මාධ්‍ය ඉස්කෝලේ ගෝලයින් නැති ගුරුතුමා

348

ප්‍රේමකීර්ති ද අල්විස් සුලවතානන් පිළිබඳ ලියැවුණු අගනාම ලිපි දෙකක් මෙවර ‘අකුරු දිගේ’ තීරයට අපි තෝරා ගත්තෙමු. මෙයින් ජැක්සන් ඇන්තනී විසින් ලියන ලද ලිපියෙහි ප්‍රේමකීර්ති පිළිබඳව ලියැවුණු දේ හැරුණු විට” සමහර කොටස් සංස්කරණය කර එම ලිපිය සකස් කර ඇත. එහෙත් එම සටහනෙහි රසවත් බවට කිසිදු හානියක් සිදුව නැති බව සහතික වෙමු. 1947 ජුනි 03 වැනිදාවක උපත ලද ප්‍රේමකීර්ති ද අල්විස් 1989 ජුලි 31 අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත්තේය. මේ අතර මැදි කාලයක මෙම සටහන් අප පළ කරන්නේ එකී ගුණානුස්මරණ සහ ජන්මෝත්සවය වෙනුවෙනි.

ප්‍රේමකීර්ති ද අල්විස් පිළිබඳව කෙසේ ලිවිය යුතුද? මා මේ ලිපියේ සිරස්තලය යොදන්නට සිටියේ වෙනත් අග්‍රයකිනි.

“ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මාධ්‍ය භාවිතාව පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනයක්” තවමත් කිසිවකුත් මේ ශාස්ත්‍රීය විමර්ශනය සිදුකොට නැත. මේ සමීක්‍ෂණය සඳහා යොදාගත යුතු නියැඳි පරිශ්‍රය කෙමෙන් වෙනස් වෙමින් පවතියි.

වර්තමානිකයන්ගේ මාධ්‍ය භාවිතය තුළ ප්‍රේමකීර්ති ලකුණ දිය වී වාෂ්පවී පවතියි. ඒ වාෂ්පයෙන් හුස්ම ගන්නා බොහෝ නිවේදකයෝ නැහැපුඩුව ගැන උදම් අනමින් පෙණහලු අමතක කර දමති.

මෙරට මාධ්‍ය ප්‍රජාව බිහි වුණේ එක්කෝ අහම්බයකිනි. නැත්නම් වැරැද්දකිනි. නිවැරදි විද්‍යාත්මක පරිවාසයකින් පුහුණුව ලබා වෘත්තීයතාවක් ගොඩනඟා ගන්නට අධ්‍යයන පහසුකමක් ලබාගත්තවුන් අතරින් මාධ්‍ය භාවිතයට ඉතිරි වුණේ කොළඹගේ, තේවිස් ගුරුගේ, එච්. එම්. ගුණසේකර, කරුණාරත්න අබේසේකර වැනි පුරෝගාමීන් සුළුතරයක් පමණි. තවත් පිරිසක් ප්‍රායෝගික මාධ්‍ය භාවිතාවක මාධ්‍යකරුවන් නොවී අධ්‍යාපන වපසරියක මාධ්‍යවේදීන් වූහ. මේ වචන දෙක ද අද අපි පටලවාගෙන සිටිමු. නඩුකාරයාට කාරයා කෑල්ල අගෞරවයක් නොවුණාට කලාකාරයාට එය ගෞරවයක් වුණාට පොලිස්කාරයාට මාළුකාරයට සහ රස්තියාදුකාරයාට එය මදිකමක් සේ දැනෙන්නේ ලු. එසේ හෙයින් මාධ්‍යකාරයාට කාරයා යැයි කීම අගෞරවයක් සේ සිතූ වර්තමානය ඔහුට අලුත් කෑල්ලක් බවුතීස්ම කළේය. ඒ මාධ්‍යවේදියා යන ගෞරව ආරූඪයයි. වේදියා යනු වේදය හෙවත් විද්‍යාව දරන්නෙකි. මාධ්‍ය ලෝකයේ ද මාධ්‍ය නමැති විද්‍යාව දරන” එය අධ්‍යාපනය කරවන වියත් මඬුල්ලක් වෙසෙත්” ඔවුහු විශ්වවිද්‍යාලවල සහ වෙනත් අධ්‍යාපන ආයතනවල මාධ්‍ය නමැති විද්‍යාව උගන්වමින් එය පර්යේෂණය කරමින්” මාධ්‍ය විවච්ඡේදනය කරමින් පසුවෙති. එහෙත් අද මාධ්‍ය වේදය පිළිබඳ අබ ඇටයක දැනුමක් නැති පත්තරයක කුඩා තීරුවකට ප්‍රාදේශීය වාර්තාවක් ලියන මාධ්‍යකාරයා ද මාධ්‍යවේදියකු ලෙස හැඳින්වේ. එහි ගෞරවයක් තිබිය හැකිය. එහෙත් වචනය වැරදිය වෛද්‍යවරයා සහ වෛද්‍යවේදියා යනු දෙදෙනෙකි. සමහරවිට මේ දෙදෙනා ම එක් අයෙකු ද විය හැක. මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෛද්‍යවේදියෙකි. ඔහුට අවශ්‍ය හැම විටකම වෛද්‍යවරයකු ද විය හැක. එහෙත් හැම වෛද්‍යවරයකුම වෛද්‍යවේදියෙක් විය නොහැක. මාධ්‍යකරුවන් ද එලෙසම ය. ඔවුන් අතර මාධ්‍යවේදීන් සිටියි. එහෙත් අද අප භාවිත කරන පරිදි හැම මාධ්‍යකාරයෙක්ම මාධ්‍යවේදියෙක් නොවන්නේය. මේ රටේ අනාගතයේදී වත් නිවැරදි මාධ්‍යවේදයක් සකස් වී සියලු මාධ්‍යකරුවන් එකී මාධ්‍යවේදය හදාළා අයවලුන් වූ දවසක මාධ්‍යකාරයාට තම කාරයා කෑල්ල ද අගෞරවයක් නොවනු ඇත. එවිට මාධ්‍යකරුවන් මාධ්‍යවේදීන්ට ගෞරව කරමින් තමන් ද ගෞරවනීය වන්නේය.

අධිරාජ්‍යවාදීන්ගේ පුද්ගලික විනෝදය සඳහා අටවාගත් රේඩියෝ සිලෝන් එක ජාතික අවශ්‍යතාවක් වෙත කර තබා යන්නට ලංකාවේ පුරෝගාමී සුළුතරය දැඩි වෙහෙසක් අත් වින්දහ. ඔවුහු ජාත්‍යන්තර මාධ්‍ය වියරණය සිය බී බී සී අධ්‍යයනයන්ගෙන් ලබාගෙන තිබූ අතර මෙරටේ ජාතික සිතුවිල්ල තම උපන් ගමෙන් රැගෙන අවුත් සිටියහ.

හැත්තෑව දශකයේ දී ප්‍රේමකීර්තිලා විවරණ ලබන්නේ මේ දේශීය බුද්ධිමතුන්ගේ සෙවණ ලබමිනි. අමරබන්ධු රූපසිංහ, බණ්ඩාර කේ විජේතුංග, ලූෂන් බුලත්සිංහල, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ සහ ප්‍රේමකීර්ති ද අල්විස් බඳු ගුවන් විදුලි තරුණයන් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ කුළු ගැන්වීම සටහන් කළ තාරකා නිවේදකයන් බවට පත් වූහ. ඔවුන් සතුව තිබූ මහා පරිමාණ සංස්කෘතික සහ ජාතික කුශලතාවන් හේතුවත් පෙර පරම්පරාවේ නිවැරදි මඟ පෙන්වීමත් මේ ජාතික පෞරුෂ ගොඩනැංවීමට හේතු විය.

ප්‍රේමකීර්ති රූපවාහිනී සජීවී පූරකවරයට බසින්නේ 80 දශකයේ මුල් කාර්තුවේදීය. නැත්නම් ලාංකීය රූපවාහිනී නිවේදන ඉතිහාසයේ මුල් අවස්ථාවේම ය.
Announcer and presenter කියා පැහැදිලි දෙදෙනෙක් ඉංග්‍රීසි භාෂාවේ සිටිය ද සිංහලයේ ඉන්නේ ‘නිවේදක’ කියා එක් කෙනෙකි. Announcer ගේ සහ presenter ගේ භූමිකාව පැහැදිලිව ම දෙ ආකාරයි. Announcer යනු කෙළින්ම නිවේදකයායි. ඔහු ඉතාම වගකීමකින් යුතුව යමක් නිවේදනය කරයි. මේ නිවේදනය ඔහුගේ හෝ වෙනත් අයකුගේ හෝ විය හැකියි. මේ නිවේදනය නැත්නම් සංදේශය (පණිවිඩය) ග්‍රාහකයන් වෙත බාධාවකින් තොරව ගෙන යෑම සඳහා නාලිකා භාවිත කිරීම ඔහුගේ වගකීමයි. මේ ක්‍රමවේදය බොහෝදුරට ව්‍යාකරණානුකූල වේ. (මේ ව්‍යාකරණය යනු භාෂාත්මක ව්‍යාකරණය පමණක් නොවේ.) එහෙත් presenter ඊට වඩා වෙනස් මාධ්‍යකරුවෙකි. ඔහු ගේ සංදේශය ඔහු සතු වෙයි. ‘අප වැඩසටහන් ඉදිරිපත් කරන්නා’ යන වාක්‍යයෙන් හඳුනාගන්නේ මේ presenter යන තනි වචනයයි. ඔහු මේ විස්තරයේ නැත්නම් වැඩසටහනේ අයිතිකාරයා බඳුය. අනුන්ගේ නිවේදනයක් කියවන්නාට නැති වගකීමක් මේ ඉදිරිපත් කරන්නා සතුවේ. නාට්‍යයක පොතේ ගුරා නැත්නම් පූරක සතු වන්නේත් මේ වගකීම ම යි. නාට්‍යයකට කතුවරයෙක් නිෂ්පාදකවරයෙක් සිටිය ද ප්‍රේක්‍ෂකයන් ඉදිරිපිට මේ කථා පුවතේ අධිකාරීත්වය දරන්නේ පූරකවරයා ය. ඔහු මුළු කථාව ම හොඳින් දනී. කථාවේ ඒ ඒ අවස්ථාවන් නූලකින් මෙන් අමුණමින් (සූත්‍රධාරී) හැකිතාක් පැහැදිලිව මේ පුවත ප්‍රේක්‍ෂකයන්ට සන්නිවේදනය කිරීමේ වගකීම දරන්නේ ඔහුයි. එහෙයින් සන්නිවේදනයේ හමුවන presenter යන වචනයට ගැළපෙන සිංහල වචනය පූරකවරයා යැයි මීට ඉහතදී අප විසින් යෝජනා කෙරුණි.

ප්‍රේමකීර්ති හොඳ පූරකවරයෙකි. මෙරට රූපවාහිනී පූරකවරයෙක් ආදීකර්තෘ ඔහු යැයි රූපවාහිනී ඉතිහාසයේ ලියැවී තිබිය යුතු ය. පූරකවරයකුට අවශ්‍ය බොහෝ හුරුබුහුටිකම් ඔහු සතුව පැවතුණි. පූරකරවරයා නිවේදකවරයා තරම් සිද්ධාන්තගත නොවූ නිදහස් ආරක් නිසාය. එය නිර්මාණශීලී භාවිතාවකි. ප්‍රේමකීර්ති ගේ නිර්මාණශීලීත්වය එයට පොහොර සැපයීය. පූරකවරයා භාෂා වාදකයකු විය යුතුය. ඔහු සතුව මනා වාග් කෝෂයක් තිබිය යුතුවා මෙන්ම එය වාදනය කිරීමේ ශිල්පය ද ඔහු ප්‍රගුණ කරගෙන සිටිය යුතුයි. පූරකවරයකුට අවශ්‍ය ජනශ්‍රැතික සාධක බොහෝමයක් අපේ සංස්කෘතිය විසින් අපට දිනා දී තිබුණේය. වාචාලයා සහ මුඛරීයා අතර වෙනස අපට අපේ ජනශ්‍රැතියෙන් ම තෝරා වෙන් කොට දී තිබිණි. වාචාලයා යනු කටකමසරියාවක් නැතිව දොඩවන අප්‍රබුද්ධ සන්නිවේදකයෙකි. මුඛරීයාගේ කථා විලාසය ගඟ ගලනවා වගේය. වාචාලයා දොඩවන්නේ තල් අත්තට බොරලු ගහනවා වගේය. මුඛරියා ප්‍රබුද්ධයෙකි. ඔහුට බොහෝ ඇසූ පිරූ තැන් ඇත. ඔහු සිය ජීවිතය විශ්වවිද්‍යාලයක් කරගත් ප්‍රායෝගික උගතෙකි. පූරකවරයාට අත්‍යවශ්‍ය වූ මේ මුඛරිකම ප්‍රේමකීර්තිට තරම් පිහිටි තවත් මාධ්‍යකරුවෙක් මේ කෙටි මාධ්‍ය ඉතිහාසය තුළ අපට හමු වී නැත. අද තරුණ පූරකවරුන්ට වාචාලාය සහ මුඛරියා වෙන්කොට ගත නොහැකි වී ඇත.

ප්‍රේමකීර්තිගේ මුඛරිකම භාෂා වාදකයකු ලෙසින් ප්‍රේක්‍ෂකයන් වෙත ගලා ආ නිසා ඔහු ප්‍රසන්න මිනිසෙක් වී සිටී. ඔහුගේ දැනුම් පථය තම වාග් කෝෂය හරහා වාදනය වන්නේ අතිශය ළෙන්ගතු හඬකිනි.

පූරකවරයකුගේ දැනුමේ ගවේෂණ ක්‍රමවේදය පිළිබඳ අගනා පාඩමක් වරක් මම ප්‍රේමකීර්ති නම් මාධ්‍ය ගුරුවරයාගෙන් ලබා තිබුණෙමි. එය වනාහී ජාත්‍යන්තර පූරක න්‍යාය සිද්ධාන්තයක ඇතුළු කළ යුතු විෂය කාරණාවකි. ප්‍රේමකීර්ති ද අල්විස් නම් ලාංකීය රූපවාහිනී පූරකවරයේ ආදීකර්තෘ සමග හරි හරියට හිඳ ජාතික රූපවාහිනියේ ආයුබෝවන් වැඩසටහන මෙහෙයවන්නට මට මගේ ආරම්භක කාලයේදී වාසනාව පෑදුනි. එවකට මම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ගෞරව උපාධියක් හදාරණ තරුණ ශිෂ්‍යයෙක්මි. කියවීම අධ්‍යයන කාර්යකට වඩා විනෝදාංශයක් කරගෙන සිටි මම පුස්තකාල භාවිතාවට හුරු වී සිටියෙමි. එහෙයින් ආයුබෝවන් පීඨිකාවේ කථා කිරීමට අවශ්‍ය තොරතුරු සොයා මම පුස්තකාලය පීරුවෙමි. මට බොහෝ තොරතුරු ලැබෙයි. එහෙත් කථා කිරීමට දිගු කාලයක් නොලැබෙයි. වැඩසටහන වෙනුවෙන් ම බොහෝ අමාරුවෙන් සොයා ගත් තොරතුරු කෙසේ හෝ මේ කෙටි කාලය තුළ කියා ගැන්මට ගොස් මට වේගයෙන් කියවා යෑමට සිදුවිය. අස්වැසිල්ලක් නැත. සොයා ගෙන ආ කරුණු ද පැටෙලයි. ප්‍රේක්‍ෂකයන්ට මා කියන දෑ නො පැහැදිලි වෙයි. මම පූරක අර්බුදයක පැටලී සිටියෙමි. මා වැටි ඇති අමාරුව වටහාගත් ප්‍රේම් අයියා වරක් මා පසෙකට කැඳවා අපූරු උපදේශයක් දුන්නේය.

මල්ලි මෙහෙ වරෙන්… අද පටලවාගත්තා නේද….

එක නේන්නම්. කියන්න හිතං හිටපු දේ කියැවුණේ නෑ යි මම කීවෙමි.

උඹ ඊයේ ලයිබ්‍රරියේ ද හිටියේ…
ඔව් සෑහෙණ්ඩ කරුණු හොයා ගත්තා

මේකයි, ප්‍රෝගෑම් එකක් වෙනුවෙන් කියලා පොත් කියවන්න එපා.
ජීවිතය වෙනුවෙන් කියවපං. අපි දැනුම රැස් කරන්න ඕනේ ජීවිතයටයි.
ඒ දැනුම කවදාහරී ප්‍රෝගෑම් එකකට ගන්න පුළුවන් වෙයි….

මේ ළෙන්ගතු උපදේශයේ තිබූ ශාස්ත්‍රීය වටිනාකම මට එකෙනෙහිම වැටුහුණි. ප්‍රේමකීර්තිගේ ගීතවල කවිවල ඇත්තේ ද ජීවිතය පිළිබඳ එබඳු ලෙංගතු එහෙත් ශාස්ත්‍රීය උපදේශයන්ය.

ඒ ළෙන්ගතු භාෂා වාදනය සඳහා ඔහු පුහුණුව ලැබුවේ ගුවන් විදුලියෙන්ය. නිවැරදි උච්චාරණය පිළිබඳ සියලු ශිල්ප ප්‍රාගුණ්‍යය ප්‍රේමකීර්ති දරා තිබිණි.

ප්‍රේමකීර්තිගේ කවි සිත මෙන්ම ක්‍ෂණිකකම ද මේ පූරකවරයට තවත් ශඛ්‍යතාවක් ගෙන ආවේය. ප්‍රේමකීර්ති බස්ටෑන්ඩ් එකකදී සිගරැට් කොලයක් අහුලා ඒ මත ප්‍රබුද්ධ ගීත ලියූ ගීත රචකයෙකි. මහ මැඳුරුගත සම්භාව්‍ය ජීවිත පැවැත්මක් නොවූ නිසාදෝ අප රටේ සමහර විචාරකයන් ප්‍රේමකීර්තිගේ කවිකම අගය කරන්නේ ඔහු ජන කවියෙකි. කියන ආදර නාමයෙනි. ඒ ආදරයත් එක්කම ජන කවියාට විශ්වවිද්‍යාලයක් නැත. යන හීන්සැරයක් ඇති යැයි අපට සිතේ. ප්‍රේමකීර්තිගේ ශාස්ත්‍රීය දැනුම් සම්භාරය

විභාගයක පෙනේරයකින් හැලිය නොහැක. ප්‍රේමකීර්ති මේ රටේ පළමුවැනි ආදරණීය රූපවාහිනී පූරකවරයා යන තාතාන්තරය දැරුවේ මේ බුද්ධියේ බලමහිමයෙනි. ප්‍රේමකීර්ති තම හාත්පස ලෝකය අල්ලා ගත්තේ අතැඹුලක් සේ ය. ජීවිතය සැහැල්ලුවෙන් සහ සංක්‍ෂිප්තයෙන් දකින්නට ඔහුට හැකි වූයේ ඔහු සතු වූ මේ ‘හයිකු’ කම නිසාවෙනි. සෙන් බුද්ධාගමේ හයිකු කවියක ඇති ගැඹුරු දාර්ශනික අර්ථයෙන් නම් ප්‍රේමකීර්ති ජන කවියෙකි. අලියාගේ නැට්ටේ එල්ලී දිවිය ලෝකේ ගිය ගමරාලව ප්‍රංශ චිත්‍රපටකාරයකුට නම් ෆැන්ටසි මූලාශ්‍රයකි. අපේ හාංසි පුටු විචාරකයකුට නම් මෝඩ ගැමිකමකි.

ප්‍රේමකීර්තිගේ පූරක ප්‍රවීණත්වයේ හේතුවෙන් ඔහු අප රටේ පුරවැසියන් තුළ තානාන්තර දෙකක් භජනය කළේය. මේ තත්ත්වද්වය වනාහී පූරකවරයකු තුළ නිධිගතව තිබිය යුතු අනිවාර්ය කොන්දේසි දෙක වන්නේය.

  1. ඔහු දැන උගත් මිතුරෙකි.
  2. ඔහු නැතිවම බැරි මිනිසෙකි.

පූරකවරයා යනු දැන උගත් මිතුරෙකි. දැන උගත් ගුරුවරයා යනු පූරකවරයෙක් නොවෙයි. ගුරුවරයාට වඩා මිතුරා අපට ළෙන්ගතු ය. මිතුරා යනු අපේ පිලේ මිනිසෙකි. මේ පිල යනු හැමටම පොදු පිලකි. මේ රටේ බාල මහලු හැම කෙනකුට ම ප්‍රේමකීර්ති තම තමන්ගේ පිළේ, තමන්ගේ වයසේ, තමන්ගේ තරාතිරමේ මිතුරෙකි. එහෙත් මේ මිතුරා සෙසු මිතුරන්ට වඩා වෙනස් වන්නේ ඔහු ‘දැන උගත්’ මිතුරෙක් වන නිසා ය. දැන උගත් විද්‍යාර්ථියකු හෝ දැන උගත් ප්‍රබුද්ධයකු වෙත අපට මිතුරුකමක් ඇති නොවෙයි.

දැන උගත් ‘මිතුරා’ ජීවිතයට උපදෙස් දෙන්නේ ආගමික නායකයකු උපදෙස් දෙන විදිහට නොවෙයි. පූරකවරයාගේ ඊළඟ ලක්‍ෂණය එයයි. එහෙයින් ඔහු ‘නැතිවම බැරි මිනිසෙක් බවට පත් වෙයි’ මේ නැතිවම බැරි මිනිසා හමු වනතුරු සතියක් කල් ගෙවන්නටත් ග්‍රාහකයන්ට බැරිය. හැම උදයකම ඔහු දකින්නට ඇත්නම් යෙහෙකැයි ග්‍රාහකයෝ සිතති. ප්‍රේමකීර්ති මිය ගියදා කිසි දවසකවත් ඔහුව හැබැහින් නොදැක සිටි මේ රටේ කුඩා දරුවන් පවා හඬා වැටුණේ ඔහු නැතිවම බැරි මිනිසෙක් බවට පත්ව තිබූ නිසාවෙනි.

මේ නැතිවම බැරි මිනිසා ‘ඇතිවම බැරි මිනිසෙක්’ ලෙස තෝරා ගත් අධම හෙළයන් සොච්චමක් අපේ පුරෝගාමි පූරකවරයා අපට අහිමි කළේය. ඔවුන් කරගත් මහා පාපකර්මයේ කාලකන්නි ශාපය ඔවුන් මත පරාජය ම වපුරන බව මෑත දේශපාලන ඉතිහාසය පුරා අපි හොඳින් අත් වින්දෙමු.

අද නවක මාධ්‍යකරුවන්ට සන්නිවේදනයේ සිද්ධාන්ත කියා දීමට විශ්වවිද්‍යාල මට්ටමින් ගුරුවරු සිටිති. එහෙත් පූජකවරයේ අත්‍යවශ්‍ය ප්‍රායෝගික අභ්‍යාස කියාදීමට ගුරුවරු නැත. ප්‍රේමකීර්තිට සිද්ධාන්තයක් තිබුණි. එය ලියා තැබීමට හෝ කියාදීමට දිසාපාමොක් කමක්වත් තක්‍ෂිලාවක්වත් ඔහුට නොතිබුණි. එහෙත් ප්‍රේමකීර්ති දෙස බලාසිට බොහෝ දේ ඉගෙනගත් බොහෝ දෙනා සමහරවිට එය නොදැන සිටිනවා විය හැකිය. සමහරවිට එය දැන නොකියනවා විය හැක. ප්‍රේමකීර්ති මේ මාධ්‍ය සංස්කෘතියට වාෂ්ප කළ දැනුමෙන් හුස්ම ගන්නා බොහෝ දෙනා නැහැපුඬුව ගැන කතා කරනවා විනා පෙණහලු ගැන කතා නොකරන බව අප කීවේ ඒ හේතුවෙනි.

මම නාට්‍යකරුවකු වූ පිනෙන් ශිෂ්‍යයෙක්ව සිටි අවධියේදී ම රූපවාහිනි සංස්ථාවෙන් ආරාධනාවක් ලැබුවෙමි. කොළඔ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය සිද්ධාන්ත ඉගෙන ගන්නා අවධියේ දීම කිසිවෙකුටත් නොලැබුණු පූරකවරයේ ප්‍රායෝගික පාඩම් මම ඉගෙන ගත්තේ ලූෂන් බුලත්සිංහලගෙන් සහ ප්‍රේමකීර්ති ද අල්විස්ගෙනි. ප්‍රේමකීර්ති ද අල්විස් විසින් මට කියා දෙවුණු පූරකවරයේ ප්‍රායෝගික පාඩම් ජනමාධ්‍ය පිළිබඳ ආචාර්ය උපාධියකට වුව ද භාවිත කළ හැකි. එහෙයින් මට නම් ප්‍රේමකීර්ති ජන කවියකු” මහා කවියකු” චින්තකයකු දාර්ශනිකයකු භාෂා වාදකයකු නොහොත් පූරකවරයකු වෙනවා පමණක් නොව ප්‍රායෝගික ජනමාධ්‍යකරණය පිළිබඳ මහාචාර්යවරයකු ද වන්නේය.

මාධ්‍ය ඉස්කෝලේ ගෝලයින් නැති ගුරුතුමා

ජැක්සන් ඇන්තනි

මාධ්‍ය ඉස්කෝලේ ගෝලයින් නැති ගුරුතුමා
advertistmentadvertistment
advertistmentadvertistment