අරංගල ෆොරස්ට් සිට සජීවී වනාන්තරයක පහස අත්වින්දෙමු…
මාතලේ-නාඋල පිහිටි සුප්‍රකට අරංගල පර්වතය තරණය කර, අරංගල වනාන්තරයේ පහස විඳින්නට පැමිණි ගමනේ ආගිය තොරතුරු අපි පසුගිය සතියේ කතා කළෙමු. “අරංගල ෆොරස්ට් ලොජ් – Arangala Forest Loge” හි සාමාන්‍යාධිකාරී දේශප්‍රිය කුමාර ඩෙප් මහතාගේත්, හෝටලයේ ගණකාධිකාරී ඉන්ද්‍රානි මහත්මියගේ ආරාධනයෙන් අරංගල වනාන්තරය තුළ අපූරු කඳුකර වේදිකාවක් මත පිහිටි “අරංගල ෆොරස්ට්” සංචාරක හෝටලයේ සහ අරංගල වනාන්තරයේ පහස විඳිමින් අරංගල පර්වතය තරණය කිරීමට එක්වීමේ කතාන්දරයේ ඉතිරි කොටස අද ඔබට මෙසේ රසවිඳිය හැකිය.
මාතලේ-දඹුල්ල ඒ-9 මාර්ගයේ 53 වැනි කිලෝමීටරයට ආසන්නයෙන් නාඋල පොලිස් ස්ථානයේ මායිම් වැට දිගේ බස්නාහිර දිශාවට වැටී ඇති අරංගල වත්ත මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුර ගමන් කළ විට හමුවන “අරංගල” පර්වතය, අරංගල වනාන්තරය සහ අරංගල ෆොරස්ට් ලොජ්” යනු එකම පරිසරයේ කොටස්ය. මෙහි සිට ලබන රසවින්දනය වචනයෙන් විස්තර කළ හැකි නොවේ. පසුගිය සතියේ අප සඳහන් කළ පරිදි හෝටල් ආලින්දයට සහ එහි උත්සව ශාලාවට (මෙන්ම වනගතව ස්ථානගත කර ඇති කබානාවලට) දිස්වන නකල්ස් කඳු යාය, දඹුලු කඳුවැටි කලාපය ඇතුළු බාහිර පරිසරයත්, තොරතෝංචියක් නැතිව සවනත වැකෙන රැහැයියන්ගේ, සියොතුන්ගේ නදින් විකසිත වූ අප සිටින සිහිල්, සුවබර අරංගල වනාන්තරයත් අප වෙනම ලෝකයකට කැඳවාගෙන යන්නේය. සැබැවින්ම මෙතැන් සිට ඒ-9 මාර්ගයේ පවතින දේශගුණික තත්ත්වයත් අරංගල වනපෙත තුළ පවතින දේශගුණික තත්ත්වයත් හාත්පසින්ම වෙනස්ය.
අරංගල වනාන්තරය තුළ ඇත්තේ නිරතුරුව සිහිල් සුළඟ සම්මිශ්‍රණය වූ සිහිල් දේශගුණික තත්ත්වයකි. මෙවන් අසිරියක් විඳිමින් ගත කළ “අරංගල ෆොරස්ට්” හි වන ගත දිවියේ හොඳම හරිය ගෙවී ගියේ හිරු බැස යන සන්ධ්‍යාවේ සහ රාත්‍රියේදීය. පුළුල් පරිසර කලාපයක් රසවිඳිය හැකි මෙම හෝටල් වේදිකාවේ සිට හාත්පස බලන විට කාලය ගෙවී අඳුරට බරවන පරිසරය අප අත්වින්දේ වෙනමම අත්දැකීමක් ලෙසිනි. එනම්, අරංගල ගම්මානය ඇතුළු දුම්බර දක්වා පරිසරය එක පැත්තකින්ද, දඹුලු කඳු පන්තිය දක්වා එක පැත්තකින්ද, බෝවතැන්න, මොරගහකන්ද, නාලන්ද වැනි ජලාශ මායිම් දක්වා පෙනෙන පරිසරයේ ආලෝක විචිත්‍රත්වයේ වෙනස්වීම මොනතරම් ද යත් එය මෙම ලිපිය කියවන පාඨක ඔබ විසින් අත්විඳ බැලිය යුතු ආශ්චර්යයකි. කොටින්ම හෝටල් ආලින්දයට දර්ශනය වන රිවර්ස්ටර්න් හා කරගහතැන්න කඳු මුදුන් මත ඇති සම්ප්‍රේෂණ මධ්‍යස්ථානවලින් දිදුළන ආලෝක දහරා අපට සිහිපත් කරන්නේ වෙනම තාරකා සමූහයක් ඒ බවය.
කෙසේ හෝ අරංගල ෆොරස්ට් හි ගත කළ දින දෙකක කාලයේදී අරංගල වනාන්තරයේ පහස ලබමින් එහි ගහක්-කොළක්, ගලක්, දිය පාරක් ගාණේ ඇවිද ලැබූ අත්දැකීම හරිම අපූරු වූවකි. ඇතැම් විට බගියක (විදුලි කාරයක) නැගී තුරු මං පෙත් දිගේ තීව්‍ර කඳු-පල්ලම් නැග-බැස අරංගල පර්වතය පාමුල දක්වා ගිය ගමන් කිසිදා අමතක නොවේ. මෙම තුරු මං පෙත් අතර වනය තුළ සැඟව ඇති කබානාවක ගෙවන ජීවිතය කෙතරම් මිහිරි දැයි දන්නේ එම අත්දැකීම විඳින්නෝම පමණකි.
අනතුරුව උදාවූ දිනය අපටම වෙන්වූ දිනයක් වැන්න. ඒ එදින අරංගල පර්වතය තරණය කරන්නට අප තීන්දු කළ දිනය බැවිනි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින මෙම පර්වතය සහ අරංගල වනාන්තරය තුළට පියමැනීම සහ පර්වතය තරණය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය අත්‍යවශ්‍ය වේ. එවන් අවසරයක් මත අප අරංගල පර්වතය තරණය ආරම්භ කරන ලද්දේ හිරු නැග එන උදෑසනය. මීට කලකට පෙරද අරංගල තරණය කර අත්දැකීම් ඇති අපට මෙවර කාලය ඉතිරි කරගනිමින් සහ වඩාත් විධිමත්ව කන්ද සහ පර්වතය තරණය කිරීම සඳහා උදව්වක් වූයේම අරංගල ෆොරස්ට් පිහිටි කඳු පාමුල සිටම කඳු තරණය ආරම්භ කිරීමට ලැබීම නිසාය.
අප සමග එක්වූ පළපුරුදු මගපෙන්වන්නන් අනුව යමින් අපි වනාන්තරය තුළින් වැටී ඇති දළ බෑවුම තරණය ආරම්භ කරන ලද්දේ පෙර අප සඳහන් කළ පරිදිම දසත රැව් පිළිරැව් දෙන රැහැයියන්ගේ නාදය මධ්‍යයේය. දේශප්‍රිය කුමාර ඩෙප් මහතා ඒ සඳහා අපට කදිම, දක්ෂ මගපෙන්වන්නකු ලබාදුන්නේය.
අඩි දෙදහසක් පමණ උස්වූ අරංගල පර්වතය තරණය සඳහා අඩි පාර කිහිපයක් ඇතත්, නැගෙනහිර බෑවුමෙන් තරණයට ඇත්තේ අතිශය අසීරු, එක් මාර්ගයකි. පර්වත මස්තකය කොටස් තුනකට බෙදී ඇති මෙම අලංකාර පර්වතයේ උතුරින් පිහිටි කඳු ගැට දෙක මැදින් වැටී ඇති පටු දෙබොක්කාවකින් කන්ද මතට ළඟා විය යුතුය. ක්‍රියාදාම චාරිකාවක් වන මෙම තරණය කඳු නගින්නන් මෙන්ම, පරිසරය විඳින්නට කැමති අයට ඉතා කදිම අත්දැකීමක් ගෙන දෙනු නොඅනුමානය.
මෙවන් අත්දැකීම් සහ වින්දනාත්මක අභියෝග මැදින් හෝරා එකහමාරකින් පමණ අරංගල තරණය කළ අපි අනතුරුව අරංගල මස්තකයේ සිට අවට සුන්දරත්වය විඳීමට එක්වුණෙමු. පළමුව අපට හමුවන කඳු මුදුන පර්වත මධ්‍යයේ පිහිටා ඇත. ඒ මතට නැග බලන කල නැගෙනහිරින් බෝවතැන්න, මොරගහකන්ද පමණක් නොව, තවත් නැගෙනහිරින් ලග්ගල-කළුගඟ දක්වාද, දකුණු-නැගෙනහිර ක්ෂිතිජ ඉමේ පෙර අප කී ලග්ගල සහ දුම්බර කඳු වළල්ලේ උතුරු මායිම්ද, ඕපල්ගල කඳු යනාදිය ද ඉතා හොඳින් දර්ශනය වේ. බටහිර දෙසින් ඇත්තේ ගලේවෙල ප්‍රදේශයයි. පෙර අප සංචාරය කළ වෑමැඩිල්ල ඇතුළු පුළුල් දර්ශන තලයක්ද, උතුරින් දඹුල්ල සහ සීගිරිය ප්‍රදේශය ද දකින්නට ලැබේ. තරමක් අඳුරු කාලගුණයක් පවතින කාලයක් බැවින් මේ බොහෝ දර්ශන අප දැකගත්තේ අරංගල දැවටෙන මිහිදුම් රොටු මැදිනි.
සැරිසර – ජගත් කණහැරආරච්චි
තෙවැනි ඇස – හෙරිටේජ් ලංකා ක්‍රියේෂන්ස්