මහ වැසි කඳුකරය දෙබෑ කර – මාර්ග රැසක් වැසේ – උඩරට දුම්රිය නවතී – ඉහළ තොත්මලේ වාන් ඇරේ

37

ශ්‍රීපාද නල්ලතන්නිය පාරටත් බාධා

දියඇලි සක්‍රීය වේ

විපතට පත්වූවන්ට සහන දෙනවා – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ


අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ, අඹගමුව සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනට අයත් පවුල් 254 කට අයත් සමාජිකයන් 648 දෙනකු අවතැන් වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියේ අවතැන් වූ පිරිස තාවකාලිකව ඉදි කරන ලද අවතැන් කඳවුරු වල සිටින බවයි. අවතැන්වූවන්ට අවශ්‍ය පිසූ ආහාර සහ වියළි සලාක ලබාදීමටත්, අධික වර්ෂාව හේතුවෙන් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදු කිරීමට මුදල් ප්‍රතිපාදන ලබාදෙන බවත් නාය යෑමෙන් විනාශයට පත් නිවාස අලුතින් ඉඳි කිරීමට ඉඩම් සහ මුදල් ලබාදීමට පියවර ගන්නා බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර මස්කෙළිය සහ නොර්ටන්බි්‍රජ් ප්‍රධාන මාර්ගයේ, හපුගස්තැන්න පහේ කණුව ප්‍රදේශයේ සිදුවූ නාය යෑමකින් එම මාර්ගයේ වාහන ධාවනයට නොහැකි අයුරින් සම්පූර්ණයෙන් ගිලා බැස ඇති බව නෝටන්බි්‍රජ් මාර්ගයේ ධාවනය කරන රථ වාහන විකල්ප මාර්ග හරහා ධාවනය කිරීමට පියවර ගන්නා ලෙසත් පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

ගිනිගත්හේන ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුළුව ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවැසීය. කඩාවැටුණු පස් කන්ද ඉවත් කිරීම ඉතා සෙමින් සිදුකරන අතර විකල්ප මාර්ග කිසිවක් නොමැති බවත්, ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන තෙක් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය නොකරන ලෙසත් ගිනිගත්හේන පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

මස්කෙළිය ශ්‍රී පාද, නල්ලතන්නිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු තාවකාලිකව ඇණ හිට තිබේ. ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද සහ ෆයිනස් ගස් ඉවත් කිරීමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරීන් සහ මවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ භට පිරිස් විසින් පියවර ගෙන ඇත. උඩරට දුම්රිය මාර්ගය නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 15 ක පමණ පස් කඳු සහ විශාල ගල් පෙරලීම හේතුවෙන් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගත වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිලධාරියකු පැවැසීය. ඉඟුරුඔය, ගලබොඩ, වටවල, හැටන්, තලවකැලේ, ග්‍රේට් වෙස්ටර්න් සහ නානුඔය යන දුම්රිය ස්ථාන අතර මෙසේ පස් කඳු සහ විශාල ගල් දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති බව එම නිලධාරියා සඳහන් කළේය. මේ අතර බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියක් හැටන් දුම්රිය ස්ථානයේ ගාල් කර ඇත. තවදුරටත් අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජලාශ වේල්ලේ සෙසු වාන් දොරටු ස්වංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවරු ඉල්ලා සිටිති. මේ අතර පවතින අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 05 කට ආසන්න වී ඇති බවත්, කාසල්රි ජලාශයද පිටාර මට්ටමට අඩි 06කට ආසන්න වී ඇති බවත් ජලාශ භාර ඉංජිනේරුවරු කියා සිටිති. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන්ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇළි වල ජල ධාරිතාව ඉහළ ගොස් ඇත. පවතින අධික වර්ෂාව හේතුවෙන් වටවල, හයිඩි්‍ර වතුයායේ වතු නිවාස 22 ක පුද්ලයන් 80 කු පමණද ගංවතුර ගැලීමෙන් අවතැන්ව ඇතැයි වතු නිලධාරීහු පවසති.

මහවැලි ගඟේ අතු ගංඟාවක් වන හයිඩි්‍ර ඔය පිටාර ගැලීමෙන් මෙම ගංවතුර තත්ත්වය මතුව ඇති අතර, මේ හේතුවෙන් වතු කම්කරු නිවාසවල පැවැති ගෘහ භාණ්ඩ ඇතුළු අනෙකුත් වටිනා ද්‍රව්‍ය රැසක් විනාශයට පත්ව ගොස් තිබිණි. අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් අවතැන්වුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැළැසීමට පියවර ගෙන තිබිණි.

නුවරඑළිය – නාලක රත්නායක සහ මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

මහ වැසි කඳුකරය දෙබෑ කර - මාර්ග රැසක් වැසේ - උඩරට දුම්රිය නවතී - ඉහළ තොත්මලේ වාන් ඇරේ


 

advertistmentadvertistment
advertistmentadvertistment