එළඹෙන මහ මැතිවරණයට නිරීක්ෂකයන් පන්දහසක් යෙදවීමට පැෆරල් සංවිධානය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයට සම්බන්ධ කරගත් නිරීක්ෂකයන්ට වඩා වැඩි පිරිසක් මේ අනුව මහ මැතිවරණයට යොදවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ජනාධිපතිවරණය වෙනුවෙන් හාරදහසක පමණ පිරිසක් යොදාගෙන තිබුණි.
මහ මැතිවරණය වෙනුවෙන් දිගුකාලීන නිරීක්ෂකයන් ලෙස දෙසියදෙනකු යොදවන බවත් ජංගම නිරීක්ෂණ රථ සමග නිරීක්ෂකයන් යෙදවීම වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් හෙට්ටිආරච්චි මහතා කීවේය.
මහ මැතිවරණයේදී මනාප ඡන්ද ගණන් කිරීම ද සිදුවන බැවින් ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ද වැඩි වශයෙන් නිරීක්ෂකයින් යෙදවීමට සැලසුම් කර ඇතැයි ද පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා තවදුරටත් සඳහන් කළේය.
අනුරාධ හිරිපිටියගේ