මළවුන් සංකල්පයේ අද්‍යතන ස්වරූපය

235

ලක්දිව පැරැන්නෝ විවිධ පාරම්පරික විශ්වාස හා ඇදහිලිවලට නැඹුරුව සිටි මානව කොට්ඨාසයකි. ඔවුහු ඒ සම්බන්ධ නානාවිධ පුද පූජා පිළිවෙත් රාශියක් අනුගමනය කළහ. ඒ අනුව විශ්වාස හා ඇදහිලි යන්න මානව පරිණාමයේ මුල් අවධියත් සමග ජනිත වූවක් බව පෙනී යයි. ප‍්‍රාග් ඓතිහාසික මානවයා තුළ පැවති ආකල්පයන් හි ප‍්‍රතිඵලයක් ලෙස ඇති වූ ඇදහිලි හා විශ්වාසයන්ගේ විකාශයක් ලෙස මළවුන් වන්දනාව නැමැති සංකල්පය පෙන්වා දිය හැක. තවදුරටත් එය ප‍්‍රාග් බෞද්ධ යුගයෙහි සංවර්ධනය වෙමින් මහින්දාගමනයෙන් අනතුරුව මූලික වශයෙන් බුදු සමයෙන් ලත් සාරධර්ම පද්ධතියක් සමග මුසු වී මෙම මළවුන් වන්දනාව කිසියම් සමාජ ප‍්‍රගමනයක් කරා අද වන විට පත්ව ඇති බව පෙනී යන කරුණකි.

ගස්, ගල්, ඉර, සඳ වැනි ස්වාභාවික වස්තූන් වන්දනයට ලක් කරමින් නොදියුණු සමාජ පසුබිමක ඇති වූ මෙම වන්දනය විසි වැනි සියවස උදාවත් සමග විවිධ හේතූන් නිසා ශීඝ‍්‍ර පරිවර්තනයකට භජනය විය. එහිදී පාරම්පරික ඇදහිලි විශ්වාස හා පුද පිළිවෙත් යම් ප‍්‍රමාණයකින් භාවිතයෙන් ගිලිහීමත්, පොදු සමාජ වතාවත් වෙනුවට පෞද්ගලික මට්ටමේ අභිචාර විධි ජනප‍්‍රිය වීමත් දැකගත හැකිය.

බොහෝවිට මළවුන් පිළිබද සංකල්පයේ දී පේ‍්‍රත, කුම්භාණ්ඩ, හොල්මන් යනාදී විශ්වාසයන් හි එල්බ සිටි ආදී මානවයා විවිධ හීන වූ පේ‍්‍රත කෘත්‍යයන් ඉටු කරන්නට අතීතයේ යොමු වී සිටියේ ය. ඒ අනුව පැනනැගුණු විවිධ අභිචාර විධීන් හා ඒ අනුසාරයෙන් ගොඩනැගුණු යකුන් උදෙසා වූ යක් තොවිල් නැමැති ශාන්තිකර්ම පද්ධතිය ද විකාශය වන්නට විය. එනයින් ඇති කරගත්තා වූ යහපත් කායික, මානසික හා සමාජීය පසුබිම ආදී මානවයා සිය දෛනික ජීවිතයේ යහපැවැත්ම උදෙසා නිර්ණය කරගන්නා ලදී.

සාක්ෂරතාවත්, විද්‍යාත්මක දියුණුවත් නිසා අධි මානුෂික කොට්ඨාස විෂයෙහි පොදු ජනයා අතර පැවැති භයානක හා ගුප්තමය අදහස් ගිලිහී යන අද්‍යතනයෙහි බෞද්ධ සංකල්පනා පෙරදැරි කරගත් මළවුන්ගේ පූජා චාරිත‍්‍ර විධි අදටත් කල්පවත්නා බව පෙනී යයි. ඒ හේතුවෙන් ආදිතම සිතුම් පැතුම් ඇදහිලි හා විශ්වාසයන් තරමක් දුරට වෙනස් වෙමින් එම සිතුවිලි තුළ ආගමික වශයෙන් නවතාවයක් පෙරදැරි කරගෙන තිබුණි. ඒ අනුව මෙරට ප‍්‍රධානතම ආගම වූ බුදු දහම මෙම මළවුන් වන්දනාවට ප‍්‍රබල බලපෑමක් ඇති කළ අතර අද්‍යතනය වන විට මළවුන් හා අත්‍යන්තයෙන් බැදුණා වූ බෞද්ධ අවමංගල්‍ය චාරිත‍්‍ර පද්ධතියක් හා අවියෝජනීය සම්බන්ධයක් පවත්නා වූ පූජා විධි වන්දනයක් බවට මෙම මළවුන් පිළිබඳ විශ්වාසය ක‍්‍රමයෙන් පරිණත වී ඇත. මෙහිදී විශේෂයෙන් මතක වස්ත‍්‍ර පූජාව, මතක දානය හා පේ‍්‍රත ගොටුව තැබීම යනාදී වතාවන් බෞද්ධාගමික වශයෙන් වත්මනෙහි දැකගත හැකි චාරිත‍්‍රයන් සේ පෙන්වා දිය හැක.

එමෙන්ම ශී‍්‍ර ලාංකීය ජන ඇදහීම් අතර හින්දු, කි‍්‍රස්තියානි හා මුස්ලිම් යන ජනවාර්ගිකයන් අතර ද ඒ ඒ ආගම් හි චාරිත‍්‍ර වාරිත‍්‍රයන්ට අනුව මෙම මළවුන් වන්දනාව තත් සමාජයේ ද දක්නට ලැබෙන්නකි. මෙහි දී විශේෂයෙන් ම කිතුණු බැතිතුන් මළවුන් සිහි කිරීම පිණිස වාර්ෂිකව ඊටම වෙන් වූ දිනයක් වෙන්කර ඇති බව එම ආගමික චාරිත‍්‍ර පිළිබඳ විමසීමේදී දක්නට ලැබේ.

ආගමික වශයෙන් ඛණ්ඩනය කිරීමේ දී මේ අයුරින් මළවුන් වන්දනය අද්‍යතනය වන විට පූජා විධි ආශ‍්‍රයෙන් පවතින අතර ලෞකික දිවි පෙවෙතට අදාළ සංකීර්ණ සමාජමය හා පෞද්ගලික ගැටලුවලට ක්ෂණික විස`දුම් මාර්ග සොයා යෑම ද අද වන විට දැකිය හැකි සුලභ දසුනක් වේ.

වර්තමාන සමාජයේ හදි හූනියම්, කොඩිවිණ ආදී විනාශකාරී අභිචාර විධි පිළිබඳව දක්නට තිබෙන උනන්දුව පේ‍්‍රත සංකල්පය පදනම් කොට ඇති හානිදායක අභිචාර විධීන් සම්බන්ධයෙන් ඉතා වැදගත් තැනක් උසුලයි. විශේෂයෙන්ම ගුරුකම්, අණවින, කොඩිවින ආදිය ප‍්‍රබල ලෙස ව්‍යාප්තව ඇති දිස්ති‍්‍රක්කයන් වශයෙන් සැලකෙන මාතර දිස්ති‍්‍රක්කයෙහි පදිංචි ප‍්‍රවීණ පාරම්පරික ඇදුරුතුමෙකු වන කේ. කරුණාරත්න මහතා පවසා සිටින්නේ එදා මෙන් ම අදටත් පුද්ගල සිත් සතන්හි මන්ත‍්‍ර, ගුරුකම් ආදිය පිළිබඳ ඇති චින්තන ශක්තිය ක‍්‍රමයෙන් තවදුරටත් වර්ධනය වෙමින් ඒ හා බැ`දි විශ්වාසයන් ඉතා රහසිගතව ආරක්ෂා කරන බවයි. තාක්ෂණික වශයෙන් කෙතරම් දියුණු යුගයක් බිහි වුව ද ඇතැම් රෝග උපද්‍රවයන් උදෙසා ආතුරයන් හට සෙත සැලසෙනුයේ මෙම යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම් මගින් සිදු කර ඇති අණවින කොඩිවිනයන් කාපා හැරීමෙන් බව තවදුරටත් එම ඇදුරුතුමන්ගේ මතය විය.

නමුත් බටහිර වෛද්‍ය ක‍්‍රමයට අනුව මෙය එක්තරා මනෝමය වූත්, සිතුවිලි දුර්වල වූත්, චින්තන ශක්ති වර්ධනයේ ඇති දුර්වලතාවයත්, ඇතැම් විට අධික ලෙස පාරම්පරික ඇදහිලි හා විශ්වාසයන්ට නැඹුරු වීමත් යනාදී අධි මානසිකත්වයන් තුළ එල්බ සිටීමෙන් පුද්ගල මනෝභාවයන්ගේ සිදුවන අඩු පීඩන තත්ත්වයන් මෙම අධි මානසිකත්වයන් ඇති වීමට බලපාන බව විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වූ රූමි රූබන් මහතා පවසා සිටී. එතුමා පවසා සිටි අයුරින් හුදෙක් කිසියම් පුද්ගලයකු තම මනසින් කිසියම් සංසිද්ධියක් පිළිබඳ පමණට වඩා මෙනෙහි කරමින් නිරතුරුව ම ඒ පිළිබඳව වෙහෙසෙන්නේ ද එය එම පුද්ගලයාගේ මනෝභාවය දුර්වල වීමටත්, මොළයේ මණ්ඩල ගණන ක‍්‍රමයෙන් අඩු පීඩන තත්ත්වයට පත් වීමටත් හේතු සාධක වන අතර එසැණින් එම පුද්ගලයා මනෝමය වශයෙන් දුර්වල වූ රෝගියකු බවට පත්වන බවයි. මෙය පුද්ගල යටි සිතෙහි ඇති කරගත් අධි ඇදහිලි හා විශ්වාසයන් හි ප‍්‍රතිඵලයක් බවත් තවදුරටත් ඔහු මෙම සාකච්ඡාවේදී පවසා සිටියේය.

වර්තමානය වන විට මෙම මළවුන් හා බැදි යක් තොවිල් කංකාරි සම්බන්ධයෙන් කාලයත්, වැය භාරයත්, සේ ම තත් විෂයෙහි යාතු කර්ම සිදු කිරීමට අවශ්‍ය ක‍්‍රය ශක්තිය හා පිරිස් බලය නොමැති වීමත් හේතු කොට ගනිමින් බොහෝ ඇදුරන් පේ‍්‍රතාරූඪයෙන් ශාස්ත‍්‍ර කීම, දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කීම අතිශය පෞද්ගලීකරණ ආදායම් මාර්ගයක් බවට පත් කර ගෙන සිටියි.

බොහෝ විට යම්යම් අතපසු වීම්, ස්වශක්තියේ ඇති දුර්වලතා, අධික උදාසීනත්වය ආදිය හේතුවෙන් දෛනික ජීවිතයේ සිදුවන යම් යම් පසුබෑම්, අතපසු වීම්, අහිිමි වීම් ආදීය ද සාමාන්‍ය ගැටලු ලෙස ගත් කළ විශේෂයෙන් ආවාහ විවාහ ප‍්‍රමාද වීම්, පන්ති අතර ආදායම් විෂමතාව, සේවා වියුක්තිය, ගෘහ ජීවිතයේ යම් යම් ගැටලු, අසල්වැසියන් ප‍්‍රදේශවාසීන් හේතුවෙන් තවකෙකුට ඇතිවිය හැකි යැයි පවසන දුර්භාග්‍යයන් ආදී වූ මේ සියල්ලක්ම පුද්ගල විෂයෙහි හටගත් අවස්ථාවන්හි

”සූනියම’’ සුදුසුතම හේතුවෙක් කරගන්නා ඇදුරා එමගින් මළවුන් මූලික කරගනිමින් පේ‍්‍රත බන්ධනයන්, භූමි පාළු ආදී වූ ආරක්ෂාදායි වැඩදායක අභිචාරයන් වර්තමාන සමාජයේ ද නොපැකිලව කි‍්‍රයාත්මක කිරීමට උත්සුක වන්නේ මළවුන් සංකල්පය පිළිබඳ පුද්ගල මනෝභාවයන් තුළ ඇති අධික විශ්වාසය මතයි.

මෙසේ ”පේ‍්‍රත බැල්ම වැටීම’’ නැතිනම් ”පේ‍්‍රතයන් බැන්දවීම’’ නිසා ඇතිවන භූමි පාලු – ගෙවල් පාලු මැඩපැවැත්වීම පිණිස ”ගෙවල් සහ භූමි ආරක්ෂා යන්ත‍්‍ර’’ යොදා ගනිනු ලබයි. එහිදී භාවිත ආරක්ෂක යන්ත‍්‍රයන් අතර ගෙවතු ආරක්ෂා යන්ත‍්‍රය, සර්වාරක්ෂක සීමා යන්ත‍්‍රය, බුද්ධරාම යන්ත‍්‍රය ඉන් කිහිපයකි. මීට අමතරව ජීවම් කළ ගල්, වැලි ආදිය මගින් ද වත්මන් සමාජයේ මළවුන්ගෙන් සිදුවන ව්‍යසනයන්ගෙන් ආරක්ෂාව පැතීමත් සිදු කරනු ලබයි. එහිදී ”ලංකා බන්ධනය’’ හා ”මහාදේව බන්ධනය’’ යන මන්ත‍්‍ර බහුල ව භාවිතා වීමක් සිදු වේ.

නොඑසේ නම් නිමිති පේනයකින්, අංජනමකින් නැතහොත් දේවාරූඪයකින් කියැවෙන ශාස්ත‍්‍රයකින් පේ‍්‍රත උවදුරක් සිදුව ඇති බව තහවුරු කරගන්නා බොහෝ සිංහල ජනයා ඉන් අත් මිදීමට පහන් දැල්වීම, පිරිත් කියැවීම, සාංඝික දාන පිරිනැමීම, බෝධි පූජා පැවැත්වීම, බලු කපුටු දාන දීම ආදී වත්පිළිවෙත්හි නිරත වෙයි. එමෙන්ම දේශීය ඇතැම් කෙම් ක‍්‍රම, තෙල් වර්ග භාවිත කිරීම ද මළවුන්ගෙන් සිදුවන යක්ෂ පේ‍්‍රත දෝෂ දුරුකර ගැනීම සඳහා අද්‍යතනයේ බෙහෙවින් භාවිතා වේ.

පේ‍්‍රත දිෂ්ටියකින් පේන ශාස්ත‍්‍ර බැලීමේ දී බොහෝ විට පිදවිලි ලෙස ඉල්ලා සිටිනුයේ මල්, බුලත් තටුවක් හෝ පේ‍්‍රත ගොටුවකි. සෙසු යාතු කර්මයන් හා සැසදීමේදී මෙවැනි පේ‍්‍රත පිදේනි සඳහා වැය වෙන්නේ යාතු කර්මයක් සිදු කිරීමට යන මුදලෙන් හා කාලයෙන් අඩක් පමණි. එමෙන්ම යාතු කර්මයන් සිදු කිරීම ඉතා පහසු කාර්යයක් නොවන අතර ඒ සඳහා බොහෝ පිරිසකගේ ක‍්‍රය ශක්තිය ද අත්‍යවශ්‍ය වන අතර හුදෙක් ඒ මත ශාන්තිකර්මයේ සාර්ථක අසාර්ථක බව ගොඩනැගී ඇත. එම නිසා වර්තමාන සමාජයේ දක්නට ඇති අධික කාර්යබහුලත්වය හේතුවෙන් යක් තොවිල්, කංකාරි ආදී පාථුල යාතුකර්මයන් වෙත නොගොස් අඩු කාලයකින් හා වියදමකින් යුතුව මෙම පුදපූජා පවත්වා සෙතක් ශාන්තියක් ළ`ගා කරගැනීමට බොහෝ දෙනා යොමුව ඇත. එසේම ඇතමෙක් ඊටත් වඩා ක්ෂණික ප‍්‍රතිඵල දෙන්නා වූ ”අත්දුටු සුළු කෙම් ක‍්‍රමයන්ට’’ සීමා වන බවක් ද ඇතැම් විට දැකගත හැකි වීමෙන් වත්මන වන විට යාතු කර්මයන්ට සාපේක්ෂව මෙම පුද පූජා හා කෙම් ක‍්‍රම ජනපි‍්‍රයත්වයක් උසුලා ඇති බව පෙනී යන කරුණක් වේ.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස අතීතයේ පැවති යක් තොවිල් ආදී යාතු කර්ම අද්‍යතනය වන විට ක‍්‍රමයෙන් හීන වී ගොස් ඇති බව පැහැදිලි ය. මෙයට ප‍්‍රධානතම හේතුව ලෙස අපට දැකගත හැකි වනුයේ තත් විෂයෙහි ප‍්‍රවීණ පාරම්පරික ශිල්පීන්ගේ පරිහානිය හා වත්මන් තරුණ පිරිස් තම වැඩිහිටියන්ගේ ශිල්ප දැනුම ප‍්‍රගුණ නොකිරීමත් යන හේතු කාරණා ඊට බලපා ඇති බවයි.

මේ අනුව පොදුවේ ගත් කළ හුදෙක් අද්‍යතන සමාජයේ සිදුව ඇති සාක්ෂරතාවයේ හා තාක්ෂණයේ දියුණුවත්, අධික කාර්ය බහුලත්වයත් අධික වියදම් පක්ෂයත්, කාලයේ හා ක‍්‍රය ශක්තීන්ගේ ඇති යම් යම් අවහිරතාවයන් ආදී හේතූන් නිසා මෙවැනි අත්භූත ජනක සිදුවීම් ආදි සිද්ධි මාලාවන් තුළ සංකීර්ණ පුද පිළිවෙත් වෙත නොගොස් ක්ෂණික ප‍්‍රතිඵල ගෙන දෙතැයි යන විශ්වාසය මත පෙර සදහන් කළ පරිදි පේන බැලීම්, ශාස්ත‍්‍ර කීම්, ආදි අභිචාරයන් වෙත ගොස් තම හීන මාන දුරු කිරීමට අවශ්‍ය ආරක්ෂාදායක හා වැඩදායක අභිචාරයන් සිදු කිරීමට බොහෝදෙනා වර්තමානය වන විට යොමු වී ඇති බව පෙනී යයි.

එන්. ජී. චානක සම්පත්
බාහිර කථිකාචාර්ය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment