මහ වැස්සක් කළ හදියක්… මරණ 26ක්

216

කඳු නාය යයි

දහස්ගණනක් අතරමං

මහපාරට ගල් කඩා වැටෙයි

දින ගණනාවක් තිස්සේ පැවති අනෝරා වැස්ස මෙරට ජනතාවගේ ජනජිවිතවලට එල්ල කළ බලපෑම සුළුපටු නොවේ. කොවිඞ් වසංගතයෙන් බැටකමින් සිටින රට්ටුන්ට අයහපත් කාලගුණික තත්ත්වයෙන්ද බැටකෑමට සිදු වූහ. බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිත පැවති අඩුපීඩන කලාපය හේතුවෙන් ධාරාණිපාත වාර්ෂාව හා කඳුවැටි නායයෑම මෙරට රට්ටුන්ගේ ජනජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය. ඇතැම් පවුල්වල සාමාජිකයින් නිදිපැදුරේදීම පස්කඳුවලට යටවී පණපිටින් වැළලී ගියහ. රාත‍්‍රි නින්දට ගිය ඇතැමුන්ට උදෑසන අවදිවීමට හැකිවූයේ නැත. පස්කඳු නාය යෑමට ලක්ව නිවෙස් බිමට සමතලා වී තිබුණි. තවත් පිරිසක් ජල රකුසාට බිලි වූහ.

ආපදා තත්ත්වය හේතුවෙන් ඇතැම් පවුල්වල සාමාජිකයන්ට තම බිරිඳ සැමියා සහ දූ දරුවන් අහිමි වූහ. ඇතැමුන්ට ඉතිරි වූයේ ඇඳිවත පමණි. අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් වූ තවත් විශාල පිරිසක් කඳුළු කැට බොමින් ජනජීවිතය යළි යථාවත් කිරීම සඳහා කටයුතු කරමින් සිටිති. මේ අතර රඹුක්කන හතරලියද්ද දොඹේමඩ ප‍්‍රදේශයේ නිවසකට පස්කන්දක් කඩා වැටීමෙන් එම් නිවසේ සිටි මවක්, දියණියක් හා ඥාති දියණියක් නිදිපැදුරේදීම පණපිටින් වැළලී ගියහ. අලව්ව ප‍්‍රදේශයේ නිවසකට පස්කඳු කඩා වැටීමෙන් එම නිවසේ සිටි තරුණියකට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූවාය.

රඹුක්කන හතරලියද්ද ප‍්‍රදේශයේ නිවසකට පස්කන්දක් කඩාවැටීමෙන් පණපිටින්ම වැළලීගියේ 36 හැවිරිදි වියේ පසුවන සුරංගනි ලක්ෂිකා ඇයගේ දියණිය වන 08 හැවිරිදි කසුනි මාරසිංහ හා ඥාති දියණියක් වන 13 හැවිරිදි මදුෂිකාය. කෙසේ වුවද කසුනිගේ පියා වන සුදත් මාරසිංහට දිවිබේරාගැනීමට හැකි විය. සුරංගනී හා සුදත්ගේ එකම දියණිය වන කසුනි මාරසිංහ දැදිවල ප‍්‍රාථමික විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියාය. සුදත්ට හරිහමන් රැකියාවක් නොතිබූ අතර හේ තම දරුපවුලේ බඩවියත රැකගැනීම සඳහා දැඩි අරගලයක නිරතවෙමින් සිටියේය. ඔහු එදිනෙදා කුලී වැඩ කිරීමෙන් සිය දරුපවුල නඩත්තු කළේය. සුදත්ගේ බිරිඳගේ සහෝදරයකු රාජාංගන ප‍්‍රදේශයේ පදිංචිව සිටියේය. සුදත් තම බිරිඳ හා දියණිය සමග බිරිඳගේ සහෝදරයාගේ නිවසට ගොස් පසුගිය 08 වැනිදින යළි සිය නිවසට පැමිණියේය. ඔවුන් සමග කසුනිගේ සහෝදරයාගේ 12 හැවිරිදි දියණිය ද පැමිණියහ.

මහ වැස්සක් කළ හදියක්… මරණ 26ක්

සුදත්ගේ නිවස කඳුගැටයක් පාමුල පිහිටා තිබුණි. දිනය ඉකුත් 08 වැනිදාය. එදින රාත‍්‍රි ආහාරය ගත් සුදත් ඇතුළු පවුලේ අය නින්දට ගියහ. රාත‍්‍රිය පුරාම ගිගුම් හඬ දෙමින් මහවැසි ඇදහැලෙන්නට විය. සුදත්ගේ බිරිඳ, චුටි දියණිය හා සහෝදරයාගේ දියණිය එක් කාමරයක නින්දට ගොස් සිටියහ. ඊට යාබද කාමරයේ සුදත් නින්දට ගොස් සිටියේය. ධාරානිපාත වර්ෂාවත් සමග සුදත්ගේ සිතට බියක් දැනෙන්ට විය ඔහු නිදා ගැනීම සඳහා නිදියහන වෙත ගියද සුදත්ට නින්ද ගියේ නැත. නිවසට ඉහළින් ඇති කඳුගැටය සුදත්ට මතක් විය. කඳුගැටය නාය යෑමට ලක්වේද යන්න පිළිබඳ සුදත්ට සැකයක්ද ඇති විය. සුදත් නිදියහන මතට වී කල්පනා කරමින් සිටියේය. ගතවූයේ නිමේෂයකි.

”මට හරියට වෙලාව මතක නැහැ. අලූයම් කාලයේ දී වෙන්න ඇති. එකපාරට සරාස්ගාන ශබ්දයක් ඇසුණා. ඒ සමග මුළු නිවසම පස්වලින් වැහිලා ගියා මම කාමරයේ උළුවස්ස ළඟට තල්ලූවෙලා ගියා.

නැගිටින්න හැදුවත් මට නැගිටින්න බැරිවුණා මම හයියෙන් කෑගැසුවා බේරාගන්න කියලා. නමුත් කාටවත් ඇහිලා නැහැ පාන්දර එළිය වැටීගෙන එනවිට ගමේ අය ඇවිත් මාව රඹුක්කන රෝහලට රැගෙන ගියා යැයි සුදත් මාරසිංහ කීවේය. අනතුරුදායක තත්ත්වය හේතුවෙන් මොවුන්ට මෙකී නිවසෙන් ඉවත්වන ලෙස රඹුක්කන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් දැනුම් දි තිබුණි. එහෙත් අනතුරුදායක තත්ත්වය නොතකා මොවුන් මෙකී නිවසේ පදිංචිව සිටියහ. දුරදිග නොබලා කටයුතු කිරීම හේතුවෙන් සුදත්ගේ පවුලේ අයට සිය ජීවිතවලින් වන්දිගෙවීමට සිදු වූහ.

අලව්ව ප‍්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් නායයෑමෙන් මියගිය ගොස් ඇත්තේ එස්.ඒ. මෙනකි ජයසූරිය නමැති 24 වියේ පසුවන තරුණියකි. ඇය අගනගරයේ පිහිටි පුද්ගලික රෝහලක හෙදි නිලධාරිනියක් ලෙස කටයුතු කළාය. මෙම අනතුර වන අවස්ථාවේ මියගිය තරුණිය මව හා ඇයගේ සහෝදරියක් නිවසේ සිට ඇත. නිවස පාමුල තිබූ පස්කන්දක් නිවස මතට කඩා වැටී තිබේ. ඇය නිදාසිටි කාමරයේ බිත්තියක් කඩා වැටී ඇති අතර බිත්තියට යටවීමෙන් ඇය මියගොස් ඇත. රඹුක්කන හා අලව්ව යන ප‍්‍රදේශවලින් එවැනි කනගාටුදායක සිද්ධීන් වාර්තාවෙද්දි කුලියාපිටිය ප‍්‍රදේශයේ පිය පුතු දෙදෙනකු ජල රකුසාට බිලිවූහ. සැබැවින්ම මෙය කොයි කාගෙත් හද කම්පා කරන සිද්ධියකි.

මහ වැස්සක් කළ හදියක්… මරණ 26ක්

කුරුණෑගල උඩුබද්දාව ප‍්‍රදේශයේ පැවැති උපකාරක පංතියකට ගොස් සිටි 11 හැවිරිදි සිසුවකු තම පියා සමග නිවස වෙත පැමිණෙමින් සිටියදි පරණගම ඔයේ සැඩපහරකට හසුවී ගසාගෙන යෑමෙන් මියගියහ. ධාරානිපාත වර්ෂාවත් සමග පරණගම ඔයේ සැඩපහර ප‍්‍රචණ්ඩ වී තිබුණි. අත්ට‍්‍රැක්ටරයක් තබාගෙන සිටි අයෙකුට තමන් ට‍්‍රැක්ටරයෙන් නංවාගෙන යන ලෙස පියා පවසා ඇත. එහෙත් ජලපහර ප‍්‍රචණ්ඩ නිසා ඔහු එය ප‍්‍රතික්ෂේපකොට ඇත. පිය පුතු දෙපල ජලපහර හරහා ගමන් කරමින් සිටියදී ගසාගෙන ගොස් තිබේ. 11 හැවිරිදි පාසල් සිසුවා මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ඔහු පසුගිය වර්ෂයේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ඉතා ඉහළින් සමත් වූ සිසුවෙකි. මේ අතර කෑගල්ල පුස්සැල්ල දේවාලේගම ප‍්‍රදේශයේ නිවසක් මතට පස්කඳු කඩා වැටීමෙන් නිවෙස් සිටි පිය පුතු දෙපලක් පස්කඳුවලට යටවීමෙන් මියගියහ. මෙකී නිවස පස්කඳුවලට යටවීමෙන් සම්පූර්ණයෙන්ම විනාශවී තිබූ අතර පැය පහක පමණ මෙහෙයුමකින් පසු පස්කඳුවලට යටවී සිටි පිය පුතු දෙදෙනාගේ මළ සිරුරු සොයාගැනීමට සහන කණ්ඩායම්වලට හැකිවූහ. එමෙන්ම කුරුණෑගල දොඩම්ගස්ලන්ද කොරොස්ස ප‍්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් අඹු සැමි යුවළක් මියගියහ. මොවුන්ට දරුවන් නොමැති අතර 65 හා 70 වැනි වියේ පසු වූ මෙකී අඹුසැමි යුවළ පස්කන්දට යට වී මියගොස් තිබුණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව ධාරානිපාත වාර්ෂාව, පස්කඳු කඩා වැටීම් දැඩි සුළං සහ ගංවතුර හේතුවෙන් 25 දෙනෙකු මියගොස් තිබුණි. ආපදා තත්ත්වය දිස්ත‍්‍රික්ක 17කට අයත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 145කට බලපා තිබුණි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 63317කට අයත් පුද්ගලයින් 222590 දෙනෙකු පීඩාවට ලක්ව සිටිති. නිවාස 1253කට අර්ධවශයෙන් හානිවී තිබූ අතර නිවාස 23ක් සම්පූර්ණයෙන් හානියට පත්ව තිබුණි. ආරක්ෂිත ස්ථාන 80ක පවුල් 3744කට අයත් පුද්ගලයින් 12796 දෙනෙකු රැඳි සිටිති. මින් වැඩිම බලපෑමක් එල්ලවී තිබුණේ පුත්තලම් දිස්ත‍්‍රික්කයට වන අතර පුත්තලම් දිස්ත‍්‍රික්කයේ පවුල් 38298කට අයත් පුද්ගලයින් 132375 දෙනෙකු පීඩාවට පත්ව සිටිති. ගම්පහ, මන්නාරම, කළුතර, අනුරාධපුර, යාපනය, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවලට ආපදාවෙන් දැඩි බලපෑමක් එල්ලවී තිබුණි.

ආපදාවෙන් මියගිය 25 දෙනාගෙන් 08 දෙනෙකුටම සිය ජීවිතවලින් වන්දිගෙවීමට සිදු වූයේ නායයෑම් නිසා පස්කඳු නිවෙස් මතට කඩා වැටීමෙනි. මෙරට ජනගහනයෙන් සියයට 30ක් 38 අතර සංඛ්‍යාවක් සිටින්නේ නායයෑමේ අවදානම් සහිත ප‍්‍රදේශවල බැව් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේය. ධාරානිපාත වර්ෂාවත් සමග නායයෑමේ අවදානම් ස්ථාන 115ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බැව් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා කියන්නේය.

කෙසේ වුවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මෙකී ආපදා තත්ත්වය ක‍්‍රමිකව ඇති වූ තත්ත්වයක් බවය. ආපදා තත්ත්වය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට ආපදා මධ්‍යස්ථානය ඇතුළු තාක්ෂණික ආයතන කටයුතු කර තිබූ බවද එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේය. විශේෂයෙන්ම ආපදා අවදානම් ඇති ප‍්‍රදේශවල ජනතාව එම ප‍්‍රදේශවලින් ඉවත් නොවීම නිසා සහ අපරීක්ෂාකාරී ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙවර ආපදා හානි වාර්තා වී ඇති බවත් අවදානම් නොතකා කටයුතු කරන්නේ නම් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජෙනරාල් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසන්නේය.

මහ වැස්සක් කළ හදියක්… මරණ 26ක්

ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 13 දෙනකු මියගොස් ඇත්තේ දියේ ගිලීමෙනි. එය වළක්වා ගත හැකි මියයෑම් බවත් සැඩපහර පිළිබඳව දැනුවත් භාවයෙන් යුතුව අපරීක්ෂාකාරීව ජල මාර්ගවල පිහිනීම, පාරු පැදීම වැනි අවදානම් ක‍්‍රියා හේතුවෙන් සිදුවී ඇති බව මරණ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේය. මෙකී ආපදා අවස්ථාවේ දී ඇතැමුන් අපරීක්ෂාකාරී අයුරින් ජල මාර්ගවල විනෝද වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යාවල සංසරණය වේ. මෙවැනි ක‍්‍රියාවන් කිසිසේතම අනුමත කළ නොහැක. මේ තුළින් සිදුවන්නේ නිරපරාදේ සිය ජීවිතවලින් වන්දිගෙවීමටය. කෙසේ වුවද ආපදාවට ලක් වූ පිරිස් වෙත අවශ්‍ය සහන ලබා දීමට ජාතික ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අදාළ සම්බන්ධීකරණය දිස්ත‍්‍රික් ලේකම්වරු මගින් සිදු කරන බවත් මුදා ගැනීම් කටයුතු සඳහා ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය කටයුතු කරන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේය.

ඒ කොයි හැටි වුවද දින කිහිපයක් තිස්සේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පිරිසක් සිය ජීවිතවලින් වන්දි ගෙවද්දි, තවත් පිරිසකට උන්හිටිතැන් අහිමි වූහ. ඇතැමුන්ගේ දේපල ජලරකුසාට බිලි වූහ. ඒ විතරක් නොව කොවිඞ් වසංගතය නිසා මාස ගණනාවක් තිස්සේ නිවෙස්වලට හිරවී සිටි රට්ටුන් සුපුරුදු පරිදි සිය දෛනික කටයුතු ආරම්භ කිරීමට සූදානම් වූවා පමණි. එහෙත් කාලගුණය ඒ සඳහා හරස් විය. ඇතැමුන්ගේ ආදායම් මාර්ග අහිමි වූහ. ජනතාවගේ ජනජීවිතවලට පමණක් නොව මෙරට කෘෂි, ධීවර හා සංචාරක කර්මාන්තයට අයහපත් කාලගුණික තත්ත්වය නිසා දැඩිබලපෑමක් එල්ලවිය. මහ කන්නයේ වී වගාකටයුතු මේ දිනවල සිදුකරමින් තිබෙන අතර වී වපුරා දින කිහිපයක් තුළ කුඹුරු යායන් ගංවතුරට යටවීම නිසා හානියට පත්විය. ගාල්ල දිස්ත‍්‍රික්කයේ කුඹුරු අක්කර 50ක් පමණ හානියට පත්ව තිබුණි. මෙවර මහකන්නයේ දී මන්නාරම් දිස්ත‍්‍රික්කයේ වගා කරනු ලැබූ කුඹුරු අක්කර 5700ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශවීමේ දැඩි අවදානමක් පවතින බව මන්නාරම් දිස්ත‍්‍රික් ලේකම්වරිය සඳහන් කරන්නීය. ඒ විතරක් නොව කාලගුණය මිනිසුන්ගේ පමණක් නොව සතුන්ගේ ජීවිත පවා උදුරාගනු ලැබීය. කුරුණෑගල ප‍්‍රදේශයේ කුකුළු කොටුවක් ජලයෙන් යටවීමෙන් එහි සිටි කුකුළු පැටව් 3000ක් පමණ මියගොස් තිබුණි. අනුරාධපුර තලාව ප‍්‍රදේශයේ එළගවයින් 100 දෙනෙකු පමණ ගංවතුර ගසාගෙන ගොස් තිබුණි.

ධාරානිපාත වර්ෂාව මෙරට සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ලකොට තිබුණි. දකුණු වෙරළ තීරයේ අසිරිය විඳ දරාගැනීම සඳහා මේ දිනවල සංචාරකයින් කුඩා කණ්ඩායම් වශයෙන් පැමිණෙති. රුසියානු සංචාරකයින් වැඩි වශයෙන් උණවටුන හා හික්කඩුව යන සංචාරක කලාපවල වැඩි වශයෙන් දැකිය හැකි විය. එහෙත් ධාරානිපාත වර්ෂාව නිසා විදේශීය සංචාරකයින්ට සිය හෝටල් කාමර තුළ කොටුවී සිටීමට සිදු වූහ. උණවටුන වෙරළ තීරයේ අසිරිය විඳගැනීම සඳහා පැමිණි විදේශීය සංචාරකයින්ට කාලගුණය දැඩි ලෙස හරස් වී තිබුණි. අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඔවුන්ට හිරුරශ්මියේ පහස විඳ ගැනීමට නොහැකි විය.

මහ වැස්සක් කළ හදියක්… මරණ 26ක්

ඒ විතරක් නොව මෙරට ධීවර ප‍්‍රජාවට කාලගුණයෙන් එල්ල කළ බලපෑම සුළුපටු නොවේ. මින් දැඩි ලෙස පීඩාවට ලක්වූයේ සුළුපන්න ධීවර කාර්මිකයින්ය. අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඔවුන්ට ධීවර රක්ෂාවට යෑමට නොහැකි වූහ.

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා කීවේ මෙවැනි කථාවකි.

අයහපත් කාලගුණික තත්ත්වය නිසා කරදිය ධීවර කර්මාන්තයේ නිරත ධීවර කාර්මිකයින් 260,000ක් පමණ පීඩාවට ලක්වෙලා ඉන්නවා. කොවිඞ් වසංගතය නිසා මාස 18 පමණ කාලයක් ධීවර කාර්මිකයින් විවිධ ගැටලූවලට ලක්ව සිටියා. වාරකන් කාලය අවසන් වී ධීවර කාර්මිකයින් නැවත ධීවර රක්ෂාවට යෑම ආරම්භ කළා විතරයි. නමුත් කාලගුණය ඔවුන්ගේ ධීවර රක්ෂාවට හරස්වෙලා තියෙනවා. දැන් භූමිතෙල් මිල වැඩි කරන්න හදනවා. මේ වනවිට ධීවර ආම්පන්නවල මිල වැඩිවෙලා ධීවර කාර්මිකයින්ට සහන ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා යැයි රත්න ගමගේ මහතා සඳහන් කළේය. ඒ විතරක් නොව අයහපත් කාලගුණික තත්ත්වය බදුල්ල, නුවරඑළිය යන ප‍්‍රදේශවල එළවළු ගොවීන්ට ද දැඩි බලපෑමක් එල්ලවී ඇත. මේ වනවිට එළවළු මිල අහස උසට නැග තිබේ. මාළු ද ගිනි ගණන්ය. මේ නිසා පාරිභෝගික ජනතාව ද දැඩි පීඩාවට ලක්ව සිටිති.

එමෙන්ම අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධිවීම නිසා විදුලි පාරිභෝගිකයින් ද ගැටලූ රැසකට ලක්ව සිටිති. විදුලිය බිඳ වැටීම නිසා විදුලි පාරිභෝගිකයින් 150,000ක් පමණ පීඩාවට ලක්ව ඇති බැව් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසයි. මේ වනවිට විදුලි රැහැන් මාර්ග අලූත්වැඩියා කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවද ඒ මහතා පවසයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment