මහ බලවතුන්ගේ ලෝක සමුළු හමුවේ ශ්‍රී ලංකාවේ ඉරණම

393

චෝදනා තියෙනවා ඒත් අපට මේක ජය ගන්න පුළුවන්…ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ශී‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන ඇත්තේ 1955 දෙසැම්බර් 14 වන දිනය. 1956 වසරේ පැවති එම සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවේ සිට පැවති සෑම රාජ්‍ය නායක සමුළුවකටම මෙරට නියෝජනය කරමින් රාජ්‍ය නායකයන් සහභාගි වී ඇති අතර පසුගිය වසරේදී කොවිඞ් වසංගතය හේතුවෙන් රාජ්‍ය නායක සමුළුව නොපැවැත්විණි. එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පැවැත්වෙන පළමු රාජ්‍ය නායක සමුළුව ලබන 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි. රටේ අනාගත අභිලාෂයන් සලකා බැලූ කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව නියෝජනය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව අප ප‍්‍රවීණ මාධ්‍යවේදී දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතාගෙන් විමසා සිටියෙමු. ඒ මහතා ඒ පිළිබඳව පළකළ අදහස් මෙසේය.

ප‍්‍රශ්නය – කොවිඞ් 19 වසංගතයට රට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය ඇමතීම සඳහා ඇමරිකාව බලා යෑම රටේ අනාගතය පැත්තෙන් බැලූ විට වටිනාකමක් තිබෙනවාද?

පිළිතුර – පැහැදිලිවම වටිනාකමක් තිබෙනවා. එම වටිනාකම ලැබෙන්නේ මෙහෙමයි. ජනාධිපතිතුමා එම සමුළුවට සහභාගි වූ විගස අපේ රටට මුදල් ලැබෙන්නේ හෝ කොවිඞ් වසංගතයෙන් මිදීම සඳහා ආධාර ලැබෙන්නේ හෝ නැහැ.

අපි දැන් ජීවත්වන්නේ එකට බැඳුණු ලෝකයකනේ. එම එකට බැඳීම කෙතරම් ද කියන එක පැහැදිලි වනවා කොවිඞ් – 19 වෛරසය ව්‍යාප්ත වූ ආකාරයෙන්. ගෝලීයකරණයේ තරම කෙතරම් ද කියන එක පැහැදිලි කරන නූතනම උදාහරණය තමයි කොරෝනා ව්‍යාප්තිය. 2019 දෙසැම්බර් මස චීනයේ වුහාන් නගරයෙන් හඳුනා ගන්නා මෙම වෛරසය මාස කිහිපයක් තුළ ලෝකයේ රටවල් සහ භූමි ප‍්‍රදේශ 216කට පැතිරෙනවා. එවැනි ලෝකයක රෝගයක් පැතිරෙනවා පමණක් නෙවෙයි. ආර්ථික, දේශපාලන සහ සමාජීය වශයෙනුත් අපි එකට බැඳිලා ඉන්නවා. එවැනි වූ ලෝකයක කවර වූ රටකට හෝ තනිව ඉන්න බැහැ. ඉන්න හැදුවත් ඉන්න දෙන්නෙත් නැහැ. එවැනි වූ ලෝකයකදී ලෝකයේ සෑම රටකටම තමන්ගේ රට ගැන, තමන් මුහුණපාන ප‍්‍රශ්න පිළිබඳව, රට තුළ සිදුකරමින් සිටින කටයුතුු පිළිබඳව කෙටියෙන් හෝ තම මතය පළ කිරීමට රාජ්‍ය නායකයන්ට දැනට ලෝකයේ තිබෙන එකම වේදිකාව තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය. තවත් වේදිකා තිබුණත් රාජ්‍ය නායකයන්ට තම මතය පළ කිරීමට තිබෙන ප‍්‍රධාන වේදිකාව තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය.

රටවල් 193ක් එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් වනවා. ලෝකයේ තිබෙන රටවල් අතරින් අතිමහත් බහුතරය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය නියෝජනය කරනවා. එවැනි වේදිකාවකදී ලෝකයේ කවර හෝ රටකට තමන්ගේ ප‍්‍රශ්න, ගැටලූ විසඳන ආකාරය, කරලා තිබෙන කටයුතු, ආර්ථික සංවර්ධනය, මානව හිමිකම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ධරණීය සංවර්ධනය සඳහා ගන්නා පියවර ආදිය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට පුළුවන්. එබැවින් ලෝකයේ කවර වූ ආකාරයේ රටක් වුවත් පැහැර නොහැර මෙම සමුළුවට සහභාගි විය යුතුයි, මේ ලෝකයේ පවතින්නට නම්.

ප‍්‍රශ්නය – මෙවර සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කුමන කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු බව ඔබ සිතනවාද?

පිළිතුර – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වූ විට එම සමුළුව ඇමතීමට අමතරව ඊට සමගාමීව අවස්ථාව උදා වනවා එම සමුළුව සහභාගි වන රාජ්‍ය නායකයන් සහ මැති ඇමැතිවරු සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට. අපගේ තානාපති කාර්යාලයේ, දක්ෂතාවය අනුව අපට හිමිවන අවස්ථා තීරණය වනවා.

මහ බලවතුන්ගේ ලෝක සමුළු හමුවේ ශ්‍රී ලංකාවේ ඉරණම

මෙම සමුළුවේදී අපට පුළුවන්කම ලැබෙනවා අපේ රට පිළිබඳව නිවැරදි චිත‍්‍රයක් ලෝකය හමුවේ තැබීමට. ඒ වගේම අපගේ රටේ තිබෙන ආයෝජන අවස්ථා පිළිබඳව වෙනත් රටවල්වලට පැහැදිලි කරන්න අවස්ථාව උදා වනවා. අපට වෙළඳ සබඳතා ඇති කර ගැනීමට ලෝකයේ තවත් රටවල් රාශියක් තිබෙනවා. එම ක්‍ෂේත‍්‍රයේ අත්දැකීම්, පර්යේෂණවල ප‍්‍රතිඵල බෙදා හදා ගන්න සාකච්ඡා කිරීමේ අවස්ථාව තිබෙනවා. මේ ආණ්ඩුව උත්සාහ කරනවා ජාතික ආර්ථිකයක්, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන්න. එවැනි ආර්ථිකයක් ගොඩනැඟීමේදී මොනවාද වෙනත් රටවල්වලින් ගන්න පුළුවන් උදව් කියලා මෙම සමුළු වාරය තුළදී සොයා බලන්න පුළුවන්. අපේ වැටුණු අපනයන ආදායම නැංවීම සඳහා ගත හැකි එක් පියවරක් තමයි විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම. මේ වනවිට කොළඹ වරාය නගර පනත සම්මත වී තිබෙනවා. එම වරාය නගරයට ලෝකයේ ප‍්‍රධාන ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා. ලෝකයේ අතිරික්ත ප‍්‍රාග්ධනයක් තිබෙන රටවල් තිබෙනවා. එම රටවල රාජ්‍ය නායකයන්ට වරාය නගරයේ හැඩරුව, එහි තිබෙන ප‍්‍රතිලාභ ආදිය පිළිබඳව මෙම සමුළුව අතර දී පැහැදිලි කර දීමේ අවස්ථාව තිබෙනවා. ඒ අනුව අතිරික්ත ප‍්‍රාග්ධනයක් තිබෙන රටවල් වරාය නගරයේ ආයෝජනය කිරීමට කැමැති වේවි. එය මේ රටේ ආර්ථික සංවර්ධනයට යොදා ගැනීම තුළින් මේ රටේ විනිමය ප‍්‍රශ්නයට, රැකියා ප‍්‍රශ්නයට විසඳුම් සොයා ගන්න පුළුවන්.

එපමණක් නොවෙයි මේ වනවිට අපි කොවිඞ් වසංගතයට මුහුණදෙන ආකාරය සහ එහිදී අපට අවශ්‍ය උදව් මොනවාද යන්නත් විදෙස් රාජ්‍ය නායකයන්ට පැහැදිලි කරලා දෙන්නත් අවස්ථාව උදා වනවා.

ප‍්‍රශ්නය – බලවත් රටවල්වලින් අපගේ රටට බලපෑම් එල්ල වන බවට චෝදනා තිබෙනවා. එම බලපෑම්වලට එරෙහිව මෙම සමුළුව යොදා ගැනීමේ හැකියාවක් පවතිනවාද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම අපේ රටට ලෝකයේ බලවත් රටවල්වලින් බලපෑම් තිබෙනවා. මෙම අසාධාරණ බලපෑම් පිළිබඳව පැහැදිලි කිරීමට මෙන්ම එම බලපෑම් පිටුපස ඇති සැබෑ චිත‍්‍රය පිළිබඳවත් මෙම සමුළුව හමුවේදී පැහැදිලි කිරීමේ අවස්ථාව තිබෙනවා.

අපේ රටට ලෝකයේ බලවත් රටවල්වලින් බලපෑම් එල්ලවන බවට තිබෙන හොඳම උදාහරණය තමයි පසුගිය සැප්තැම්බර් 13 වැනිදා ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 48 වන සැසිවාරය තමයි පසුගියදා ආරම්භ වූයේ. එම සැසියේදීත් මානව හිමිකම් සමුළුව පසුගිය වසර ගණනාවක සිට සාක්ෂි නැති අසාධාරණ, ඒකපාර්ශ්වීයව දේශපාලන අරමුණ සහිත ඉදිරිපත් කරන සතුරු ව්‍යාපාරය යළිත් ප‍්‍රකාශයට පත් කළා. මානව හිමිකම් සමුළුව 2009 සිට යෝජනා ඉදිරිපත් කරනවා මෙරට ආරක්ෂක හමුදා එල්. ටී. ටී. ඊ. සංවිධානයට එරෙහිව සිදු කළ යුද්ධයේදී යුද අපරාධ කළ බවට. එහි උච්ච එක් අවස්ථාවක් තමයි 2015 ඔක්තෝබර් මස 01 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 30 වන සැසිවාරයේදී සම්මත කර ගත් 30/1 යෝජනාව. එම යෝජනාවේ අන්තර්ගතය තමයි යුද අපරාධ කළ බවත්, ඒ සඳහා සාක්ෂි ඇති බැවින් එම අපරාධ කළ අයට එරෙහිව නඩු දමා දඬුවම් ලබාදිය යුතු බවත්, ඊට අමතරව මෙරට තුළ ඇති කළ යුතු අධිකරණ පද්ධතියේ, ආරක්ෂක හමුදාවල වෙනස්කම් පිළිබඳවත් එම යෝජනාවේ සඳහන් කර තිබෙනවා.

