මහ ලේකම් ධුරයේ වැඩ භාරගනියි: එක්වෙන්න තලතා සජබට කියයි

545

ගැළපෙන නොගැළපෙන හැමෝම එකතු කරගෙන 2025දී රට හදමු – එජාප සභාපති වජිර

රට හරි තැනට ගේන්න පක්‍ෂය ශක්තිමත් කරමු – එජාප නියෝජ්‍ය නායක රුවන්

රට වෙනුවෙන් එක්ව ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය සමග එක්වන ලෙස එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය සමගි ජනබලවේගයෙන් ඊයේ (10දා) ඉල්ලීමක් කළාය. එක්සත් ජාතික පක්ෂය නැවත රටේ ජයග්‍රාහී පක්ෂය බවට පත් කරන බව ද ඇය කියා සිටියාය.

ඇය එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මෙම ඉල්ලීම කළාය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ඇය එම ධුරයේ වැඩ භාර ගත්තාය. සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදය ද ඇයට පිරිනැමිණි.

මෙහිදී තවදුරටත් කතා කළ තලතා අතුකෝරළ මහත්මිය මෙසේද කියා සිටියාය.

“පාක්ෂිකයන් විතරක් නොවෙයි රටත් ජයග්‍රහණය කරන්න ඒ කටයුතු කරන්න අවශ්‍ය පසුබිම හරිගස්සලා තියෙන්නේ. ඒ අභියෝගය භාර අරගෙන මේ කටයුතු කරන්න මම සූදානම්. සමගි ජන බලවේගය කියන්නේ අමුතු පක්ෂයක් නෙවෙයි. ඒකෙ ඉන්න සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂයේ හිටපු අය. එතකොට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට හිටපු සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ පක්ෂය හැදුවා. අපි ඒ අයට විවෘතව ආරාධනා කරනවා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ පූර්ණ ආශිර්වාදය තියෙනවා. මේ වෙනකොට සියලු පක්ෂ එකතුවෙලා රටට යහපතක් කරන්න එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා.

“අපි එක්සත් ජාතික පක්ෂය හැටියට වැඩ කටයුතු කරන්නේ අපේ නායකතුමාගේ හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාව අනුවයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා ලබාදුන් මේ අභියෝගය භාරගත්තේ ඉතා සතුටින්.

දෙකට බෙදී සිටින එකම පක්ෂයක් වන සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය දැන් එකට එකතුවීමට කාලය එළැඹී තිබෙනවා. මේ නිසා සමගි ජන බලවේගයේ සියලු දෙනාට විවෘත ආරාධනයක් කරනවා එක්සත් ජාතික පක්ෂය සමග එකතු වන හැටියට.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා

“අලියා ලකුණ යටතේ එන පළාත් පාලන මැතිවරණය යටතේ එක්සත් ජාතික පෙරමුණේ අනෙකුත් දේශපාලන පක්ෂත් එකට එකතු කරගෙන සමගියෙන් ඉදිරියට යන ගමන සඳහා රනිල් වික්‍රමසිංහ නායකතුමා සාකච්ඡා කරමින් ඉන්නවා. ගැළපෙන නොගැළපෙන සියලු දේශපාලන පක්ෂ එකට එකතු කරගෙන ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා 2025 වර්ෂයේ ක්‍රියා කිරීම තමයි එක්සත් ජාතික පක්ෂයේ අරමුණ. අපට ඒ සඳහා හොඳ නායකයෙක් ඉන්නවා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා

අපි හුඟක් සතුටට පත්වෙනවා තලතා අතුකෝරළ මහත්මිය පක්ෂයේ මහ ලේකම්තුමිය හැටියට පත්වීම ගැන. රටේ මහ ජනතාව පවතින ආණ්ඩුවට ඡන්දය දුන්නට එදා කියපු දේවල් පොරොන්දු වුණු දේවල් සැබෑ නොවන බව දකිනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේ ශක්තිමත් වෙලා රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳලා රට හරි තැනකට ගේන්න පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙන එමු.

තලතා අතුකෝරළ මහත්මිය එ.ජා.ප. මහ ලේකම් ධුරයේ වැඩ භාරගන්නා අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment