බියර් සෑදීම සඳහා නාඩු සහල් භාවිත කිරීමත් නාඩු සහල් හිඟයට හේතු වී ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩී.කේ. රංජිත් මහතා ‘දිවයින’ට ඊයේ (07) පැවසීය.
නාඩු සහල් හිඟය ලබන ජනවාරි අවසන් වන තෙක් පවතින බවත් මිල පාලනය ඉවත් කළ නොහැකි නම් රජය සහල් ආනයනය කර සතොස සහ සමුපකාර හරහා ජනතාවට අලෙවි කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා කීය. පසුගිය මහ කන්නයේ නිෂ්පාදනය කළ නාඩු තොග යම් ප්‍රමාණයක් මහ වී මෝල් හිමියන් කීපදෙනකු සතුව පවතින බවත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පසුගියදා සිදු කරනු ලැබුවේ මහ මෝල් හිමියන් සතුව පවතින වී තොග සංගණනයක් නොව සහල් තොග සංගණනයක් බවත් ඔහු කීය.
පසුගිය මහ කන්නයේදී නාඩු සියයට 60 ක්, සම්බා සියයට 25 ක්, කීරි සම්බා සියයට 15ක් වගා කර තිබූ බවත් ඒ අනුව බැලීමේදී රටේ කොහේ හෝ තැන්වල නාඩු වී තොග පැවතිය යුතු බවත් රංජිත් මහතා පැවසීය.
චමින්ද සිල්වා