නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු අරඹමින් අනුරපුරයේදී කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනතුරක් පිළිබඳව යම්කිසි කෙනකුට ප්‍රශ්නයක් පවතී නම් එය පක්ෂ දේශපාලන මණ්ඩලයේ විසඳා ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු ආරම්භ කරමින් ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් පෙරේදා (03 දා) පස්වරුවේ අනුරාධපුරයේදී පැවති අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. “අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශක්තිමත් යාන්ත්‍රණයක් තියෙනවා. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය තුළ නිරන්තරයෙන් හදවතට සමීප දිස්ත්‍රික්කයක්. අද ඔබ මේ දකින මුහුණු නොබෝ කාලයකින් පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ දකින්නට පුළුවන්. එයට නායකත්වය දෙන්න මේ දිස්ත්‍රික්කයේ අය ඉන්නවා. ඉතින් ඒ අයත් එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කරමින් ජයග්‍රහණය කරලීම සඳහා කටයුතු කරනවා. අපි බෙදිලා වෙන් වෙන එක ලේසියි. එකට යන එක අමාරුයි. අපි බොහෝ දෙනෙක් එක්ක කතා බහ කරනවා මතවාදීව අපි එකට හිටපු අයත් එක්ක, අපි වෙන් වෙලා තියෙන්නේ යම් යම් හිත් රිදීම් වෙන්න පුළුවන්. අමනාපකම් වෙන්නට පුළුවන්. අපි ඒ අය සමගත් සාකච්ඡා කරනවා. දේශපාලනය කරන්නේ බෙදලා වෙන් වෙන්නට නෙමෙයි. දේශපාලනය කරන්නේ එකතු වෙලා ඉදිරියට යන්නටයි. තවදුරටත් ඒ අය සමඟ සාකච්ඡා කරමින් අපේ මතවාදය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා.
අපේ පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන් දොර විවෘතයි. එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. 2005 චන්ද්‍රිකා මැතිනිය මහින්ද රාජපක්ෂ මහතාට උදව් කළෙත් නෑ. ෆොන්සේකා මහත්තයත් අපිත් එක්ක ඉඳලා තමයි ගිහින් විරුද්ධව ජන්දය ඉල්ලුවේ. මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂෙ මහලේකම්. එතුමත් ගිහින් ඡන්දෙ ඉල්ලුවා. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරපුවාම කුමාර වෙල්ගම මහතා ගියා. දේශපාලනයේ බෙදීම් ඇතිවෙනවා හිත් අමනාපකම් ඇතිවෙනවා. ඒ නිසා අපි කළ යුත්තේ කෙටිකාලීන පටු දේශපාලන වාසි බැලීමට නොව දිගුකාලීන වැඩපිළිවෙලක් සමග අවශ්‍ය ගමන යන්නටයි. ඉතින් අපේ දොර විවෘතයි.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, මිහින්තලේ රංග චතූ, ප්‍රභාත් වනසිංහ – නාච්චාදුව සහ නොච්චියාගම – එම්. පී. ජේ. පෙරේරා