මහ ඇදුරුතුමනි ඔබට සුබ ගමන්!

522

පෙරේදා  (23 දා) අභාවප‍්‍රාප්ත වුණු කුලසිරි බුදවත්ත නම් වූ මහා නර්තනවේදියා පිළිබඳව  ලියැවුණු  සටහනකි.

80 දශකයේ අගභාගයේ දිනක මා දෙමාපියන් ඒ මහා පුරුෂයා වෙත රැුගෙන ගොස් මගෙ අනාගතය ඔහුට භාර කළේය. මේ දේහදාරි දැවන්තයා ටවර් රඟහල් පදනමේ ගැටබෙරය වයමින්, උස් හඬින් කවි ගායනා කරමින් සිටියේය. සිය රූමත් අනාගත සහකාරියද ඔහු සමඟ හරි හරියට නර්තනය දරුවන්ට උගන්වමින් සිටියාය.

මහ ඇදුරුතුමනි ඔබට සුබ ගමන්!

නර්තන ශිල්පියෙකුට හිමිවිය යුතු මහා පුරුෂ ලක්ෂණ ඔහු කෙරෙන් විද්‍යා මාන විය. අපට මහත් ආදරයෙන් එසේම මහත් ඕනෑකමකින් නර්තන ශිල්පය ලබා දුන්නේය.

ඒ අතරතුර ඔහු ප‍්‍රවීණයන් රැුසක් එකතු කරගෙන ජපන් රටේ සංචාරයක නියැලීමට පුහුණු වෙනවා දැකීම ඉතාම ආනන්දනීය කරුණක් විය. වෙස් නැටුම මූලික කරගෙන බෙර සංධවනි, වන්නම් ආශ‍්‍රයෙන් කරන නිර්මාණ, පත්තේරු, රබන්, ලී කෙලි වැනි ජන නැටුම් අංග එම ශිල්පීන්ට පුහුණුකරවන හැටි දුටුවෙමි. කණ්ඩායමක මහා කළමනාකාරිත්වය  ඔහුගෙන් දුටුමි. මගෙ මතකය හැටියට මේ 1986/1987 කාල පරිච්ෙඡ්දයයි. රවි බන්දු විiාපති, චන්න විජේවර්ධන, ආර්. එම්. රත්නායක වැනි එවකට තාරුණයේ සිටි දක්ෂ නර්තන ශිල්පීන් මෙන්ම නේමාලි අමරසිංහ, උපුලි පණිභාරත, රම්‍යා ශි‍්‍රයානි ගල්කොටුව, නිශා ලියනගේ, තමාලි දනන්සූරිය වැනි ප‍්‍රකට ශිල්පිනියන්ද සිටියාය. එකල මගෙ යෞවන සිත නැටුමට තවත් ලොභ බැඳුණි. මෙතුමාගේ මේ සංචාරවලට පුහුණු වෙනවා, පුහුණු කරනවා දෑසින් දැකීමේ පින මට ලැබුණි. මහා නර්තන නිර්මාණ කරුවෙකු මහා කළමනාකාරයෙකු වන හැටි දුටුවෙමි. මගෙ හිතට කණ්ඩායම් සංකල්පය රෝපණය කළේ මේ වීරෝදාර විරුවාය.

මහ ඇදුරුතුමනි ඔබට සුබ ගමන්!

මෙසේ වසර ගණනාවක් ඔහුගෙන් ශිල්පය ලද අප දිනක ‘චන්දන දැන් ඔබට වෙස් බඳින්න කාලය හරි… ඒ මහා වෙස් මංගල්‍ය උපරිමයෙන් ඔහු සංවිධානය කරන ලදී. කුලසිරි බුදවත්ත රංගායතනයේදී පළමුවැනි වෙස් බැඳි ශිල්පියා වීම මට ලැබුණු ලොකුම ගෞවරයක්. මනා ලෙස සියලූම චාරිත‍්‍ර වාරිත‍්‍ර ඔහු විසින් මෙහෙයවන ලදී. ඔහුගේ පියා වූ පුංචි ගුරු බුදවත්තයන්ගේ සුරතින් එතුමා මට වෙස් පැළඳුවේය. එය මගේ ජීවිතයේ කවදා කෙළෙස අමතක කළ හැකිද?

ඔහුගේ ජීවිතයේ සුන්දරම කාලවකවානුවේදී ඔහු විවාහ වූයේ නේමාලි අමරසිංහ නම් ධෛර්යවන්ත තරුණිය සමගය. එම විවාහය ඔවුන් දෙදෙනාගේම ජීවිතයේ ස්වර්ණමය ගමනකට මග පැහැදුවේය. එකම පුතු රංගන රන්සිළු බුදවත්ත ඔවුන්ගෙ ලෝකයම විය. විවිධ ප‍්‍රාසාංගික නර්තනාංග ඉදිරපත් කරමින් ‘සටන’ වැනි මුද්‍රා නාට්‍ය නිර්මාණය කරමින් දේශීය මෙන්ම විදේශීය රටවලද ශ‍්‍රී ලාංකේය නාමය ඔවුන් ඒකාලෝක කළෝය. බුදවත්තයන් රජවන්නේ ඒ ලස්සන නර්තන ලෝකය තුළය.

මහ ඇදුරුතුමනි ඔබට සුබ ගමන්!

ඔහුගේ වදන් හරි එ`ඩිතරය. කිසිවිටකත් ඔහු අවර ගණයේ නිර්මාණයක් නොකළේය. ඔහු අපට දුන් වදන් අපේකම රැුකගන්න, අපේ බෙර හඬ, අපේ ගායනා, අපේ නර්තනය මූලික කර ගන්න එය රට තුළ පමණක් නොව ලෝකයේද බබළවන්න ඒ ඔහුගේ උදාර වදන්ය.

නැටුමක් නිර්මාණය කිරීමේදී ඔහු හැමවිටම සාම්ප‍්‍රදාය රැක ගනිමින් එහි මූලික ගති ලක්ෂණ ලෝකයටම හඬගා කීවේය. වෙස් නැටුමේදී ඔහු මහා රජෙක් විය. අපටද ඔවදන් දෙන්නේ මේ මහා අඳුම් කට්ටලය ඔබ අඳිනවා නම් ඔබ මහා පුරුෂයකු ලෙස රඟ දැක්විය යුතු බවයි. වෙස් නැටුමේදී සිය අණසක රඟමඬල තුළ පතුරුවන්නේ මහා රජෙක් ලෙසය. සිනමාව තුළ මෙන්ම රූපවාහිනී මාධ්‍ය තුළ, ප‍්‍රාසාංගික වේදිකාව තුළ ඔහු නිර්මාණ රැසක් ශ‍්‍රී ලාංකේය කලා කෙතට දායාද කර දුනි.

නන්දා මාලනියන්ගේ අරලිය ලන්දට ගීතයට කළ නර්තන නිර්මාණය අදටත් අපේ සිත් තුළ පැළපදියන් වී ඇත. එකිනෙකට වෙනස් වූ එතුමාගේ නර්තනයට ගැළපෙන අලංකාරම ඇඳුම් ආයිත්තම්, ආභරණ, හිස් පළඳනා, ඔහුගේ අදහසට අනුව නේමාලි බුදවත්ත ගුරු මෑණියන් කදිමට නිර්මාණය කර දුන්නාය. සම්ප‍්‍රදායික නර්තනය මෙන්ම ජන නැටුම් ගීතවලට කරන රංගන එකල ජන සිත් ඇඳ බැඳ ගත්තේ ඔහුගේ නිර්මාණශීලිකම මොනවට පෙන්වමිනි.

ළාබාල දරුදැරියන්ගේ සිට උසස් පෙළ දක්වා නර්තනය හැදෑරීමට කැමැති දරුවන්ට ඔහු ආරම්භ කරන ලද කුලසිරි බුදවත්ත රංගායතනය මනා තෝතැන්නක් විය. එදා එල්ෆින්ස්ටන් ශාලිකාව, සුදර්ශී ශාලාව, මහරගම රංගායතනය සති අන්තයේ ගිඟුම් දුන්නේ අපේ බෙර හඬිනි. තම රංගායතනයේ තුළ තම දූ දරුවන්ගේ දක්ෂකම් එළිදැක්වීමට ඔහු ආරම්භ කරන ලද පළමුවැනි නර්තන ප‍්‍රසංගය ‘‘රංගන රංසිළු’’ විය. එහි පළමු ප‍්‍රසංගයේ නර්තනාංග දෙකක් ඉදිරිපත් කිරීමට 1987 දී මට ද වාසනාව හිමිවිය. එදාසිට අද දක්වා රන්සිළු රංගන නමින් තම දුවා දරුවන්ගේ දක්ෂකම් වසරක් පුරාවට වේදිකා ගත කරමින් සිටී.

දස දහස් ගණනක් ගෝලයින් බිහිකරමින් ශ‍්‍රී ලාංකේය කලා කෙතට නිර්මාණකරුවන් රැුසක් බිහි කළේය. එසේම දක්ෂ ගුරුවරුන් රැසක් පාසල් ක්‍ෂේත‍්‍රයට දායාද කළේය. ඒ අතරින් විමලා වික‍්‍රමසූරිය, ප‍්‍රසාදි රණසිංහ, රශ්මි රවීණා, සුරාජ් මාපා, අන්ජලි බුදවත්ත, පී. ඩබ්ලිව්. ටී. ඩයන්,

චන්න බුලත්සිංහල, හිමාලි ගුණසේකර, ආචාර්ය උපේඛා ගංගොඩවිල සහ චන්දන වික‍්‍රමසිංහ වන මා ඇතුළු නිර්මාණකරුවන් රැුසක් ඔහුට ගෞරවය ලබා දෙමින් නිර්මාණ කරණයේ යෙදී සිටී. කුලසිරි බුදවත්තයන්ගේ තාරුණ්‍යය විවිධ නිර්මාණ වලින් ස්වයංපෝෂිත බව දැක තිබුණි. මේ මහා නර්තන ක්ක්‍ෂේත‍්‍රයේ මේ නර්තන විශිෂ්ටය. මා දකින්නේ සිසු ඇසිණි. ඔහු නර්තනය පමණක් නොව අසාධාරණය දුටු තැන එය ඉවසා දරා සිටි පුද්ගලයකු නොවීය. ඔහු එතරම්ම මිනිසාට ආදරය කළේය.

කුලසිරි බුදවත්ත මහා ඇඳුරුතුමනි, ඔබට සුබ ගමන්… ඔබට නිවන් සුව ප‍්‍රාර්ථනා කරමි.

මම ඔබතුමාගේ සිසු
චන්දන වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment