මාතෘකාව-රළපනාව – බුදුරැස් විහාරයේ සැඟවුණ කතාව

1802

අනුරාධපුර දිස්ත්‍රික්කය ඓතිහාසික විහාරස්ථාන රැසකින් සමන්විත දිස්ත්‍රික්කයකි. එදා රජ දවසේ ඉදි වූ එම වෙහෙර විහාර සංරක්ෂණ සහ ප්‍රතිසංස්කරණය කරමින් වර්තමාන ජනයා වෙත දැක බලා, වැඳපුදා ගැනීමට හැකියාව ඇත. ඒ අනුව අද අප කතා කරන්නේ බෞද්ධ පුනරාගමනයේ රජුන් වන දේවානම්පියතිස්ස රජ සමයේ ආරම්භ වූ මිහින්තලා පුද බිමට පෙනෙන දුරින් පිහිටා ඇති වළගම්බා රාජ්‍ය සමයටත් එපිට ඉදිකිරීම් කටයුතු කළ බවට පුරාවිද්‍යා සාක්ෂි ඇති රළපනාව බුදුරැස් විහාරය ගැනය.

අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් 22ක් පමණ ඒ 9 මාර්ගයේ යනවිට මැදවච්චිය නගරය හමුවෙයි. අනතුරුව මැදවච්චිය සිට හොරොව්පොතාන මාර්ගයේ තවත් කිලෝමීටර් 08 ක් ගිය විට ප්‍රධාන මාර්ගයෙන් වමට ඇති ගුරු පාරේ ග්‍රාම නිලධාරි කොට්ඨාස අංක 76 තුලාන නමින් හඳුන්වන බලප්‍රදේශයේ පිහිටා ඇති පාරම්පරික ගම්මානයක් වන රළපනාව ගම්මානය අපට හමුවිය. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු වූ සර්ව කෙලෙසුන් නසා ඒ උතුම් වූ නිර්වාන ශක්තිය පසක් කරගත් මහරහතන් වහන්සේලාගේ සිල් සුවඳේ, ගුණ සුවඳේ පහස තැවරුණ ඓතිහාසික රළපනාව බුදුරැස් විහාරය එම ගම්මානයේ පිහිටා ඇත. එම විහාරයේ ප්‍රධාන බුද්ධ මන්දිරයේ පුදපූජා පවත්වමින් සිටින විට බුදු රැස් විහිදූ නිසාවෙන් මෙම විහාරයට බුදුරැස් විහාරය යන නම ලැබී ඇති බව ජනප්‍රවාදයේ කියැවේ.

මාතෘකාව-රළපනාව - බුදුරැස් විහාරයේ සැඟවුණ කතාව

බුද්ධ ප්‍රතිමා සංස්කෘතියට පෙර බුදු සිරිපතුල නිර්මාණය කොට එයට පුදපූජා වන්දනාමාන පැවැත්වීමේ සංස්කෘතියක් එවක මෙරට පැවැතුණි. එම සංස්කෘතියට පවා අයත්ව පැවැති ආරාමයක් ලෙස සිතිය හැකි සිරිපතුල සහිත ගල්ලෑල්ලක්ද මෙම විහාරයේ දී දැකගත හැක.

එකල රහතන් වහන්සේලා වැඩසිටි ගල් විහාර පරම්පරාවට උරුමකම් කියන මෙම පුදබිමෙහි රහතන් වහන්සේලා, භාවනා යෝගී භික්ෂූන්වහන්සේලා, වැඩ සිටි බවට කදිම නිදසුන් අද දක්වාම ජීවමානව පවතී. භික්ෂූන් වහන්සේලා පැන් ලබා ගැනීම සඳහා භාවිතා කළා යැයි කියවෙන කඳු මුදුනේ පිහිටි ගල් පැන් පොකුණු, කඳු පාමුල පිහිටා ඇති ස්නාන පොකුණු, කටාරම් කොටන ලද ගල් ගුහා, රහතන් වහන්සේලා විවේක සුවයෙන් වැඩ සිටි ගල්තලා, වන්දනාමාන කරන ලද සිරිපතුල් ගල්, සෙල්ලිපි, ගල් බුදු පිළිම ඇතුළු පැරණි චෛත්‍යක්ද එහි වන්දනාමාන කරගැනීමට යන බැතිමතුන් හට මේවන විටත් දැක ගැනීමට හැකියාව ඇත.

මාතෘකාව-රළපනාව - බුදුරැස් විහාරයේ සැඟවුණ කතාව

එදා මේ සොඳුරු දීපයට බුදු දහමේ ශාන්ත පණ්විඩය රැගෙන ආ මිහිඳු මහරහතන් වහන්සේ ඒ මහා පිම්බර පුදබිම වන මිස්සක පවුව උසින් ඒ ආසන්නයට එන මෙම විහාර පවුව හා මිහින්තලා පුදබිම එකකට එකක් පෙනෙන දුරින් පිහිටා ඇත. ඒ අනුව මේ වන විට මෙම විහාරය වැඳපුදා ගැනීමට විහාර මළුවට පැමිණෙන ජනතාව විහාරයේ බුදු කුටියට පිටුපසින් පිහිටා ඇති බැලුම්ගල නමින් හඳුන්වන ගලට පැමිණ විරාජමානව බැබළෙන මිහින්තලා චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනාමාන කරන්නේ ද මෙම බුදුරැස් විහාරයේ සිටමය.

ඒ පිළිබඳ අදහස් දැක්වූ රළපනාව බුදුරැස් විහාරයේ, සංගිලිකනදරාව සුමනසාර විහාරයේ විහාරාධිපති ළිඳවැව අමරජෝති හිමියන්,

මේ විහාරය ඉතාමත් පෞරාණික වටිනාකමකින් යුත් විහාරයක්. අක්කර 15කින් සමන්විත මෙම විහාරයේ පුරා වස්තු රැක ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්න අපට සිදුවෙලා තියෙනවා. මීට පෙර මෙම විහාරයෙන් හමු වූ පිළිම වහන්සේලා පිළිබඳ කිසිම සටහනක් නෑ. දායක ගම්මාන 15 ක් මේ විහාරයට තිබුණා. දැන් ඒ ගම්මානත් අඩුවෙලා. මේ විහාරය ගමේ කෙරවලකට වෙන්න පිහිටි වනාන්තර සහ කඳු සහිත ස්ථානයකයි පිහිටා තිබෙන්නේ. ගමේ මිනිස්සු සහ මේ විහාරයේ වැඩසිටින කණුගහවැව නන්දසාර ස්වාමින් වහන්සේ නිසයි මේ පුරා වස්තු ටික හරි ඉතිරිවෙලා තියෙන්නේ. මෙම ස්ථානය වැඳපුදා ගන්න පිටස්තර බැතිමතුන් දන්නේ නෑ. මේ අයුරින් විහාරස්ථානයට පැමිණිලා සැඟවී යන අපේ අතීතය නැවත බැතිමතුන්ට පෙන්වා දීම පිළිබඳව ද අපි ස්තූතිවන්ත වෙනවා. මේ විහාරය පිළිබඳ කතා කරනවාට වඩා ඇවිත් සියසින් දැකගන්න කියන ඉල්ලීම ලක්වාසී බැතිමතුන්ගෙන් කරනවා. මේ විහාරය දැකබලා ගනිමින් වන්දනාමාන කිරීම සඳහා පැමිණීමට කැමති පින්වතුන් 0775989115 කියන මාගේ දුරකථන අංකයට කතා කරමින් නිවැරිදි මාර්ගය පිළිබඳ තහවුරු කර ගන්න. හරිම අලංකාර විහාරයක් වගේම පෞරාණික කමින් යුත් ඓතිහාසික විහාරයක් තමයි මේ රළපනාව බුදුරැස් විහාරය කියන්නේ.

කණුගහවැව නන්දසාර ස්වාමින් වහන්සේ,

මේ විහාරයේ පුරා වස්තු ආරක්ෂා කරගන්න ඕන නිසා ඉස්සර ගම්වැසියන් සිමෙන්ති දාල ගලින් නිර්මාණය කර තිබූ බොහෝ දේ වහලා ආරක්ෂා කරලා තියෙනවා. අදටත් විහාර ගේ ගලින් නිර්මාණය වූ තැනකයි පිහිටා තිබෙන්නේ. පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් විහාරයක් මේක. මෙහි රජවරු යුද්ධ කරන්න සේනාව රැස් කළා කියලත් කතාවක් තියෙනවා. ඒ තරම් ආරක්ෂිත කඳු වැටියක සියලු පහසුකම් මෙහි තිබෙනවා. මේවා විනාශ වීමට ඉඩ නොදී බලධාරින් රැක ගැනීමට කටයුතු කළ යුතුයි.

මැදවච්චිය-ගයාන් උතුරුමැද


advertistmentadvertistment