මළවුන්ගේ අවුරුදුදා

592

අද පොහෝ දවසයි. එහෙත් අප ලියන්නේ මීට පස් අවුරුද්දකට පෙර පාස්කු දිනයේදී රටේ තැන් කිහිපයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරය ගැනයි. පාස්කු ප්‍රහාරය කිතුනුවන් එල්ලකරගෙන ක්‍රියාත්මක වූ ඉස්ලාමීය අන්තවාදීන්ගේ මෙහෙයුමක් බව මුලදී අපට දැන ගන්නට ලැබිණ. ඉන්පසු මේ ආරංචිය පසුපස තවත් කතන්දර ඇදී එන්නට පටන් ගත්තේය. එම ප්‍රහාරයට තමන් වගකිවයුතු බව ISIS සංවිධානය මුලදීම පිළිගත්තේය. ඔවුන් එසේ කළේ නම් ඒ වෙනුවෙන් ඔවුන් විසින් යොදවන ලද ඉත්තා මොහොමඩ් සහරාන්ය. සහරාන් යනු ආගමික අන්තවාදියකුට අමතරව අංක එකේ පිස්සෙකි. ඔහු සිය දරුවන්ට තර්ජනය කලේ කන් කපා දමන බව කියමිනි. සමහරවිට ඔහු සිය දරුවන්ගේ කණින් අල්ලා කණ ළඟටම පිහියක් ගෙනාවේය. මේකා ස්වල්ප පිස්සකු නොවන බව එපමණකින් තේරෙයි. මෙබඳු පිස්සන් ඕනෑම කුණු වැඩක් සඳහා යොදාගත හැකිය. පසුකාලයේදී මතුවූ සැකය වන්නේ පාස්කු ප්‍රහාරය සඳහා සහරාන් යොදවා ගන්නා ලද්දේ කවර පාර්ශවයක් විසින්ද යන්නය. සමහරවිට ඇත්තටම ISIS සංවිධානය සහරාන් ලවා මෙය කරවන්නට ඇති. එහෙමත් නැත්නම් තුන්වන පාර්ශවයක් මෙය කරවන්නට ඇති. සහරාන්ගේ බෝම්බ පෙළ පිපිරූ සැණින් පැතිර ගිය මතය වූයේ මේ රටේ ජාතික ආරක්ෂාව නැවත වතාවක් නන්නත්තාර වී ඇති බවය. පාස්කු බෝම්බය සම්බන්ධයෙන් කොමිසමක්ද පත්කරන ලදී. ඒ කොමිසමේ වාර්තාව අදටත් ප්‍රවේශම් සහගතව තබා තිබේ. කොමිසන් සභා වාර්තා වලින් මළවුන්ට සාධාරණයක් කළ හැකිද? මියගිය පවුල්වල ඔත්පල වූ සාමාජිකයන්ට සාධාරණයක් සිදු කළ හැකිද? බෝම්බය පිපිරීම නිසා සදාකාලිකව ඔත්පල වූ සෑහෙන පිරිසක් අදත් ඇඳන් මත කල්ගෙවති. මේ මිනිසුන් ගමන් කරන්නේ රෝද පුටුවෙනි. සහරාන්ගේ බෝම්බය නිකන්ම නිකන් අන්තවාදී බෝම්බයක් බව කතෝලික පල්ලියේ මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ එදත් විශ්වාස නොකළහ. උන්වහන්සේ එය අදත් විශ්වාස නොකරති. මේ නිසා පාස්කු බෝම්බයේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින දිව්‍යමය නීතිඥයා බවට කාදිනල්තුමා පත්ව සිටිති. අපේ කතාවේ හොඳ හරිය එන්නේ මෙතැන් සිටය.

ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ දුරකතනයෙන් තමා ඇමතූ බවත් පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළහොත් හිතවත් සංවිධාන සහ නායකයන් විරසක විය හැකි බවත් එබැවින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන්ට නොහැකි බව පැවසූ බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පෙරේදා (21දා) කොච්චිකඩේ පල්ලියේ පැවති දේව මෙහෙයකදී පැවසූහ. පාස්කු බෝම්බයෙන් පසු යහපාලන ආණ්ඩුව ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට බලගතු කමිටු තුනක් පත්කළහ. එම කමිටුවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම පැවරෙන්නේ 2019 නොවැම්බර් 16 දා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ජයගත් ගෝඨාභය රාජපක්ෂටය. ජනාධිපති වූ පසු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බැරි බව ජනාධිපතිතුමා විසින් අගරදගුරුතුමාට දන්වන ලද්දේ නම් එහි විශාල අවුලක් තිබේ. පළමුකොට එතැන දේශපාලන අවුලක් ඇත. දෙවනුව එතන චර්යාත්මක අවුලක් ඇත. තමාට හිතවත් සංවිධාන සහ තමාට හිතවත් නායකයින් තරහකරගෙන, පාස්කු බෝම්බයෙන් විනාශ වූ මනුස්ස ජීවිතවල ආත්ම වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමට බැරි බව ගෝඨාභය රාජපක්ෂ පැවසී නම් සහ කාදිනල්තුමා අවුරුදු පහකට පසු ප්‍රසිද්ධියේ ඒ බව ප්‍රකාශ කලේ නම් ඒ ගැන පරීක්ෂණයක් කළ යුතුමය. ආගමික වියරුව තරම් භයානක වියරුවක් ලෝකයේ වෙනත් කිසිම තැනක නැත. ආගමික අන්තවාදය යනු ආයුධයකි. මේ ආයුධය දේශපාලනඥයන් විසින් පරිහරණය කරන බවට පොදු ජනතාව තුළ සැකයක් ඇති වුණොත් එය ඉතා නරක තත්ත්වයකි. ලෝකයේ රටවල් ගණනාවක්ම ආගමික අන්තවාදය දේශපාලන අරමුණු උදෙසා පාවිච්චි කරති. බොහෝවිට ආගමික අන්තවාදය කඩුවේ තලය නම් එහි කොපුව හැටියට වැඩකරන්නේ ජාතිවාදයයි. ජාතිවාදය තැවරුණු ආගමික අන්තවාදය නිසා අපේ රට පසුගිය අවුරුදු 40 තුළ විවිධ ලේ වැගිරීම්වලට මුහුණදී තිබේ. මේ තත්ත්වය දුරලීම සඳහා කරන සටනේ පළමු පියවර වශයෙන් සහරාන්ලා සහ ඔවුන් පසුපස සිටි බලවේග මොනවාද යන්න හෙළිදරව් කළ යුතුය. ඒ නිසා කාදිනල්තුමත් කොච්චිකඩේ පල්ලියේදී හෙළි කළ කාරණය ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම ස්ථිර වශයෙන්ම කළ යුතුය. මේ මගින් මළවුන් සතුටු කළ නොහැකි වුවද අඩු ගණනේ තාවකාලික සැනසුම් සුසුමක්වත් හෙළීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment