මහ බැංකුවේ සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කර ගැනීම ලබන වසර (2025) දක්වා අත්හිටුවීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙන බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19 වැනිදා) පැවසීය.

එමෙන් ම සේවක අර්ථසාධක අරමුදලින් මහ බැංකු සේවකයන්ට වැඩි පොලියක් ලබා දීම නතර කළ යුතු බවටත් එම අරමුදලින් මෙතෙක් ලබා දුන් වරප්‍රසාද නිවැරදි කළ යුතු බවටත් කමිටුව නිර්දේශ කර තිබෙන බව ද සභාපතිවරයා සඳහන් කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මුදල් කාරක සභාව විසින් අනුමත කරන ලද එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

කළමනාකරණ සහායක සහ කාර්යාල කාර්ය සහායක යන තනතුරු සඳහා මහ බැංකුවේ වැඩ කළ පළියට ඉහළ වැටුප් ලබා දිය නොහැකි බවත් එම තනතුරුවල වැටුප රජයේ එම කාණ්ඩයේ වැටුපට සමාන විය යුතු බවත් එම වාර්තාව පෙන්වා දෙන බව ද සඳහන් කළ සභාපතිවරයා මෙසේද කීවේය.

සිද්ධියට අදාළව කමිටුව විකල්ප පහක් නිර්දේශ කර තිබෙනවා. වසර තුනක සාමුහික ගිවිසුම වැටුප් වැඩි කිරීමට අදාළ නොවන ලෙසට තව වසර දෙකක් දීර්ඝ කිරීමත් එක් නිර්දේශයක්. ඒ වගේම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ලබන වසරේ දී විශ්ලේෂණයක් කරන ලෙසත් නිර්දේශ කර තිබෙනවා. මූලික වශයෙන් මහ බැංකුව ඉහළ සහ පහළ නිලධාරීන් එක සාමුහික ගිවිසුමක් අනුව කටයුතු කිරීම වැරදි බවත් එය කාණ්ඩ දෙකට බෙදිය යුතු බවත් කමිටුව සඳහන් කරනවා.

අර්ථසාධක අරමුදල ගැනත් වාර්තාව සඳහන් කරනවා. අර්ථසාධක අරමුදලින් පොදුවේ සාමාජිකයන්ට ලැබෙන ප්‍රතිලාභවලට අමතරව මහ බැංකු සේවකයන්ට විශේෂ වරප්‍රසාද දීම කිසිසේත් නොකළ යුතුව තිබූ දෙයක් බවත් එය නිවැරදි කළ යුතු බවත් වාර්තාව සඳහන් කරනවා. මහ බැංකුව වැටුප් වැඩි කර ගැනීමට පෙර රටේ තියෙන තත්ත්වය ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබූ බවත් වාර්තාව පෙන්වා දෙනවා. කමිටුවේ මේ නිර්දේශ මුදල් කාරක සභාවේ බහුතරයෙන් සම්මත වෙලා තියෙනවා. මෙම වාර්තාව මුදල් අමාත්‍යාංශයට යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. විෂය පථය පුළුල් හෙයින් සම්පූර්ණ විශ්ලේෂණයකට කාලය ප්‍රමාණවත් නොවන බවත් කමිටුව පවසා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද එම කමිටුවේ සභාපති වූයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා ය. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, අර්ජුන හේරත්, සුදර්මා කරුණාරන්ත්න, නිහාල් ෆොන්සේකා, අනුෂ්ක විජේසිංහ, දුමින්ද හුලංගමුව සහ කේ. වී. සී. දිල්රුක්ෂි යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකයෝ වූහ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment