මාගම්පුර මහනුවර හැඩ කළ එල්පීඑල් හෙට සිට අගනුවරට

202

මෙවර එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට සහ මහනුවර ක්‍රීඩාංගණවල පැවති තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණි වනිදු හසරංග ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හෙට (17 වැනිදා) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කළම්බු ස්ටාර්ස් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.

එම තරගය මෙවර එල්පීඑල් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන තරගය වේ.

එල්පීඑල් තරගාවලියේ තරග 14 ක් මේ වන වනවිට අවසන් වී ඇති අතර ඉතිරි තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහි පළමු තරගය ලෙස දඹුල්ල අවුරා කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හෙට (17 වැනිදා) සවස 3ට තරග වැදීමට නියමිත වේ.

මෙතෙක් පැවති තරග හයක් අවසානයේ තරග පහක් ජයග්‍රහණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 10 ක් හිමිකර ගෙන ඇත.

එම දක්ෂතාව මත මෙවර එල්පීඑල් තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට හෙවත් අවසන් පූර්ව වටයට මේ වන විටත් සුදුසුකම් ලබා ගැනීමට නුවර කණ්ඩායම සමත් වී තිබේ.

පෙරේදා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ද ලකුණු 10 ක ජයක් හිමිකර ගැනීමට ඔවුන් සමත් වූ අතර එම ජයග්‍රහණය මෙම තරගාවලියේදී යාපනය කණ්ඩායමට එරෙහිව නුවර කණ්ඩායම එක දිගට ලබාගත් දෙවැනි ජයග්‍රහණය විය.

එසේම යාපනය කණ්ඩායම මෙවර තරගාවලියේදී මෙතෙක් පරාජය වී ඇත්තේ ද නුවර කණ්ඩායමට එරෙහිව පමණි.

ඒ අනුව තරග හයකට සහභාගි වී තරග හතරක් ජයග්‍රහණය කළ යාපනය කණ්ඩායම ප්‍රසාද ලකුණු 8ක් සමග එම ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවේ. කළම්බු ස්ටාර්ස් කණ්ඩායම තරග තුනක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය හිමි කරගෙන තිබෙන අතර ප්‍රසාද ලකුණු හතරක් හිමි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හතරවන ස්ථානයේ පසුවේ.

මෙතෙක් පැවති තරග පහෙන් කිසිදු තරගයක් මේ වන විට ජයග්‍රහණය කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වී නොමැත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment