මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ පෞද්ගලික සහායක අයිපීගේ මළසිරුර කාණුවකින් හමුවෙයි

4417

මාතලේ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොලගොඩ මහතාගේ මළ සිරුර වත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක් අසල කාණුවක තිබී පෙරේදා (14දා) පෙරවරු 8.00 ට පමණ සොයාගත් බව පොලිසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ රිය අනතුරක් හේතුවෙන් සුසුම්නාවට තුවාල වීමෙන් මරණය සිදුව තිබෙන බවයි. ඔහු රාජකාරියට පිටත්වීමට පෙර දෛනිකව කිලෝ මීටර් කිහිපයක් ඇවිදීමට පුරුදුව සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මියගිය පොලිස් පරීක්ෂකවරයා නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් කිහිපදෙනකුගේම පෞද්ගලික සහායක ලෙස කටයුතු කර තිබෙන බව පොලිසිය පවසයි.

සුපුරුදු පරිදි පෙරේදා පෙරවරු 4.45 ට පමණ ඔහු නිවසින් පිටව ගොස් ඇත. පනස් අට හැවිරිදි මොහුගේ මළ සිරුර ඔහුගේ නිවසේ සිට කිලෝ මීටරයක් පමණ දුරක තිබී සොයා ගෙන තිබේ. අනතුර සිදුකර පලාගිය රියැදුරු සෙවීම සඳහා නගරයේ ස්ථාන කිහිපයක සී.සී.ටී.වී. කැමරා පොලිසිය විසින් පරීක්ෂා කර ඇතත් කිසිදු වැදගත් හෝඩුවාවක් සොයා ගැනීමට මේ වනතෙක් හැකි වී නැත.

තෙල්දෙණිය වැඩබලන මහෙස්ත්‍රාත් කුමාරි කරල්ලියද්ද මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබේ. මෙය රිය අනතුරකට ලක්වීමෙන් සුසුම්නාවට ඇති වූ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් මත වත්තේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

සමන්ති වීරසේකර


advertistmentadvertistment