මෙම යෝජනාවේ බොහෝ බරපතළ අසාධාරණකම් තිබෙනවා. මේ රටට මෙම චෝදනා එල්ල කරන්නේ එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කළ නිසා. එම සටනේදී මානව හිමිකම් කඩවීම් සිද්ධ වෙන්න ඇති. නමුත් එම සංවිධානය මේ දක්වා පැවතියා නම් ඊට වඩා මානව හිමිකම් කඩවෙනවා. එල්. ටී. ටී. ඊ. සංවිධානය කළ මිනීමැරීම් පිළිබඳව කතා නොකළ රටවල් තමයි මෙම යෝජනාව පිටුපස සිටින්නේ.

අපට එරෙහිව මානව හිමිකම් කඩකළ බවට චෝදනා එල්ල කරන රටවල් තමයි ඉතිහාසය තුළදී වැඩියෙන්ම මානව හිමිකම් කඩකරලා තිබෙන්නේ. ඒ සඳහා තිබෙන උදාහරණ පෙන්වාදීමට පොත් ගණනාවක් වුවත් රචනා කිරීමට පුළුවන්.

ඒ සඳහා මම මෙම අවස්ථාවේදී එක් උදාහරණයක් පමණක් ගෙනහැර දක්වන්නම්, අපි ඒ සඳහා ඇෆ්ගනිස්ථානය ගනිමු. ඇෆ්ගනිස්ථානය කියන්නේ දකුණු ආසියාවේ තිබුණ දුප්පත් රටක්. 1978 දී ඒ රටේ අලූත් ආණ්ඩුවක් බලයට පත්වූවා. ඒ ආණ්ඩුව විසින් බොහෝ ප‍්‍රගතිශීලී වෙනස්කම් ඇති කළා. ඒ ආණ්ඩුව කාන්තාවන්ට සම අයිතිවාසිකම්, සුළු ජන කොටස්වලට සම අයිතිවාසිකම් ලබා දෙනවා. සෞඛ්‍ය සේවය වැඩි දියුණු කරනවා. අධ්‍යාපනය ප‍්‍රසාරණය කරනවා. තවත් ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවා. නමුත් ඒ ආණ්ඩුව සෝවියට් දේශයට හිතවත් නිසා 1979 දී සී. අයි. ඒ. සැලසුමකට අනුව ඒ රටේ මුජහිදීන් නමැති අන්තවාදී සටන්කරුවන්ට මුදල්, ආයුධ ඇතුළු ආධාර ලබාදීලා පැවති ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය කටයුතු කරනවා. එහිදී ඇති වූ අර්බුදවල ප‍්‍රතිඵලයක් ලෙස 1996 දී තලේබාන් සංවිධානය බලයට එනවා. 2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසුව ඇමරිකාව තලේබාන් ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ඒ රට ආක‍්‍රමණය කරනවා. ඒ රට සුන්බුන් ගොඩක් බවට පත් කළ ඇමරිකාව පසුගියදා රටින් පිට වී ගියා. නමුත් ඒ පිළිබඳව කිසිදු මානව හිමිකම් චෝදනාවක් නැහැ.

අපේ හමුදාව සටන් කළේ රට දෙකඩ කිරීමට සටන් කළ, සිංහල දෙමළ මුස්ලිම් යන සියලූ ජන කොටස් ඝාතනය කළ, ත‍්‍රස්තවාදී සංවිධානයක් සමග. එම කටයුත්ත වරදක් කියලා තමයි මේ වන්දිය ඉල්ලන්නේ. කවුද මේ වන්දිය ඉල්ලන්නේ. වෙන කවුරුවත් නොවෙයි මිනිමරපු රටවල්.

එම රටවල් සමග සටන් කිරීමට අවශ්‍ය ආර්ථික ශක්තිය, මිල්ටරි බලය අපට නැහැ. එහෙම නම් අපට කරන්න තිබෙන දෙය තමයි මෙම අසාධාරණයේ ඇත්ත කතාව කියන එක. ඒ සඳහා අපි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය වේදිකාවක් කරගත යුතුයි. ඒ අනුව ඒ පැත්තෙන් බැලූවත් ජනාධිපතිතුමා මෙවර සමුළුවට සහභාගි වීම ඉතා වැදගත් වනවා.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment