මාක්ස්වාදය දන්නෙ නැති අයට ආගම අබිං තමයි…“ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

1063

“ජනතා විමුක්ති පෙරමුණ හැදුවෙම සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළෙ”

“මේ රට වංචා දූෂණ සාගරයක ගිලිලා තියෙන්නෙ”

“ආගම අබිං” යන්න මෙරට මාක්ස්වාදය හා බැඳි ප්‍රකට කියමනකි. මාක්ස්වාදය මත ගොඩනැඟුණු ඒ ඔස්සේ පෝෂණය වූ දේශපාලන ව්‍යාපාර එක් අන්තයකට හේත්තු කර තැබීමට රුකුල් දෙන්නා වූ මේ මතය නිසා පසුගිය කාලය පුරාම එවැනි පක්ෂ කෙරෙහි දක්වන ජනප්‍රසාදය හීන වීමට පවා හේතු විණි. විශේෂයෙන් ආගම යන්න ලේ ඇස් නහර දක්වා කිඳා බැස ඇති සමාජයකදී එයින් සිදුවන දේශපාලන අවාසිය සුළු පටු නොවේ. එවැනි පසුබිමකදී මාක්ස්වාදී මූලධර්ම මත ගොඩනැඟුණු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සංඝයා හමුවෙහි පිරිත් නූල් බැඳීම ජනතා ගැලරියේ මාතෘකාවක් බවට පත්වීම අරුමයක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග අපි මෙවර කතා බහ ආරම්භ කරන්නේ එතැනිනි. මේ ඔහු ඊට පිළිතුරු ලබා දෙමින් සාකච්ඡාවට ප්‍රවේශ වූ අයුරුය.

මාක්ස්වාදය හරි හැටි නොකියපු අය වාක්‍ය කණ්ඩයක් අල්ලගෙන කියන කතාවක් තමයි ඔය. ඇත්තටම පෙරදිග ලෝකයේ ආගම් පිළිබඳව මාක්ස් ලොකු හැදෑරීමක හිටියා. නමුත් ඒ පොත මුද්‍රණයෙන් එළිදක්වන්න බැරිවුණා. යුරෝපයේ කතෝලික පල්ලිය මූලික කරගෙන සිදුකෙරුණු කටයුතු පිළිබඳව ඔහු කියපු විශාල කතන්දරයක එක වාක්‍යයක් තමයි ඔය. ඒක සමස්තය නෙමෙයි. එක වාක්‍යයක් අල්ලගෙන තමයි මාක්ස්වාදයට ප්‍රතිවාදීන් මේ පහර දෙන්නෙ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළේම මේ රටේ තිබෙන සංස්කෘතියත් එක්ක. ඒ සංස්කෘතියත් එක්ක දේශපාලනය කරමින් ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් බලය ලබාගන්න. කවදාවත් ජනතා විමුක්ති පෙරමුණ ආගමට සංස්කෘතියට විරුද්ධව කටයුතු කරල නෑ. අපේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයා දක්වාම ආගම සහ සංස්කෘතිය තුළ කටයුතු කරමින් තමයි ජීවත් වෙන්නෙ. අපි ගැන මොනවත් දන්නෙ නැති කවුරුත් කියන දෙයක් ඔළුවෙ තියාගෙන හිතන අයට තමා පිරිත් නූලක් ගැට ගහ ගත්ත එක ප්‍රශ්නයක් වෙන්නෙ. මම ගත්තොත් සමස්ත ලංකා දහම් පාසල් තරග ජයග්‍රහණය කරපු දහම් පාසල්වල උගන්වපු ධර්මාචාර්ය කරපු කෙනෙක්. මම වගේ තමයි අපේ පක්ෂයේ අනිත් අයත්. සිංහල බෞද්ධ පරිසරය තුළ හැදිච්ච අය ඉන්නෙ. ඒ වගේම අනෙකුත් ආගම්වල සංස්කෘතීන් එක්ක ජීවත් වුණ අයත් අපිත් එක්ක පක්ෂයේ වැඩ කරනවා.

උතුරේ යුද්ධය අවසන් කළත් උතුරේ පවතින අර්බුදය පෙන්වන එක ප්‍රශ්නයක් තමයි කුරුන්දි විහාරයත් එක්ක එළියට එන්නෙ. එය ආගමික සහ සංස්කෘතික මුහුණුවරක් ගත්ත ප්‍රශ්නයක්. ඒ නිසාද ජනතා විමුක්ති පෙරමුණ එවැනි ප්‍රශ්න ගැන කතා නොකරන්නෙ ?

තිස් අවුරුදු යුද්ධය නිසා පුරාවිද්‍යාඥයන්ට පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන ගවේෂණය කරල තහවුරු කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. අපේ රෝහණ රාජ්‍යය් විශාල කොටසක් නැගෙනහිර පළාතේ තිබෙනවා. උතුරට ආසන්නවත් තිබෙනවා. ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා විහිදුණු බෞද්ධ ආරාමවල ගවේෂණයක් නොකළ පුරාවිද්‍යාත්මක නටඹුන් මේ ප්‍රදේශවල තවමත් තිබෙන බව අපි පිළිගන්න ඕන. මේවා ඇත්තටම අපේ රටට විතරක් නෙවෙයි සමහර විට මුළු ලෝකයටම වටිනාකමක් ඇති දේවල්. මේ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කරල තහවුරු කරන්න ඕන. හැබැයි දැන් අපිට පේනවා ඒක කරන්න කලින් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්න හදනවා කියල. ඒ ප්‍රශ්න ඇතිකරන කණ්ඩායම් කලිනුත් 2018 සහ 19 දී ජාතිවාදි ප්‍රශ්න ඇති කරන්න කටයුතු කරපු කණ්ඩායම් කියල හොඳටම පැහැදිලියි. ඔවුන්ට පුරාවිද්‍යා ස්ථාන ගැනවත් ආගම ගැනවත් ඇත්ත හැඟීමක් නෑ. ඔවුන්ට තිබෙන්නෙ බලය ගැන හැඟීමක් විතරයි. තමන්ට යළි බලය ලබා ගැනීම සඳහා මෙවැනි සිදුවීම් පාවිච්චි කිරීමක් තමයි මේ වෙන්නෙ. මේ පුද්ගලයෝම 2018 සහ 19 සමහර මාධ්‍ය නාලිකා එක්ක එකතු වෙලා බලය වෙනුවෙන් සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිකරන්න හැදුවා.

මෙවැනි ප්‍රශ්නගත ස්ථාන පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ මතය මොකක්ද ?

එවැනි වටිනා ස්ථාන රැක ගැනීම ආණ්ඩුවේ වගකීම. නිසි වටිනාකමින් ඒවා රැකගත යුතුයි. ඒක රජයක් හැටියට තීන්දු ගත යුතු දේවල්. ආයේ ඒකෙ කතා දෙකක් නෑ. ඒත් එක්කම මම දැක්කා පුරාවිද්‍යා ස්ථාන මුල් කරගෙන යළිත් ගැටුම් ඇතිකිරීමේ උත්සහයක් තියෙනවා කියල බුද්ධි අංශ අනාවරණය කළ බවට පළ කළ පුවත්පත් වාර්තාවක්. එවැනි අරමුණක් මේ වෙලාවේ තියෙන්නෙ කාටද කියලත් අපි බලන්න ඕන.

අපි වෙනත් පැතිකඩකට මේ කතාව හරවමු. රජයේ පාර්ශ්වයෙන් කියා තිබෙනවා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ වැඩකටයුතු දැන් අවසන් කරල තියෙන බව. ජනතා විමුක්ති පෙරමුණ මේ නව ව්‍යවස්ථාව ගැන කිසිවක් කතා නොකරන්නෙ ඇයි ?

මේ වෙනකන් අපිට එවැනි ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය ගැන දන්වලත් නෑ අපි දන්නෙත් නෑ. 2015 සහ 19 කාලයේ නම් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කරල අලුත් ව්‍යවස්ථාවක් හදන්න කටයුතු කරගෙන ගියා. එතන හදපු කමිටුවලින් ප්‍රධාන කමිටුව වාර 83ක් රැස්වුණා ව්‍යවස්ථා සම්පාදන කටයුතු කරන්න. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරපු සියලුම පක්ෂ මේ නව ව්‍යවස්ථාවට තමන්ගේ ලිඛිත යෝජනා ඉදිරිපත් කළා. ඒ යෝජනා කිසිවක් ඒ මොහොතේ ඉදිරිපත් නොකරපු පක්ෂය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂය. ඉතින් ඒ කටයුත්ත අත්හැරල දාලා අද මේ කීප දෙනෙක් එකතුවෙලා කාමරයකට වෙලා රටකට ව්‍යවස්ථාවක් හදනව නම් ඒක වැරදියි. ජනතාවගේ අදහස්වලට ඇහුන්කන් දෙමින් තමයි නව ව්‍යවස්ථාවක් රටට එන්න ඕන. දැන් මේ අය ඔය ව්‍යවස්ථාවක් හදනවනම් හදන්නෙ රටේ ඉදිරි අනාගතේ ගැන හිතල නෙවෙයි තමන්ගේ බලය ඉදිරියේදී තියාගන්නෙ කොහොමද කියන එක ගැන හිතල. මේක තනිකරම ප්‍රෝඩාවක්. මේ කලබලයේ ව්‍යවස්ථා හදන්න ඕන නෑ. ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන තමන්ගේ පරමාධිපත්‍ය බලය පෙන්වන්න.

වංචා දූෂණ ගැන හෙළිදරව් කිරීමේදී ඔබේ පක්ෂය ජනතාව අතර ප්‍රකටයි ප්‍රසාදනීයයි. ඒත් වරායේ සිදුවන වංචා දූෂණ සම්බන්ධව ඔබේ පක්ෂය සම්බන්ධ වෘත්තීය සමිති පවා නිහඬව සිටිනවාය කියා එම ආයතනය භාරව සිටින රාජ්‍ය ඇමැතිවරයාම පසුගියදා චෝදනාවක් කළා?

ඔය රාජ්‍ය ඇමැති දැන් නින්දෙන් ඇහිරලා වගේ කතා කළාට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති වාරයේ විතරක් නෙවෙයි රටේ සිදුවන අනෙකුත් වංචා දූෂණ ගැන පවා හඬ නඟනවා. කප්පරක් දූෂණ වංචා තියෙන රටක ඒ හැම එකක්ම ඒ සමාන බරකින් කතා කරන්න ගියාම ඒකට මාධ්‍යවල හොරකම් ගැන කතා කරනවාට වඩා ඉඩක් නැතිවෙයි. වංචා දූෂණ සාගරයක මේ රට ගිලිලා තියෙන්නෙ. අපි කියන්නෙ නිකන් මාධ්‍ය සාකච්ඡා නොතියා රාජ්‍ය ඇමැති දන්න දේවල් හෙළිදරව් කරන්න. ඒවා මේ ජනතා විමුක්ති පෙරමුණම රටට හෙළිදරව් කළ යුතුයි කියල නියමයක් නෑනෙ. ඔය තියෙන්නෙ කැබිනට් ඇමැතිකමක් නොලැබීමයි සමහර ප්‍රොජෙක්ට් තමන් හරහා නොයෑමෙයි දුක. අනික වංචා දූෂණ දැනගෙන ඒවා සඟවා තබා ගැනීමම රටට ජනතාවට කරන වැරැද්දක්.

දූෂණය විතරක් නෙවෙයි, වර්තමානය වන විට රටේ සිදුවන පුද්ගල ඝාතන වැඩිවීමක් දක්නට ලැබෙන බව වාර්තා පළවුණා. පාතාල කණ්ඩායම් විසින් සිදුකරන මේ ඝාතන රටේ සිවිල් ආරක්ෂාවට බරපතළ තර්ජනයක්. කිසිම පක්ෂයක් මේ ප්‍රශ්නය ගැන නිසි බර තැබීමකින් කතා කරන බවක් පෙනෙන්නෙ නෑ. ඔබේ පක්ෂය මේ ගැටලුව ගැන තවමත් අවධානය යොමු කර නැතිද ?

රටේ ආරාජිකත්වයක් නිර්මාණය වෙලා තියෙන්නෙ. ආර්ථික අර්බුදයක් උඩු දුවන රටක දේශපාලන, සංස්කෘතික ආදී සෑම පැත්තක්ම අර්බුදයකට ලක්වෙනවා. නීතියේ ආධිපත්‍ය බිඳ වැටිල රාජ්‍ය ආයතන හරි හැටි දුවන්නෙ නැතිව අද අපිට පෙන්නුම් කරන්නෙ ඒක. මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ ජනතාව අපේක්ෂා කරන පාලනයක් පත් කරගන්න ඉඩ දීමත් එක්ක. ආරාජිකත්වයක් පවත්වාගෙන යන දේශපාලන ගමනක් තුළින් මේක වෙනස් කරන්න බෑ.

ඩිජිටල් හැඳුනුම්පත් මුද්‍රණය විදේශීය සමාගමකට පැවරීමක් ගැන හෙළිදරව්වක් සිදුවුණා. මේ මගින් රටේ සියලුම පුරවැසි දත්ත වෙනත් රටකට යෑමේ අවදානමක් තිබෙනවා. මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ මතය මොකක්ද ?

ඇත්තටම මේ ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳව බරපතළ සැක සංකා තිබෙනවා. ඒ ටෙන්ඩර් ක්‍රියාවලියේ දින වෙනස් කිරීම. විවිධ අවස්ථාවලදී එයට ව්‍යාතිරේක කොන්දේසි දැමීම වගේ කාරණාවලින් ඉන්දියානු සමාගම ඉලක්ක කරගෙනමම තමයි මේ ක්‍රියාවලිය සිදුවණේ කියල පේනවා. රුපියල් කෝටි හාරදහස් තුන්සීයක බරපතළ ගනුදෙනුවක් මේක. මේකෙ කිසිම විනිවිදභාවයක් නෑ කියල ඉතාමත් පැහැදිලියි. ඒ නිසා තමයි අපේ පක්ෂයත් මේ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළේ. මේ ව්‍යාපෘතිය මෙතනින් කෙළවර වෙන්නෙ නැතිව තව තවත් ව්‍යාපෘති එක්ක ගැට ගැහිල තියෙන බව අපි දන්නවා. ඒ නිසා මෙතනින් එහාට මේකට විරුද්ධව විවිධ ක්‍රියාමාර්ගවලට එලඹීමට අපි සැළසුම් කරල තියෙන්නෙ.

සාකච්ඡා කළේ –
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment