රැස්වීම කැකිරාවේ පැවැත්වූ අතර අවසන් හා කැපී පෙනෙන රැස්වීම තිබුණේ තම ජන්ම භූමිය වූ තඹුත්තේගම නගරයේ මහජන පොළ භූමිය තුළයි. තෝරාගත් පිරිසක් වුවත් අනිත් රැස්වීම්වලට වඩා සැලකිය යුතු පිරිසක් ගමේ රැස්වීමට පැමිණ සිටියහ.
හා…. කොහොමද…? කියා අසා පිටිය සිසාරා බලා ලොකු හුස්මක් හෙලමින් සිනාසී ඔහු කතාව පටන් ගත්තේ කලකට පසු ලෙන්ගතු මිතුරන් පිරිසක් හමුවූ අවස්ථාවක මෙනි…
“බොහොම ස්තුතියි ඔබට… ස්තුති කරන්න එන්න බැරිවුණා. අපි මේ ආණ්ඩුව භාරගත්තේ මේ රටේ ආර්ථිකය බොහොම සංවේදී තැනක තියෙන මොහොතක.
විසඳගන්න ප්‍රශ්න බොහොමයක් තිබුණා. මුලින්ම අපි ඉන්දියාවට ගියා. ඊළඟට අපි ගියේ චීනයට. කලාපීය වශයෙන් අපට තිබෙන අභියෝග භාරගෙන මේ රටේ අසීරු ප්‍රශ්නවලට විසඳුම් හොයන්න අපට සිද්ධ වුණා…” යනාදී වශයෙන් ජනාධිපතිවරයා තඹුත්තේගම දී කළ කතාව සමාජයේ බොහෝ සේ කතාබහට ලක්විය. ඇත්තෙන්ම ඔහු එහිදී කතා කළේ රටේ ජනාධිපතිවරයා කතා කරනවාට වඩා තම දේශපාලන ප්‍රවාහයේ නායකයා කතා කරන ආකාරයකින් වීම කැපී පෙනෙන ලක්ෂණයක් විය. ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව පසුගිය සතියේ වැඩ පටන් ගත්තේ එසේය…
ජනාධිපතිවරයා කිව්වා සේ මේ සතියේත් ඔවුන්ට විසඳා ගන්නට ආර්ථිකය සම්බන්ධයෙන් සංවේදී කාරණා රැසක් තිබිණි. ඉන් ප්‍රධානම කරුණ හා වගකීම වන්නේ ඡන්දයට පෙර ඔවුන් ජනතාවට පොරොන්දු වූ අන්දමට කරනවා යැයි කියූ පොරොන්දු ඉටු කිරීමයි. මේ රටේ මහජන මුදල් ගසා කන ලද හොරු අල්ලනවා යැයි කියා ජනතාවට දුන් පොරොන්දුව මේ වන විට දැඩි තීන්දු ගනිමින් ඉටු කරමින් සිටින බව පෙනෙයි. මේ රටේ සාමාන්‍ය පොදු ජනතාවට වඩා එකම වරප්‍රසාදයක්වත් මහජන නියෝජිතයන්ට ලබා දෙන්නේ නැතැයි කියමින් ලබා දුන් පොරොන්දුව ඉටු කරන්නට මූලාරම්භයක් තබා ඇති බව පෙනුනත් ඒ පිළිබඳ ප්‍රශ්නකාරී තැන් බොහෝය. හිටපු ජනාධිපතිවරුන්ගේ හා දේශපාලනඥයන්ගේ විශ්‍රාම වැටුප, නිල නිවාස සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු ඉටුකිරීමට යෑමේදී පැමිණෙන අභියෝග හා දුෂ්කරතා අපමනය. ඒ පිළිබඳ උණුසුම් සංවාදයක් ද දැන් සමාජයේ හට ගෙන ඇති අතර රජය ඒ සංවාදයට දැඩි ස්ථාවරයක සිට ප්‍රවේශ වී ඇති ආකාරය දක්නට ලැබෙයි.
ඒ අතරතුර මේ දිනවල පොරොන්දු ඉටුකරමින් වහ වහා අයවැය සඳහා සූදානම් වීමද කළ යුතුය. එහිදී දේශපාලන අධිකාරිය හා මේ රටේ ආර්ථික නිලබල තන්ත්‍රය අතර ඇතිවී තිබෙන විසංවාදය සුළුපටු නැත. විසංවාදය කොතරම් උණුසුමින් උණුසුම් වී ඇත්දැයි සමහර විශ්ලේෂකයන් තර්ක කරන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පවා ඉල්ලා අස්වන්නට සූදානම් වන්නේ ඒ විසංවාදයේ උණුසුම නිසා දැයි ප්‍රශ්න කරමිනි.
ඒ අතර මේ සති කීපය පුරාම රටේ සංවේදීම ආර්ථික ගැටලුව වූයේ සහල් මිල අධික ලෙස ඉහළ යෑම සම්බන්ධයෙන් රජයට කිසිදු විසඳුමක් නොවීමයි. මිල පාලනය සඳහා සහල් පිටරටින් ඉතා විශාල තොගයක් ආනයනය කළත් මේ රටේ ජනතාව බහුතරයක් එම සහල් පරිභෝජනයට සූදානම් වූයේ නැත. විශේෂයෙන්ම රතු හාල් හිඟය ඔවුන්ට දැඩි ගැටලුවක් වූහ. රජයට ඒ සම්බන්ධයෙන් විසඳුමක් නොවීය.
එම ගැටලුව එසේම තිබියදී අලුතෙන් වී ගොවියන්ට මුහුණපාන්නට වූ ප්‍රශ්න දෙකක්ද රජයට දැඩි අභියෝග ලෙස බලපෑවේය. එකක් අයහපත් කාලගුණික තත්ත්වය නිසා වගා බිම් අති විශාල ප්‍රමාණයක් හානියට පත්වීමයි. අනිත් ගැටලුව වූයේ නාමල් කරුණාරත්න ඇතුළු ගොවි ජනතාවගේ නායකයන් ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර ගොවි ජනතාව වෙත ලබා දුන් පොරොන්දු කිසිවක් බලය ලබාගත්තාට පසුව ඉටු කර දෙන්නට අපොහොසත් වීමයි. විශේෂයෙන්ම ගොවියාගේ වී අස්වැන්නට යහපත් සතුටුදායක මිලක් ලබාදීම වෙනුවෙන් එදා සටන් වැදුණු නාමල් කරුණාරත්න වර්තමානයේ කටයුතු කරන්නේ ගොවියාගේ හිතවතා ලෙස නොව, ගොවියාගෙන් වී අස්වැන්න කුණු කොල්ලයට මිලදී ගන්නා මහා පරිමාණ වී මෝල් හිමියන්ට පහසුකම් සලසන නායකයකු ලෙස වීම අවාසනාවකි. අද උද්ගතව ඇත්තේ ඒ ගොවි ජනතාව නාමල්ලාට එරෙහිව මාධ්‍ය ඔස්සේ සටනට අවි අමෝරා ගන්නා වාතාවරණයකි. පහුගිය සතිය තුළ එම ප්‍රශ්නය දැඩිව උද්ගතව තිබීම නිසා දේශපාලනඥයන්ට ඊට උත්තර දීම විපක්ෂයේ සිටියදී තරම් පහසු හා ආකර්ෂණීය වූයේ නැත.
මේ අතර පසුගිය සතිය වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂවලද යම් සාධනීය මට්ටමේ ප්‍රබෝධයක් හා එකමුතුකමක් දැකගත හැකි වීම විශේෂත්වයකි. මේ වන විට අපේ රටේ විපක්ෂයේ දේශපාලන පක්ෂ එකමුතු වී වැඩ කිරීම සම්බන්ධයෙන් එක් එක් අත්හදා බැලීම්වල නිරතව ඒවායේ යහපත් ප්‍රතිඵල ලබා ගනිමින් සිටිති. උදාහරණයක් වශයෙන් රට පුරා සමූපකාර සමිති නිල වර්ණවලදී විපක්ෂය එකතු වී ප්‍රබල ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම පරාජයට පත් කරන ආකාරය අත්හදා බලමින් සිටියහ. ඔවුන්ගේ තර්කය වූයේ එම සූත්‍රයම ඉදිරියේදී පැමිණෙනවා යැයි කියන්න පළාත් පාලන ඡන්දයේදී පාවිච්චි කළහොත් නිසැක වශයෙන්ම ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක් හා නියත පරාජයක් අත්පත් කර දිය හැකි බවයි.
දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දුන්නේ ප්‍රබල ආණ්ඩුව පරාජය කිරීමට නම් ඉදිරියේදී වෙන් වෙන් වූ පක්ෂ ශක්තිමත් විය යුතු නැත. විය යුත්තේ විපක්ෂයේ සියලු පක්ෂ ඒකරාශී වී විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනඟා ගැනීම බවය.
තියරිය එසේ වුවත් ප්‍රායෝගික තලයේදී සිදු වූයේ අනිකකි. එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය මීට සති කිහිපයකට පෙර සිට එක්වීමට කොතරම් උත්සාහ ගත්තත් සාකච්ඡා කළත් අවසානයේ එකඟතාවයකට පැමිණියේ පක්ෂ එකතුවීමකට නොව, ඉලක්කයක් වෙනුවෙන් සන්ධානයක් ගොඩනඟා ගැනීමටය. එම සාකච්ඡා පසුගිය සතියේ පැවතියත් දිගින් දිගටම පැවතුණා මිස අවසානයක් දක්නට ලැබුණේ නැත.
ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙනුත් විපක්ෂය ඒකරාශී කර ගැනීමට උත්සාහයක් ගෙන තිබුණත් ඔවුන් මුල් තැනක් දී තිබුණේ විපක්ෂය හැටියට එකතුවීමට වඩා යළිත් ශක්තිමත් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකරාශී කර ගැනීමටයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ඒ උත්සාහයම දරනු ලැබුවේය. රනිල් තමන් සමග ආණ්ඩුවට සම්බන්ධ වූ පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම සෙසු කුඩා කුඩා කණ්ඩායම්වල නියෝජිතයන් එක්රැස් කරමින් මේ ගැන කතාබහ කරන්නට උත්සාහ ගත්තත් රාජපක්ෂ පාර්ශ්වයේ කිසිවෙක් ඒ තැනට ළං කරගන්නට උත්සාහයක් ඇති බව පෙන්නුම් කළේ නැත.
මේ තත්ත්වය දේශපාලන නිරීක්ෂකයන් පසුගිය සතියේ විග්‍රහ කළේ මේ උත්සාහයන් සියල්ල තුළම ලාහට ගෙම්බෝ එකතු කිරීම වැන්නකට වඩා වැඩි ප්‍රතිඵලයක් ලබාගත නොහැකි වනු ඇති බවයි. දැන් අපි මේ උත්සාහයන් එකින් එක ගෙන සිදුවූයේ කුමක්දැයි විමසා බලමු…
මහින්දගේ සැලුන්දොර නාමල් වහන ලකුණු…
විජේරාම මාවතේ නිල නිවාසයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමේ වෑයම ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාත්මක වෙමින් පැවතියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් වෙනම දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් තිබිණි. එහි ඉලක්කය වූයේ ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයයි. ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ශක්තිමත්ව ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණ දිය යුතු බව ඒ වන විටත් පක්ෂය තීරණය කර තිබිණි.
ඒ සඳහා පළාත් පාලන සන්සදයේ වැඩකටයුතු වේගවත් කළ පොහොට්ටුව එම සංසදයට වෙනම කාර්යාලයක් ද පසුගිය සතියේ විවෘත කළේය.
ඒ අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා පසුගිය දිනවල රජය සමග එක්ව කටයුතු කළ ප්‍රගතිශීලී කණ්ඩායම් යළි පක්ෂය තුළට ඒකරාශී කර ගැනීමට ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. එහි මුල් පියවරක් වශයෙන් තෝරා ගත් මන්ත්‍රීවරුන් පිරිසකට සාකච්ඡාවක් සඳහා පසුගිය 27 වැනිදා රාත්‍රියේ විජේරාම මාවතේ නිවසෙන් පුළුල් ආරාධනාවක් කර තිබිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රනිල් සමගිය කණ්ඩායම මේ පිළිබඳ දුරකථන මාර්ගයෙන් සංවාදයක සිටියේ මීට සහභාගි වනවාද නැද්ද යන තීන්දුව ගත නොහැකිවයි.
ප්‍රසන්න රණතුංග ඊට එකඟතාවක් පළ කළේ නැත. මහින්දානන්ද අලුත්ගමගේ කීවේ තමන් දැනට තාවකාලිකව දේශපාලනයෙන් සමුගෙන ඇති බැවින් ඊට යා නොහැකි බවයි. රමේශ් පතිරණ හෝ කංචන විජේසේකර ඒ ගැන විවෘතව කතා නොකළහ. බන්දුල ද ඒ වන විට දේශපාලනයෙන් සමුගන්නා බව කියා තිබිණ. පවිත්‍රා ද නිහඬ වූවාය. ලොහාන්ලා, ෂෙහාන්ලා කිසි කතාවක් නැත. එහෙත් ජානක වක්කුඹුර ප්‍රමුඛ පිරිසක් මේ ගමනට අනුකූලතාව පළ කළේය. කොටින්ම ඔහු එය සංවිධානය කළේය. එහෙත් ඊට සමහර පිරිස් එක් වූයේ “අපි දැනට විපක්ෂය ඒකරාශී කිරීම සඳහා විවිධ පිරිස් හා සාකච්ඡා කරමින් සිටිනවා” යන ආරක්ෂක ප්‍රකාශය පලිහක් ලෙස තබා ගනිමිනි. සැලකිය යුතු පිරිසක් මේ වන විටත් දිලිත් ජයවීර සමග එක්ව ඇති බැවින් ඔවුන් කිසිවකුට මේ සඳහා ආරාධනා කර තිබුණේ නැත.
27 වනදා රාත්‍රියේ 17 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් මහින්දගේ විජේරාම නිවසට පැමිණ සිටියහ. මහින්ද ඔවුන්ව ඉතා ආදරයෙන් පිළිගෙන කතාබස් කළේය.
අපි සැවොම යළිත් පරණ ගෙදරට රැකවරණය පිණිස එකතු විය යුතු බව පෙන්වා දෙමින් කතා කළ ජානක වක්කුඹුර ඉදිරි ප්‍රාදේශීය සභා ඡන්දය ජයග්‍රහණය කිරීමේ වැදගත්කම පැහැදිලි කළේය.
“ඒකට පොදුජන පෙරමුණ විතරක් එකතුවෙලා බැහැ. ආණ්ඩුවේ ප්‍රබල කණ්ඩායම පරාද කරන්න නම් හැකිතාක් දුරට විපක්ෂයම සන්ධානගත වෙන්න ඕන…” මන්ත්‍රීවරු යෝජනා කළහ.
“ඔව් අපි ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරමු…”
දෙවනුව ශාන්ත බණ්ඩාර අදහස් පළ කරමින් ඉදිරියේදී වැඩපිළිවෙළ කෙසේ විය යුතුදැයි කීවේය. ඊටත් පසුව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කතා කළේය. දොලේවත්ත හිටපු මන්ත්‍රීවරයා ද එතන සිටියේය.
මේ සියල්ලගේම කතා අසා සිටිනා නාමල් රාජපක්ෂ අනතුරුව කතා කරමින් තරමක් වෙනස් අදහසක් පළ කළේය.
“අපේ තාත්තා නම් කැමතියි සැලුන් දොර අරින්න. දැන් ඔන්න ඇරියා. ඕන කෙනකුට දැන් ආයේ පරණ පුරුදු ගෙදරට එන්න පුළුවන්. මෙතන වැඩ කරන්නත් පුළුවන්. හැබැයි මම නම් පුද්ගලිකව මේ ගැන මනාපයක් නෑ. මගේ පුද්ගලික මතය තමයි කවුරු ආවත් කවුරු ගියත් පහුගිය කාලෙ අපිව අත්නොහැර ගියපු අය මේක ඇතුළේ ශක්තිමත්ව ආරක්ෂා කර ගැනීම.
ප්‍රමිත බණ්ඩාර ඇතුළු බොහෝ දෙනෙක් සාධනීයව මෙම එකමුතුව ගැන අදහස් පළ කරමින් සිටියත් නාමල්ගේ කතාවෙන් සියල්ලෝම මවිතයට පත්ව සිටියහ.
“එහෙනම් ඒ වැඩේ හරියන්නෙ නැති පාටයි…” ඔවුන් එකිනෙකා මුමුනන්නට වූහ. සාකච්ඡාව අවසානයේ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්ව පිරිස විසිර ගියත් ඔවුන් ඒ තරම් සතුටින් නම් සිටයේ නැත. ප්‍රමිත මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත් කළේද “අපි විවිධ කණ්ඩායම් සමග ඊළඟට මොකද කරන්නේ කියන එක ගැන සාකච්ඡා කරනවා. හැබැයි තවම අවසාන තීරණයක් ගෙන නැහැ…” යැයි පවසමිනි.
මේ අතර එම සාකච්ඡාවේදී සිදුවන්නේ කුමක්දැයි කියා පොහොට්ටුවේ හිටපු ප්‍රබලයෝ බොහෝ දෙනෙක් විමසිල්ලෙන් බලා සිටියහ.
නාමල්ගේ කතාව පිළිබඳ ආරංචි වූ ඔවුහු එකිනෙකා කතාබස් කරන්නට පටන් ගත්හ.
“ඕකනේ අපි මුලින්ම ඔතෙන්ට නොගියේ. එතැනට ගියා නම් අපටත් ඔය මජර කතා අහගෙන ඉඳලා එන්න වෙනවා. අපි හිතුවේ බැසිලුයි, සාගලයි එක්ක තමයි මේක කරන්න බැරි කියලා. නාමල් මල්ලිත් ඔහොම කතා කරනවා නම් අපට ඕකට එකතු වෙන්න විදියක් නෑ…” එක් ප්‍රබලයෙක් ඒ ගැන සාකච්ඡාවකින් අනතුරුව කීවේ එයයි.
සම්ප්‍රදාය කඩන්න ආපු අයගේ වැඩ….
පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පරිශ්‍රයේ සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්විණි. විපක්ෂ පක්ෂ නායකයෝ එකතු වී කතාබහ කරන්නට පටන් ගත්තේ ආණ්ඩු පක්ෂයේ අත්තනෝමතික ක්‍රියාපටිපාටි ඔස්සේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් කඩවන ආකාරය පිළිබඳවයි.
මේ සාකච්ඡාවට සජිත්, රවි, දිගම්බරම්, ශානක්‍යන්, ගයන්ත, අජිත් පී. පෙරේරා, අලවතුවල, මනෝ ගනේෂන් ඇතුළු කීපදෙනෙක් සහභාගි වී සිටියහ.
මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායවල් දන්නේ නෑ. ඉතාම නින්දිත විදිහට ආණ්ඩුව හැසිරෙන්නේ. සජිත් පෙන්වා දුන්නේය.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ තිබෙන කෝපා වගේ කමිටුවලට සාමාජිකයන් පත්කරන්නේ විපක්ෂයට තැනක් දීලයි. ආණ්ඩුවට වැඩිපුර මන්ත්‍රීකම් දෙකක් විතර තිබුණොත් හොඳටම ඇති. දැන් මේගොල්ලෝ එකක් වත් දෙන්න සූදානමක් නෑ…”
“ඒගොල්ලෝ කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අනුපාතය 71ට 29 විදියට අරගෙන ඒකට හරියන විදියට කමිටුවලට සාමාජිකයෝ දාන්න…”
“ඒක වැරදියි.. ආණ්ඩුවේ අය දැනගන්න ඕන ඒගොල්ලන්ට මන්ත්‍රීවරු තුන්දෙනා ඉන්න කාලෙත් ඔය තුන්දෙනාම විවිධ කමිටුවලට පත්කළා. එහෙමනම් ඒගොල්ලන්ට එකක්වත් දෙන්න විදියක් නෑනේ… රවි කරුණානායක කීවේය.
අපි ඔය කමිටු වර්ජනය කරමු…
එහෙම වර්ජනය කරල මේගොල්ලන්ට දන්නන්න බෑ. ඒගොල්ලෝ ඒක වැඩිය හොඳයි කියලා ඒගොල්ලෝ විතරක් පත්වේවි..
“කලබල වෙන්න එපා. ලබන බදාදාට අපි පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරලා මේ තත්ත්වයට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරමු. ඒකට ඒගොල්ලන්ගේ ප්‍රතිචාරය බලමු…” සජිත් එසේ කීවේය.
මමත් ලබන සතියේ තනි මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන්න යන්නේ… රවි කරුණානායක කීවේය.
ඒ මොනව ගැනද…
“ඇයි දැන් මෙයාලා පොරොන්දු වුණානේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා කියලා. හැබැයි දැන් ඔන්න ඒ ගැන සද්දයක් නෑ. මම ලබන සතියේ තනි මන්ත්‍රී යෝජනාවක් විදියට ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගේනවා. මොකද කියන්නේ…”
එම සාකච්ඡාවේ සිටි බොහෝ දෙනකුගේ ද අවධානය ඒ පිළිබඳව යොමුවූහ.
එතකින් ඒ කමිටු රැස්වීම අවසන් විය. කමිටුව මෙසේ රැස්වන්නට ආසන්නම හේතුවක් තිබිණි. ඒ වූ කලී ඇමෙරිකානු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මිත්‍රත්ව සංසදයට නියෝජිතයන් පත් කිරීමට පැවති සාකච්ඡාවයි. එය ඊට පෙර සතියේ සිකුරාදා පාර්ලිමේන්තුවේදී පැවැති අතර ඊට සහභාගි වන්නට ඇමෙරිකානු තානාපතිවරියටත් ආරාධනා කර තිබිණි.
මෙම සංසදය සාමාන්‍යයෙන් වරප්‍රසාද රැසක් මන්ත්‍රීවරුන්ට ලැබෙන සංසදයක් බැවින් බොහෝ දෙනකුගේ උනන්දුවක් තිබිණි. ආණ්ඩු පක්ෂයෙන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව ආරම්භ වූ මොහොතේ දයාසිරි ජයසේකර මෙම කමිටුවේ සභාපති තනතුරට හර්ෂණ රාජකරුණාගේ නම යෝජනා කළේය. ඊට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෝ විරුද්ධ වී කෑකෝ ගසමින් මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්තගේ නම යෝජනා කළේය…
“මේක වැරදියි කථානායකතුමනි. සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තමයි පාර්ලිමේන්තුවේ මේ කමිටුවල සභාපතිත්වය විපක්ෂයට දෙන එක… සම්ප්‍රදාය කඩන්න එපා..” දයාසිරි කීවේය.
“ඔය සම්ප්‍රදායවල් බිඳින්න තමයි අපි ආවේ. ජනතාව අපිට බලය දුන්නේ ඒකට…” තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ කීවේය. මේ වෙලාවේ එකම ගාලකෝට්ටියකි.
සභාපතිකමට අනිල් ජයන්ත පත්විය. ලේකම්කමට සුනිල් ගමගේ පත්විය. උප සභාපති කම සඳහා දයාසිරිගේ නම යෝජනා වුවත් ඊට අනුමැතියක් නොලැබිණි. කථානායක කීවේ සාම්ප්‍රදාය නොව, වැඩි දෙනාගේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදීව ගරු කරන්නට තමන් කැපවී සිටින බවකි. ඒ අනුව ඇමෙරිකානු ශ්‍රී ලංකා මන්ත්‍රීවරුන්ගේ මිත්‍රත්ව සංසදයට ආණ්ඩුවේ බහුතර නියෝජනයක් සහිතව නිලධාරීහු පත්වූහ. ඒ ආකාරයටම පසුගිය දිනක බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදයට ද නිලධාරීන් පත්වීම විශේෂත්වයකි.
මේ ආකාරයේ අහිතකර බලපෑමක් ඒකාධිපතිත්වයක් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය පෙන්වීම ගැන විපක්ෂය ලොකු තැතිගැන්මක සිටියහ. ඉහත කී සාකච්ඡාව ඇති වූයේ ඒ සියල්ලෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
රනිල් අනුර ගැන රහසක් හෙළි කරයි…
විපක්ෂය ඒකරාශී කිරීමේ වැඩපිළිවෙළ අනුව පසුගිය සතියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ දේශපාලනඥයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් කැඳවනු ලැබීය.
මේ සඳහා නිමල් සිරිපාල ද සිල්වා, මනෝ ගනේෂන්, දිගම්බරන්, උදය ගම්මන්පිල, වජිර අබේවර්ධන, සාගල රත්නායක, අනුර ප්‍රියදර්ශන, කංචන විජේසේකර, සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රේමනාත් ශ්‍රී දොළවත්ත, ප්‍රමිත තෙන්නකෝන් ඇතුළු හිටපු මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සිටියහ. චම්පිකගේ පක්ෂය වෙනුවෙන් බන්දුල චන්ද්‍රසේකර සාකච්ඡාව නියෝජනය කරන්නට පැමිණ සිටියේය.
රනිල් සාකච්ඡාව ආරම්භ කළේ පුනරුද ආණ්ඩුව හමුවේ වර්තමානයේ විපක්ෂය මුහුණ පා තිබෙන අර්බුද පිළිබඳ සාකච්ඡා කරමිනි…
දැන් මේගොල්ලෝ කැබ්වල පිටිපස්ස පුරවගෙන හිටියා ෆයිල්වලින්…. ජනතාව රැවටුවේ ඒ වංචා දූෂණවල මුදල් ආපහු අය කරගෙන රට හදනවා කියලයි…. අනුර යාපා කීවේය.
ඔය ෆයිල් ඇත්තටම මොනවද කියලා මම දන්නවා. ඕවයි වැඩකට ගන්න පුළුවන් ෆයිල් කීයද තියෙන්නේ… රනිල් පෙන්වා දුන්නේය.
“මහ රාත්‍රියේ මෙතුමවයි මෙතුමගේ නෝනවයි ගෙනිහිල්ලා රිමාන්ඩ් එකේ දැම්මා. දැන් ඔන්න අර මායාදුන්නේ මහත්තයාව අරගෙන. මේ එකක්වත් වැඩකට ඇති දේවල් නෙවෙයි. මේවයින් වෙන්නේ ඇත්තම අපරාධ කාරයෝ පිළිබඳ තිබෙන සමාජ මතය පවා තුනී වෙලා යන එක…”
“මේගොල්ලෝ මේ විදියට කුදලගෙන ගිහිල්ල නඩු දාන්න යනකොට හුඟක් අපේ හිටපු මන්ත්‍රීවරු හිටපු නිලධාරීන් අසරණ වෙනවා. ඒගොල්ලොන්ට නීතිඥ සහාය ලබාදෙන්න කමිටුවක් හදන්න ඕන. මොකද කියන්නේ…” රනිල් යෝජනා කළේය.
“ඒක ඉතාම හොඳ වැඩක්.. අපේ උපරිම සහයෝගය දෙනවා…” උදේ ගම්මන්පිල, අනුර යාපා, නිමල්, සුසිල් ඇතුළු කිහිප දෙනෙක්ම කීහ.
“අනිත් එක තමයි මහින්ද රාජපක්ෂව එළවන්න දඟලන දැඟලිල්ල…”
“එතුමාට ඒ වරප්‍රසාද ලැබිලා තියෙන්නේ ව්‍යවස්ථාවෙන්. දැන් කවුරු මොනවා කිව්වත් ව්‍යවස්ථාවට අනුව ඒ දේවල් හිමිවිය යුතුයි.. මම කියවලා බැලුවා ලෝකයේ තත්ත්වය. ලෝකයේ හුඟක් දියුණු රටවල මේ වරප්‍රසාද හා ආරක්ෂාව හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන එක සම්ප්‍රදාය.” රනිල් ඒ ගැන දිග විස්තරයක් කළේය.
“සම්ප්‍රදාය විතරක් නෙවෙයි ජනාධිපතිතුමා. ඕක ලෝකෙ පුරාම මූලධර්මයක්. සාමාන්‍යයෙන් රටක ජනාධිපතිවරයෙක් ත්‍රස්තවාදයට, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට, පාතාල ලෝකයට විරුද්ධව කටයුතු කරනවා නම් ඒවා මර්දනය කරන්න කැපවෙනවා නම් ඔහුගේ නිල කාලයෙන් පසුව එම ජනාධිපතිවරයාගේ හා ඔහුගේ පවුලේ ආරක්ෂාව සහතික කරන්න ඊළඟට එන රජයන් වගබලා ගත යුතුයි. එහෙම කළේ නැත්තං ඉදිරියේදී එන කිසිම ජනාධිපතිවරයෙක් තම පුද්ගලික ආරක්ෂාව අනතුරේ හෙළාගෙන ත්‍රස්තවාදයට, මත්ද්‍රව්‍ය ජාවාරමට, පාතාල ලෝකයට එරෙහි වෙන්නේ නෑ. මේගොල්ලෝ මේ කරන්න හදන වැඩෙන් වෙන්නේ ඉස්සරහට එන ජනාධිපතිවරු ත්‍රස්තවාදය මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල ලෝකය හුරතල් කරන ජනාධිපතිවරු බවට පත් කිරීම විතරයි…” උදය ගම්මන්පිල ඉතා ගැඹුරින් කරුණු සහිතව මෙය පෙන්වා දුන්නේය.
ඒ කතාවට හිටපු ජනාධිපති රනිල් හයියෙන් හිනාවුනේය…
ඇයි ඔබතුමා හිනාවෙන්නේ…?
ඕගොල්ලෝ දන්නැති කතාවක් කියන්නම්. ඔයාලා දන්නවද මහින්ද රාජපක්‍ෂට ඔය ගෙදර දෙන එකට අනුර කුමාර දිසානායකත් හවුල් කියලා…?” රනිල් කීවේය…
“ඒ කතාව පැහැදිලි නෑ…” ඒ අනුරා යාපාය.
“මහින්ද පරාද වෙලා ඉස්සෙල්ලාම ගිහින් හිටියේ පුද්ගලික නිවසක. ඊට පස්සෙ එයා මගෙන් ඉල්ලීමක් කළා නිල නිවාසයක් ලබා දෙන්න කියලා. ඒත් එක්කම කිව්වා මෛත්‍රීපාල ඇමැති කාලෙ හිටපු නිවස දුන්නොත්, ඒකෙ ලොකු ශාලාවක් තියෙනවා, ඒක එයාට රැස්වීම් එහෙම තියන්න පහසුයි කියලා…
මම එවෙලේ එයාට වචනයක් දුන්නෙ නෑ. මං කිව්වා හරි අපි කමිටුවකින් මේ ගැන සාකච්ඡා කරලා බලන්නම් කියලා…
ඔන්න ඊළඟට මම මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කියලා චන්ද්‍රිකාවත් සාකච්ඡාවකට කැඳවලා ඔය අනුර කුමාර ජනාධිපතිතුමාවත් කැඳවලා තමයි මේ ගැන සාකච්ඡා කළේ. අනුර කුමාර කිසි විරෝධයක් පෙන්නුවේ නෑ ඔය ගෙදරට. ඔය දැන් කියන අක්කර ගණන් අඩි ගණන් දිග පළල කිසි දෙයක් කිව්වේ නෑ. එයාලම මැදිහත් වෙලා දීලා දැන් අද මෙහෙම කියනවා… මම ඔයගොල්ලන්ගේ අතීත හැසිරීම දන්න නිසා මට දැන් මෙයාලා කරන වැඩ දැක්කම හිනා යනවා…” රනිල් ඒ කතාව කියූ විලාසයට කාටත් හිනා නොවී බැරි වූහ.
ඉන් අනතුරුව දේශපාලනඥයෝ කතාබහ කරගත්තේ කමිටු කීපයක් පත් කිරීමටය. මුලින්ම විවිධ චෝදනා නිසා උසාවි හා පොලිසි හමුවේ අසරණ වන නිලධාරීන්ට හා හිටපු දේශපාලනඥයන්ට නීතිමය රැකවරණය ලබා දෙන්නට කමිටුවක් පත් කරනු ලැබීය. නිමල් සිරිපාල, අනුර යාපා, ගම්මන්පිල, සුසිල් ප්‍රේමජයන්ත හා දොළවත්ත ඒ කමිටුවට නම් විය.
දෙවැන්න මාධ්‍ය කමිටුවයි, එහි සභාපති ලෙස ගම්මන්පිල පත් කළ රනිල් අනුර යාපා, කංචන හා තුසිත් හල්ඔලුව සෙසු සාමාජිකයන් ලෙස පත්කළේය.
අනතුරුව නිල වශයෙන් පැවති සාකච්ඡාව එතෙකින් නිමාවූ අතර නොනිල සාකච්ඡාව තවදුරටත් ඉදිරියට පැවැත්වෙමින් තිබිණි.
මේ අවස්ථාවේ අනුරා යාපා වට කරගත් මාධ්‍යවේදීන් ඔහුගෙන් පහුගිය දිනක මුහුණපාන්නට සිදුවූ අත්දැකීම ගැන විමසා සිටියහ.
“මහ රෑ ගෙනිහිල්ල දැම්මනේ බං අරකෙ 7වන තට්ටුවේ කාමර දෙකකට අපි දෙන්න. මොන මඟුලක්ද. එන්න කිව්වනම් අපි යන්නැද්ද…”
ඇත්තටම මොකක්ද ඔය කේස් එක…
“උඹලට මතකද 2014 දෙසැම්බර් මාසෙ ලොකු ගංවතුරක් ආවා අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල දිස්ත්‍රික්කවල. අන්න ඒ වෙලාවේ අපි ජනාධිපතිවරණයේ කැම්පේන් එකට දුවනවා. හැබැයි ජනාධිපතිතුමා කැම්පේන් එක දවස් තුනක් නැවැත්තුවා මේ ගංවතුර අර්බුදය හින්දා.
මේ අවස්ථාවේ ගංවතුර ආධාර විදියට පෙට්‍රෝලියම් එක දුන්නා වියළි ආහාර පැකට් 2500ක් ගංවතුරෙන් අවතැන් වූ අයට බෙදන්න. එකක වටිනාකම මං හිතන්නේ රුපියල් 5000ක් විතර ඇති. මං ඕවා දැක්කෙවත් නෑ. බිංගිරිය, නාරම්වල, පන්නල, ගිරිඋල්ල පැත්තේ රාජ්‍ය නිලධාරීන් ලව්වා තමයි ඕවා බෙදෙව්වේ. දැන් ඕවා බෙදුවේ නෑ කියලනේ චෝදනාව.
2500ක් පාර්සල් මුළු ආසනය පුරාම ජනතාවට බෙදන්න බෑ. ඒවා විපතට පත් පවුල්වලට ලැබෙන්න ඇති. ඕකට විරුද්ධව යහපාලන ආණ්ඩුව එෆ්.සී.අයි.ඩී. එක දම්මලා පරීක්ෂණයක් කරලා ඉදිරියට ගෙනියන්න බැරුව පැත්තකට දාලායි තිබුණේ…
ඕවද හිටපු ඇමැතිතුමා අපරාධ..
අනේ මං දන්නෑ බං. බලපන් චෝදනා කීයක් බොරුවට දැම්මද කියලා. මිලියන හයයි දශම එකක සල්ලි අවභාවිතාවක් කිව්වා. ගංවතුරක් තිබිලා නෑ කිව්වා. මැතිවරණවලට සල්ලි බෙදුවා කිව්වා. මොනතරම් එකකට එකක් වෙනස් චෝදනා දැම්මද…
ඔය වගේම තමයි අර මායාදුන්නේ මහත්තයට දාපු චෝදනාවත්…
ආ ඔව්… පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වේ මිලියන 183ක අවභාවිතා කළා කියලා. අන්තිමේ උසාවියේදී කිව්වේ බස්වලට ගෙවපු රුපියල් ලක්ෂයක වව්චර් නෑ කියලා. මොන තරම් එකකට එකක් පරස්පරයිද චෝදනා. ඇයි මේ බොරු කියන්නේ. එහෙමද ආණ්ඩුවේ පොලිසිය වැඩ කරන්නේ මට නම් තේරෙන්නේ නෑ මල්ලි මේවා…
ඔහු බොහෝ විට හිතවත්කමට හිතවත් මාධ්‍යවේදීන්ට කතාබස් කරනුයේ බං බොලන් කියාය. ඒ ඔහුගේ ගැමිකම හා මිත්‍රත්වය යැයි කියමින් අනුරයාපා ඉතා කනගාටුවෙන් මාධ්‍ය සමග කතාබහ නිමාකර ආපහු යන්නට ගියේය.
බුලිත ප්‍රදීප් කුමාර