මහ බැංකුවේ මුදල් අතුරුදන්වීම : පොලිසියත් මඤ්ඤං වෙයි!

439

ආරක්ෂක ක්‍රමවේද අක්‍රීයයි – සීසීටීවී කැමරා සවිකර නෑ

මහ බැංකුවේ භූගත තුන්වැනි මහලේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොටුව පොලිසිය ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිව පඹගාලක පැටලී සිටින බව වාර්තා වෙයි.

මෙසේ ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදල කිසියම් පුද්ගලයකු සොරා ගත්තේ ද එසේත් නැතිනම් අතපසුවීමකින් බැංකුවෙන් පිටවූයේ ද යන්න මෙතෙක් හෙළිකර ගැනීමට පොලිසිය සමත්වී නැත.

මේ පිළිබඳ පොලිසියට කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ මුදල් ගබඩා කර තිබෙන කාමරවල නිසි ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබූ නිසා බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම මුදල් අතුරුදන්වූ කාමරයේ සී සී ටී වී කැමරා පවා සවිකර නොතිබූ බව විමර්ශකයෝ පවසති.

එමෙන්ම මෙම මුදල් ගබඩා කාමර වෙත, ලැබෙන මුදල් මෙන්ම ඒවා පිට කරන ආකාරය පිළිබඳව නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව ද විමර්ශකයෝ පවසති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව ඇති බව ද වාර්තා වෙයි. රටපුරා බැංකුවලට මුදල් බෙදා දෙන මෙම ඒකකය නිලධාරීන් 15 දෙනකුගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන බව හෙළිවී ඇත.

එම මුදල් භාරව සිටි නිලධාරීන් 15 දෙනාගෙන් කොටුව පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබේ.

එහෙත් අතුරුදන්වූ ලක්ෂ 50 ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ මේ වනතුරු කිසිදු හෝඩුවාවක් ලැබී නැත.

කොටුව පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment