මළ ගෙදර බූරු ගසමින් සිටි ව්‍යාපාරිකයා මන්න පහර දී මරාදාලා

429

තියුණු මන්නා පිහි පහරක් එල්ල කර ඊයේ (07දා) දින අලුයම සීදුව ලියනගෙමුල්ල ප්‍රදේශයේ මළ ගෙදරක් ඉදිරි පිට සූදු සෙල්ලම් කරමින් සිටි පුද්ගලයකු මරා දමා ඇති බව සීදුව පොලිසියේ ප්‍රකාශකයකු පැවසීය.

කටුනායක, කොළඹ පාර, අංක 92 ලිපිනයේ පදිංචි තොම්මගේ ඉරෝෂන් රජීන්ද්‍ර ප්‍රනාන්දු නැමැති 46 හැවිරිදි මොහු කටුනායක ‘නිව් අඹ සෙවන’ නමැති කාමර කුළියට දෙන ස්ථානයක් සහ අවන්හලක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකි.

මොහු පුරුද්දක් වශයෙන් ප්‍රදේශයේ මළ ගෙවල් වල රාත්‍රී කාලයේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරන අයෙකු බවත් පොලිසිය පැවසීය. ඊයේ (7 දා) දින අලුයම 01.30 ට පමණ සීදුව ලියනගෙමුල්ල ප්‍රදේශයේ මළ ගෙදරක ඉදිරිපිට එසේ සූදු සෙල්ලම් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු, තියුණු මන්නා පිහිවලින් මොහු ඝාතනයට ලක් කර තිබේ. මෙම මරණය සිදු වූ ස්ථානයට මීගමුව මහේස්ත්‍රාත්වරයා පැමිණ සිය නිරීක්ෂණයන් සිදු කර ඇති අතර මේ වනවිට මෙම මළ සිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ. මෙම මරණයට සම්බන්ධ කිසිවෙකුත් මේ වනවිට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන නැත. මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සීදුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක මද්දුම බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශාලික මධුසංඛ, පොලිස් සැරයන් (51717) හරිස්චන්ද්‍ර, පොලිස් කොස්තාපල්වරුන් වන (27180) බණ්ඩාර සහ (56302) රණසිංහ යන මහත්වරු විසින් සිදු කරමින් සිටිති.

ගුවන්තොටුපොළ – ටී. කේ. ජී. කපිල සහ කටුනායක – ආනන්ද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment