මළමිණී තදබදය නිසා ආදාහනාගාරවල කෙරෙන හැටි මෙන්න

1139

සුසාන භූමියක් ආදාහනාගාරයක් යනු මිහිපිට ජීවත්ව සිටින කිසිවෙක් නිකරුණේ ගොස් සොයා බලා තොරතුරු දැනගැනීමට කැමති තැනක් නොවේ. පිළිකුල් භාවනාව ස`දහා මළ මිනිසකුගේ දේහයක් දෙස බලා සිටි අතීතය යළි සිහිපත් කරමින් දැන් දැන් රෝහල්වල මෘත ශරීරාගාර (මෝචරි) මෘත දේහයන්ගෙන් පිරී ගොස් තිබේ. සෑම සුසාන භූමියක්ම ආදාහනාගාරයක්ම අවසන් කටයුතු සිදු කොට හමාර කරගත නොහැකිව පිරෙමින් තිබේ.

ඒ සියල්ල මධ්‍යයේ ආදාහනාගාර සහ සුසානභූමි භාරකරුවන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින්නේ දිව ? දෙකෙහිම වෙහෙසෙමින් කිසිවකු හෝ අපහසුතාවයකට පත්නොකොට මෘත ශරීර ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීමට කටයුතු කළ යුතු නිසාය. නමුත් ඒ ස`දහා මේ වන විට හැකියාවක් නැති තැනට වැඩ යෙදී ඇත්තේ දෛනික මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා නිසාය. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ, මෙම තත්ත්වය පාලනය නොවුන හොත් ඉදිරියේ දී අලූතින් ආදාහනාගාර සෑදීමට සිදුවන බවය.

කොළඹ ජාතික රෝහල මහනුවර ජාතික රෝහල ගාල්ල කරාපිටිය කළුබෝවිල කළුතර අනුරාධපුර පොළොන්නරුව මඩකලපුව පුත්තලම බදුල්ල වැලිසර කාත්තන්කුඩි ඇතුළු සෑම රෝහලකම මේ වන විට උග‍්‍රතම ගැටලූව වී ඇත්තේ මෝචරියේ ඉඩකඩ මදි වීමය. කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ අධි ශීතාගාර කාමර හැට හයම මේ වන විට පිරී තිබේ. මහනුවර අධිශීතාගාර කාමර තිස්හතරම පිරී ඇත. සෙසු රෝහල් සතු මෘත ශරීරාගාර අධිශීතාගාර කාමරද එපරිදිම පිරී තිබේ. ඒ හැරි විට මෘතශරීරාගාර සියල්ලෙහිම මෘත ශරීර හෙවත් මළ සිරුරු පොලිතින් වල ඔතා පසෙක තබා තිබේ. කොළඹ ජාතික රෝහලේ මෝචරියේ මළ සිරුරු පසෙක තැබිය හැකි ඉඩකඩ සීමා සහිත බැවින් සහ එය පාලනය කර ගත නොහැකි බැවින්ම මේ වන විට හිස් කන්ටේනරයක් හෙවත් හිස්බහාලූමක තැන්පත් කොට තැබීමට කටයුතු යොදා තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඉකුත් දා ප‍්‍රකාශ කර සිටියේ, ආදාහන තදබදය නිසා රෝහල්වල මළ සිරුරු ගොඩගැසී තිබෙන බවය. මෘතශරීරාගාරවල මළසිරුරු ගොඩ ගැසී තිබෙන්නේ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් නිරෝධායනය වන අවස්ථාවලදී පැමිණ මළසිරුර හ`දුනාගැනීමට ඇති ප‍්‍රමාදය නිසා යැයි අධිකරණ වෛද්‍ය නිලධාරීවරු කියා සිටිති. කොවිඞ් ආසාදිත මළසිරුරු සහ සෙසු සාමාන්‍ය මළසිරුරු යන කාණ්ඩ දෙකෙහිම මළ සිරුරු මේ වන විට දිවයින පුරා රෝහල්වල ගොඩගැසෙමින් ඇත. මේ තත්ත්වය තුළ සාමාන්‍ය මරණයන් සඳහාත් ආදාහනාගාරවල ඉඩ ලබා දිය යුතු බැවින් ගම්පහ සහ රාගම රෝහල්හි ද මෘත ශරීරාගාරවල බරපතළ තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. මේ වන විට කොළඹ කළුබෝවිල රත්නපුර කෑගල්ල මහනුවර මාතලේ ගම්පහ රාගම රෝහල්වල කොවිඞ් ආසාදිත මෘතදේහ ගොඩගැසසෙමින් ඇති බවත් සමහර කොවිඞ් ආසාදිත දේහ මරණය වී දින හතක් පමණ වන බවත් රෝහල් ආරංචි මාර්ග ප‍්‍රකාශ කොට තිබේ.

ඒ සදහා නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති වීම මත මෙලෙසෙ මළ සිරුරු ගොඩගැසෙමින් ඇති බව සමාජ මතයය. ආදාහනාගාරයකදී මෘත ශරීරයක් ආදාහනය කළ යුතු නිෂ්චිත ක‍්‍රමවේදයක් තිබේ. සාමාන්‍යයෙන් ආදාහනාගාරයක කටයුතු ආරම්භ වන්නේ උදෑසන 9.30 ටය. මෘත දේහයක් ගෑස් භාවිතයෙන් ආදාහනය කිරීම ඇරඹි විට 11.30 වන තුරු එම මෘතදේහය දවා අළු කිරීම සිරිතය. අනතුරුව නැවත 12.30 වන තුරු ආදාහනය සදහා භාවිත කරන උපකරණය සිසිල් වන තුරු විවෘතව තැබිය යුතුය. නැවත දොළහයි තිහට, තුනයි තිහට, හයයි තිහට සහ රාත‍්‍රි අටයි තිහට (කොවිඞ් හේතුවෙන් අතිරේක ආදාහනයක්) මළ සිරුරු ආදාහනය කරනු ලබයි. දිවයින පුරා ඇති ආදාහනාගාර දෙසීය තිස්නවයෙන් මේ වන විට ක‍්‍රියාකාරී ආදාහනාගාරවල දෛනික ක‍්‍රමවේදය එයය. එසේ නම් එක් ආදාහනාගාරයකදී දිනකට දවා අළු කරන්නේ මෘතදේහ පහක් පමණි. දිවයින පුරා දිනකට මෘත දේහ එක්දහස් එකසිය අනූපහක් දවා අළු කිරීමට හැකියාව ඇතත්, මේ වන විට ගොඩගැසී තිබෙන මෘත දේහ හේතුවෙන් සියල්ල අද වනවිට කණපිට පෙරළී තිබේ.

නර්ඞ් ආයතනය විසින් ආදාහනාගාර සදහා ලබා දී ඇති උපදෙස් පත‍්‍රිකාවන්හි ඒ වග පැහැදිලිව සදහන් කර ඇත්තේ දිනකට ආදාහනය කළයුතු අන්දම පැහැදිලි කර ඇති අන්දම නොසලකා හැර ආදාහන කටයුතු සිදු නොකරන ලෙසය. යම් හෙයකින් එම ක‍්‍රමවේදය නොසලකා කාලය අවම කොට උදුන වැඩි වශයෙන් භාවිත කළවිට එහි ක‍්‍රියාකාරීත්වය ඉතා කෙටි කලකින් නතරව යයි. එවිට ආදාහනාගාර උපකරණ නැවත අලූත්වැඩියා කිරීමට සිදුවේ. එසේ වුවහොත් උපරිම දින පහක් ආදාහනාගාර කටයුතු නතර කර දැමීමට සිදුවනු ඇත. මෙවන් වසංගතයක් හමුවේ ආදාහනාගාරයක් වසා තැබීමෙන් ප‍්‍රශ්න රැසක් මතුවන්නේය. එවන් ප‍්‍රශ්නයක් මේ වන විට ප‍්‍රායෝගිකව ඇතිව තිබෙන තැන් සබරගමුව උතුරුමැද ඌව සහ නැගෙනහිර පළාත්වල තිබේ. ඉන් රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා පවසා ඇති පරිදි මේ වන විට රත්නපුර මල්වල පාරේ පිහිටි ආදාහනාගාර දෙකක් තාවකාලිකව වසා දමා අලූත්වැඩියා කටයුතු සිදු කරමින් තිබේ. එම ආදාහනාගාර වෙත එවන ලදුව තිබූ මෘත දේහයන් කුරුවිට සහ පැල්මඩුල්ලට යොමු කිරීමට තාවකාලිකව සිදුව ඇත. එහෙයින් රත්නපුර රෝහල දැඩි අර්බුදයකට පත්ව තිබේ. කොළඹ මහ නගර සභාවට අයත් බොරැල්ල මාදම්පිටිය ජාවත්ත කිරුළපන ඇති ආදාහනාගාර දහතුනෙන් මේ වන විට එක් ආදාහනාගාරයක් අබලන්ව ඇත. එය අලූත්වැඩියා කළයුතුව ඇති මුත් මේ වන තුරුත් අලූත්වැඩියා කිරීමට පියවර ගෙන නොතිබුණි. දෙහිවල ගල්කිස්ස මහනගර සභාව යටතේ වන කළුබෝවිල නැදිමාල සහ කොටිකාවත්ත පිහිටා ඇති ආදාහනාගාර මේ වන විට පැය දහයක සේවා කාලයක් සපයමින් සිටී. ගම්පහ දිස්ත‍්‍රික්කයේද පළාත් පාලන ආයතන දහතුනක ක‍්‍රියාත්මක කෙරෙන ආදාහනාගාර සක‍්‍රීය තත්ත්වයේ ඇති මුත් දිනපතා අධික පීඩනයක් සහිතව සේවා සැපයීම මත ඉදිරියේදී අලූත්වැඩියා සදහා යොමු කිරීමට සිදුවනු ඇත.

මහනුවර මහ නගර සභාව යටතේ මහයියාව ආදාහනාගාර දෙකක් නිරතුරුව ක‍්‍රියාත්මක වේ. ඊට අමතරව මහනුවර දිස්ත‍්‍රික්කයේ ද පළාත් පාලන ආයතන යටතේ ක‍්‍රියාත්මක ආදාහනාගාර දහයක් තිබේ. මේ සියල්ල දිනපතා උදේ නවයේ සිට රාත‍්‍රි නවය තෙක් ක‍්‍රියාත්මකය.

ලංකාවේ විශාලතම සුසාන භූමිය වන්නේ බොරැල්ල සුසාන භූමියය. අක්කර පනස් නවයකින් යුත් එම සුසාන භූමියේ අද වන විටද භූමදානය සදහා අඩු නැතිව මෘත ශරීර යොමු කරනු දක්නා ලැබේ. දෙවැන්න මහනුවර මහයියාවේය. අක්කර පනස් හයක් පුරා විහිදී ඇති මහයියාව සුසාන භූමියේ ද අද වන විට දිනකට අවම මෘතශරීර පහක්වත් භූමදානය කෙරෙයි. එලෙස අදවන විට භූමදානය කරනු ලබන්නේ කොවිඞ් නොවන මරණ පමණි. කොවිඞ් ආසාදිත මරණ භූමදානය සදහා යොමුකරන්නේ නම් ඒ ඔට්ටමාවඩි වෙත පමණි. ඔට්ටමාවඩි සුසාන භූමියේ මේ වන විට කොවිඞ් ආසාදිත මළසිරුරු එක්දහස් හාරසිය එකොළහක් භූමදානය කර තිබේ.

දෛනික මරණ සංඛ්‍යාව වැඩිවන අන්දම අපි අත්වි`දිමින් සිටිමු. කොවිඞ් වසංගතය ඇරඹි සමයේ කොවිඞ් මරණයක් ගැන ලංකාවාසි අපට අසන්නට ලැබුණේම නැත. දැන් තත්ත්වය බරපතළ බව මරණ සංඛ්‍යාව වැඩිවීමෙන් දක්නා ලැබෙන්නේය. පළාත් පාලන ආයතන යටතේ රට පුරා ආදාහනාගාර 239ක් තිබේ. ඉන් ආදාහනාගාර 106ක් ඇත්තේ බස්නාහිර පළාත් තුළය. ලෝක සෞඛ්‍ය නිර්ණායකයන්ට අනුව කොවිඞ් ආසාදිත වූවන්ගෙන් සියයට 1.2ත් 1.5 ත් අතර පිරිසක් මරණයට පත්වෙති. එහෙයින්ම පළාත් පාලන ආයතන යටතේ ඇති සියලූම මෘත ශරීරාගාර කඩිනමින් සූදානම් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සියලූ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ට දැනුම් දී තිබේ. කොවිඞ් දේහ ආදාහනය සඳහා මෙම ආදාහනාගාර උපරිම කාර්යක්ෂමතාවයෙන් ක‍්‍රියාත්මක කිරීම සඳහා ඇති අඩුපාඩු සහ ගැටලූ හැකි ඉක්මනින් හඳුනාගෙන දන්වන ලෙස ද ඇමැතිවරයා උපදෙස් දී ඇත. දැනට මෙම ආදාහනාගාර පිළිබඳව ඇති ගැටලූ ලෙස ක‍්‍රියා විරහිතව තිබීම, ගෑස් දාහකයේ ඇති ගැටලූ, සේවකයන්ට ආරක්ෂිත ඇඳුම් නොතිබීම වැනි ගැටලූ ඉදිරිපත් වී තිබේ. සේවක ආරක්ෂිත ඇඳුම් වැනි ගැටලූ හැකි ඉක්මනින් සෞඛ්‍ය අමාත්‍යවරිය සමග සාකච්ඡා කර විසඳා ගැනීමටත් අලූත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන් කිරීමටත් සැලසුම් වී ඇත.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ රෝහල් තුළ කොවිඞ් මෘතදේහ ගොඩ ගැසෙන බැවින් ඒවා ආදාහනය සඳහා දැනට ක‍්‍රියාත්මක නොවන ආදාහනාගාර කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා, පළාත් පාලන ආයතන කොමසාරිස්වරයාට උපදෙස් දී තිබේ. දැනට පළාත් පාලන ආයතන සතු සියලූ ආදාහනාගාර මෙම කොවිඞ් මළසිරුරු ආදාහන කටයුතුවලට ලබා දෙන ලෙස ද ප‍්‍රසන්න අමාත්‍යවරයා උපදෙස් දී ඇත. ගම්පහ රෝහල් තුළ මළසිරුරු ගොඩගැසෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප‍්‍රචාරණය සම්බන්ධයෙන්ද අවධානය යොමුකළ අමාත්‍යවරයා එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා මෙම උපදෙස් දී තිබේ.

ගම්පහ කසගහවත්ත සහ වැලිසර ආදාහනාගාර දෙකෙහි කොවිඞ් ආසාදිත පුද්ගල දේහයන් දවස පුරා ආදාහනය කළ ද මෘතශරීරාගාර තුළ දේහ ගොඩගැසෙමින් ඇති බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා මාධ්‍ය වෙත කියා තිබිණි. ගම්පහ රෝහලින් පිටවන කොවිඞ් ආසාදිත දේහ අටක් පමණ දිනකට ගම්පහ කසගහවත්ත ආදාහානගාරයේ ආදාහනය කරන බවත් රාගම රෝහලින් පිට කරන කොවිඞ් ආසාදිත දේහ පහක් පමණ වැලිසර ආදාහනාගාරයේ ආදාහනය කරන බවත් පැවසේ.

මේ තදබදය නවත්වා ගැනීම සඳහා අනෙක් අදාහානාගරවල කොවිඞ් සිරුරු ආදාහන කටයුතු සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් බලධාරීන් ඒ සඳහා අනුමැතියක් ලබා දීමට කටයුතු කර නැත.

ඊයේ වන විට කොවිඞ් මරණ නිල වශයෙන් එකසිය පනහකි. ලෝකය මළ ගෙයක් කළ කොවිඞ් ඩෙල්ටා ප‍්‍රභේදය රට පුරා සීඝ‍්‍රයෙන් පැතිර යමින් ඇත.

මේ වනවිට බිම් මට්ටමේ සෞඛ්‍ය අංශ මුළුමනින්ම බිඳවැටී අවසන්ය. රටපුරා රෝහල් අතරමැදි මධ්‍යස්ථාන, දැඩිසත්කාර ඒකක පිරී ගොසිනි. ඔක්සිජන් මත යැපෙන රෝගීන් ඊයේ (14) සවස් වනවිට හයසිය විසිපහකට ආසන්නය. බරපතළ නොවන රෝගීන් නිවෙස්වලය. කොවිඞ් ආසාදිත නොදරුවන්ද ඉකුත් ඒකොළොස් වැනිදා සිට නිවෙස්වල ප‍්‍රතිකාරවලට යොමු කර ඇත.

මරණ එක්ලක්ෂ විසි දහසේ අපේක්ෂාව

ආණ්ඩුවේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන් නිකුත් කළ නිවේදනයකින් දක්වා තිබුණේ රටේ සෑම පුරවැසියකුටම කොවිඞ් වැළඳිය හැකි බවය. එනම් රටටම කොව්ඞ් වැළඳෙනු ඇතැයි යන පුරෝකථනයක් ආණ්ඩුවට ඇත. එවන් තක්සේරුවක සිට රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අපට සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන්නට උපදෙස් දෙමින් සිටී. එහෙත් එය කළමනාකරණය කරගත හැකි වැදගත්ම ප‍්‍රායෝගික මැදිහත්වීමට රජය එළඹෙන්නේ නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව කොවිඞ් ආසාදිත වූවන්ගෙන් සියයට 1.2 – 1.5ත් අතර පිරිසක් මරණයට පත් වෙති. රටේ ජනගහණය ලක්ෂ දෙසීයකි. රටටම නොව, එයින් අඩකට කොවිඞ් වැළඳුනොත් කොවිඞ් ආසාදිතයන් ගණන ලක්ෂ සීයකි. ඉන් පසු එන නියතය නම් ඉන් අඩුම තරමින් සියයට 1.2ක් මරණයට පත්වීමය. එනම් ඉදිරි වකවානුව තුළ මේ ආණ්ඩුව කොවිඞ් මරණ එක්ලක්ෂ විසි දහසක් අපේක්ෂා කරන බව පෙනෙන්නට තිබේ. එවන් තත්ත්වයක් හමුවේ රටපුරා සුසාන භූමි සහ ආදාහනාගාරවල ඉඩ කඩ සීමා සහිත වන බැවින් උපුල් රෝහණ මහතා කී පරිදි අලූතින් ආදාහනාගාර ඉදිකරන්නට සිදු වන්නේය. නැති නම් මළ සිරුරු ගොඩ ගැසී ලංකාව ඉන්දියාවට නොදෙවෙනි තැනකට තල්ලූ වී යන්නේය.

මරණ සිදුවීම පිළිබ`දව රුදුරු ලෙස අත්විඳින්නේ බිම් මට්ටමේ සිටින දිවයින පුරා විසිරී ඇති සෞඛ්‍ය නිලධාරීන්ය. මේ වනවිට චක‍්‍රලේඛ ප‍්‍රකාරව කොවිඞ් නිරෝධායනය කළ නිවෙසක සිදුවන මරණයක් හැර නිවෙස්වල සිදුවන කිසිම මරණයකට පී.සී.ආර්. පරීක්ෂණ සිදුවන්නේ නැත. නිවෙස්වල සෑම කලකම මිනිස්සු මියගියහ. එහෙත් මේ වෛරසය පැතිරී යන රටාව අනුව දැන් මියයන පිරිස් සම්බන්ධයෙන් සුසාන භූමි භාර නිලධාරීහු අමුතු කතාවක් කීහ.

”ඉස්සරත් සාමාන්‍යයෙන් මිනිස්සු මැරෙනවා. ආදාහනය සහ භූමදානය කරන දේහයන් වර්ග කරන්න පටන් ගත්තේ කොවිඞ්වලින් පස්සේ. අනික ඉස්සර වැඩිපුරම අරගෙන එන්නේ වයසක උදවිය. ඒක සාමාන්‍ය මරණයක් බවට පත්වෙලා තිබුණේ. දැන් ළදරුවන්ගේ සිට අවුරුදු දහයට අඩු විස්සට අඩු තිහට අඩු හතළිහට අඩු සහ පනහට වැඩි කියන සෑම වයසකම මරණ දැන් ගේනවා. වෙලාවකට වයස අවුරුදු තිහත් හතළිහත් අතර වන මරණ ගණන වැඩියි. මේ සියල්ලටම හේතුව කොවිඞ් වසංගතය තමයි. නමුත් දැන් දැන් මේ තත්ත්වය බරපතළ ලෙස වැඩිවෙලා කියලා දැනෙනවා.”

මේ වනවිට මේ රටේ බලධාරීන් කොවිඞ් මරණ ලෙස ගණනය වන්නේ කොවිඞ් නිවුමෝනියාවෙන් සිදුවන මරණ පමණි. දීර්ඝකාලීන බෝ නොවන රෝගවලින් මියයන කොවිඞ් රෝගීන්, හෘදයාබාධවලින් මියයන කොවිඞ් ආසාදිත රෝගීන් කොවිඞ් මරණවලට ඇතුළත් නොවේ. වෛද්‍ය පරීක්ෂණ ප‍්‍රකාරව බෝනොවන රෝග සහිත රෝගීන්ට මෙම වෛරසය ක‍්‍රියාකරන ආකාරය ගැන සම්බන්ධව තවම නිශ්චිත විද්‍යාත්මක තහවුරු කිරීම් ද නැත.

දියවැඩියා රෝගයෙන් හෝ වෙනත් නිධන්ගත රෝගයකින් පීඩා විඳිමින් රෝහල්ගත වූ රෝගියකුට වෛරසය ආසාදනය වී සිටිය දී මරණයට පත් වුවහොත් ඒ මරණය කොවිඞ් මරණයක් ලෙස අපේ සෞඛ්‍ය බලධාරීන් ගණනය කරන්නේ නැත. හෘදයාබාධයක් සහිත රෝගියකුට කොවිඞ් වැළඳී තිබියදී මරණයට පත් වුවහොත් එය කොවිඞ් මරණයක් ලෙස සලකන්නේ නැත. දැනට අපට මේ රටේ පුරවැසියන් ලෙස කළ හැකි එකම දෙයක් තිබේ. එනම් ආණ්ඩුව අපේක්ෂා කරන මරණ එක්ලක්ෂ විසි දහසේ ඉලක්කමක් නොවී සිටීමට තරම් ජීවිත විනයක් ඇති කරගැනීමය. ඊට ප‍්‍රධානතම හේතුව මියගිය පසුව ඉටිකවරයක රැුෙ`දමින් ඕජස් ගලන තැනටවත් පත් නොවන්නට වගබලා ගැනීමය. මේ වනවිට රෝහල් මට්ටමෙන් සහ ආදාහනාගාර මට්ටමෙන් මළසිරුරු පෝලිමක් නිර්මාණය වී තිබේ. ඒ පෝලිම ඉදිරියේදී තවදුරටත් දිගුවනු නියතය. එසේ වුවහොත් ආදාහනය වීමට සති මාස ගණන් බලා සිටීමටද සිදුවනු ඇත. ආදාහනාගාර අක‍්‍රීය වුවහොත් ඉටිකවරය තුළ කුණුවී යෑමටද සිදුවනු ඇත. එහෙයින් එකිනෙකා තම තමන් ගැන සෞඛ්‍යාරක්ෂාව ගැන වැඩිපුර සිතිය යුතුය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment