මහ මුහුදෙන් මතු කරගත් ආර්ථික නිධානය

405

රට තුළ දැවැන්ත සංවර්ධන කාර්යක් සාක්ෂාත් කරගැනීමේදී කිසිදු රටකට හෝ රාජ්‍යකට තනිව එම ඉලක්ක සපුරා ගැනීම පහසු කටයුත්තක් නොවේ. ගෝලීය වශයෙන් එකමුතු භාවයත්, රටවල් අතර සාමූහිකත්වයත් අවශ්‍ය වන්නේ ඒ නිසාය. එහිදී ආර්ථික වශයෙන් දියුණු රටවල් මූල්‍යමය, තාක්ෂණිකමය ආදී ලෙස තම දායකත්වය අනෙකුත් රටවලට දීමෙන් එම රටවල දියුණුව අපේක්ෂා කරන අතරම එහි ප්‍රතිලාභ තම රටවලට හිමි කරගැනීමට අපේක්ෂා කිරීම නොවැළැක්විය හැකි කාරණයකි.

2011 වසරේදී මුලින් ශ්‍රී ලංකාවේ වරාය නගරය ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත් කළේ චීන රජයට අයත් සමාගමක් වන චීන සන්නිවේදන හා ඉදිකිරීමේ සමාගමයි. 2014 වසරේදී චීන අගමැති ෂී ජින් පින් අතින් මේ ව්‍යාපෘතියේ ආරම්භය සිදු වූයේ ශ්‍රී ලංකා රජය හා චීන සන්නිවේදන හා ඉදිකිරීම් සමාගමට අනුබද්ධ සමාගමක් වූ China Harbour Engineering Corporation ( CHEC) අතර අත්සන් කළ ගිවිසුමට අනුවය. මෙය හම්බන්තොට වරාය, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග, විදුලි බලාගාර මෙන්ම නෙළුම් කුලුන වැනි ලංකාවේ අති දැවැන්ත ඉදිකිරීම් රාශියක් සිදු කළ සමාගමකි. මේ සඳහා 2014 වසරේ ගිවිසුම්ගත වූ ආකාරයේ නෛතික තත්ත්වය වෙනස් කර එයට යම් සාධනීය ලක්ෂණ කිහිපයක් එක් කිරීමට හැකි වූයේ 2016 වසරේදී අත්සන් කළ ගිවිසුමෙනි. පසුව නීතිපතිගේ අනුමැතිය ද සහිතව 2019 සැප්තැම්බර් මස ඉදිරිපත් කළ කෙටුම්පතින් හා 2020 වසරේ අගමැතිවරයා පත් කළ ෆර්ඩිනන්ඩ්ස් කොමිසමෙන් ඉදිරිපත් කළ යෝජනාවලින් යෝජිත වරාය නගර කොමිසම වෙත රජයේ මැදිහත්වීම පිළිගන්නා ලදී. එහිදී ගොඩකරන වපසරිය සම්බන්ධයෙන් ඉදිකරන සමාගම හා රජය අතර බෙදී යන ප්‍රතිශතය ද තහවුරු විය. ඒ අනුව මුළු ගොඩබිම ප්‍රමාණයෙන් බෙදී ගියේ ඉදිකිරීම් කළ CHEC සමාගමට හෙක්ටයාර 116ක්ද, මාර්ග, උද්‍යාන, දියකඩිති ආදී පොදු විනෝද කටයුතු වෙනුවෙන් හෙක්ටයාර 91 ක්ද, රජයට අයත් ප්‍රදේශ ලෙස හෙක්ටයාර 62 ක්ද වශයෙනි.

මෙය මුහුද ගොඩකර දූපතක් නිර්මාණය කර එහි නගරයක් ඉදිකිරීම හා එය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්කෙරෙන ඩොලර් බිලියන 1.4ක් ආයෝජනය කළ යුතු දැවැන්ත ව්‍යාපෘතියකි. මෙරට භූමියට අලුතින් එක් වූ සමස්ත දූපතේ වපසරිය හෙක්ටයාර 269.3කි. එනම් අක්කර 1116කි. මේ භූමිය කලාප 5කට බෙදා ඇත. කළුගල් ඝනමීටර් මිලියන 3.6ක් හා චයිනීස් පොඩ්ස් කොන්ක්‍රීට් කුට්ටි 42,000ක් යොදා මීටර් 20ක් උසකින් හා මීටර් 3245 දිගකින් යුත් දියකඩනයත්, වැලි ඝණමීටර් මිලියන 65ක් යොදා මුහුදෙන් මතු කරගත් ගොඩබිමත් ඒ වටා මීටර් 5599ක් දිගැති කළුගල් රැඳවුම් බැම්මත් මේ වන විටත් නිම කර අවසන්ය. ගොඩබිම හා මුහුද යා වන රැඳවුම් බැම්ම හා එක් වන පරිදි දැවැන්ත කොන්ක්‍රීට් කියුබ්ස් තැම්පත් කිරීමද මේ වන විට අවසන්ය. යටිතල පහසුකම් හා දෙවැනි අදියරේ ඉදිකිරීම් මේ වන විට සිදු වෙමින් පවතින අතර ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් අවසන් වන කාලය ලෙස ගිවිසගෙන ඇත්තේ 2041 වසරයි.

ආයෝජකයන් මෙන්ම විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ඉදිවන හෝටල් සංකීර්ණ, නිවාස සංකීර්ණ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සතුටු උයනක්, කිලෝමීටර් 2ක් දිග සුන්දර කෘතීම වෙරළ තීරයක්, ශාක 10,000 සපිරි හරිත උද්‍යානයක්, ඇළ මාර්ගයක් හා සැහැල්ලු බෝට්ටු යාත්‍රාංගනයක්, ඇණ මුරිච්චි නැතිව ලංකාවේ මුල් වරට එල්ලෙන පාලමත් මෙහි පවතින විශේෂ ස්ථාන කීපයකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මහතා පවසන්නේ වරාය නගර ව්‍යාපෘතිය මෑත දශකයේ මෙරට ආරම්භ කළ දැවැන්ත කාර්යක් බවයි. ඒ පිළිබඳ පැහැදිලි කරන ඔහු “චීනය අද වනවිට බලවත් ආර්ථිකයක් සතු රටක්. ඔවුන් සමග අප කරන ගනුදෙනුව අන්ධ ලෙස නොව ඉතාමත් තාර්කික ලෙසයි සිදු වන්නේ. චීනය වෙනුවට ඉන්දියාව හෝ ඇමරිකාව හෝ ආදේශ වුවත් එයද ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. යුරෝපයේ ඕනෑම රටකට මෙහි ආයෝජන සිදු කළ හැකියි. එසේ වූ පමණින් ඔවුන් ආක්‍රමණිකයන් ලෙස දකින්නට බෑ. මෙය සමස්ත ආර්ථික ක්‍රියාවලියක නියැදියක්. වර්තමානයේ රටේ නිර්මාණය වී ඇති අර්බුදය ජය ගැනීම සඳහා සුදුසුම හා එකම මාර්ගය රටට විදේශ ආයෝජන ගෙන ඒමයි. යැපුම් හා ණය මානසිකත්වයෙන් මිදී ඒ වෙනුවට ආයෝජන සංකල්පය ආදේශ කිරීම ඉතාම නිවැරදි හා වැදගත් තීරණයක්. විදේශ ආයෝජන රට තුළට ගලා ඒම නිසා ගොඩනැඟෙන තාක්ෂණ, දැනුම් හා සේවා ක්ෂේත්‍ර ළඟා කරගන්නා දියුණුව අත් වන්නේ සීමිත පිරිසකට නොවේ. මින් උත්පාදනය වන සෘජු, වක්‍ර හා උත්තේජන බලපෑම් සමස්ත ජනතාවටම විසිර යනවා” ඒ අනුව මෙසේ ඉදි වන වරාය නගර ව්‍යාපෘතිය පාරිසරික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් පුද්ගල ජීවිත වලට විවිධ අයුරින් බලපෑම් එල්ල වුවද රටම ආයෝජන කලාපයක් ලෙස ගොඩනැගෙන බල මධ්‍යස්ථානයක් බවට පත් කර ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය වෙත ගෙන යෑමට ගන්නා ප්‍රයත්නය යථාර්ථයක් බවට පත් කරනු දැකීම පුරවැසියන්ගේ අපේක්ෂාවයි.

(විශේෂ ස්තුතිය අනුහස් මහවලගේ මහතාට)
ඉෂාරා සඳරේණු – කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment