මානවයාගේ නිදහස අගය කළ බුදුන් වහන්සේ

72

යම්කිසි ආගමකින් තත්කාලීන සමාජයේ අවශ්‍යතාවන් නොපිරිමැස්මේ නම් එබඳු ආගමකට විරුද්ධව අමුතු ආගමක් පහළවීම ස්වාභාවිකය. බුද්ධ කාලයට පළමු වෛදික ආගම හා ආත්මාර්ථකාමී බ්‍රාහ්මණ පූජකයන්ගේ ඉගැන්වීම් අනුව දියුණු වෙමින් පැවැති වර්ණ භේදය වැනි සමාජ පිළිල නිසා එකල ජන සමාජය නමැති මහා වෘක්ෂය දිරාපත් වෙමින් පැවැතියේය.

ඉන්දියාවේ සමාජ වෘක්ෂයෙන් වර්ණ භේදය නමැති මහා පිළිලය කපා ඉවත් කර දැමීමට මුලින්ම ඉදිරිපත් වූ ශ්‍රේෂ්ඨ උත්තමයාණෝ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේය. සමාජයේ මුල් බැසගත් අදහස්වලට විරුද්ධව මානසික විප්ලවයක් කළ හැක්කේ උසස්ම චින්තකයකුට පමණකි. මනුෂ්‍යයාගේ නිදහස පිළිබඳ ප්‍රථමයෙන් දේශනා කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ ආඥාදායකයකු හෝ මිනිසාත් දෙවියනුත් අතර සම්බන්ධය ඇති කරන්නෙකු ලෙස නොව මාර්ගෝපදේශකයකු ලෙස කටයුතු කළහ. බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලද මාර්ගය නම් ධර්මයයි. සංඝයා නම් ඒ ධර්මය පිළිපදින්නෝයි.

නායකයා යනු මඟපෙන්වන්නාය. පමුණුවන්නාය. නායකයා නිවැරදි නම් පිරිසද නිවැරදි වේ. නායකයා වැරදි සහිත නම් පිරිසද වැරදි සහිත වේ. බුද්ධකාලීන ආගමික නායකයන් තම පිරිස්වලින් ඇතැම් විට ප්‍රතික්ෂේප වූයේ නායකත්වයේ තිබූ දුර්වලතා නිසාය. එනමුත් තථාගතයන් වහන්සේ යනු ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම නායකයාය. එය අතිශයෝක්ති කියමනක් නොව අන්‍ය ආගමිකයන්ගේ පවා ඇගයීමට ලක්වී ඇත. නායකත්වය තුළ ආදර්ශ සම්පන්න භාවය ඉතා වටී. තමාද කාර්යයෙහි නිරත වෙමින් අනෙකා යොමු කරන නායකයා අනුගාමිකයන්ගේ පැසසුමට ලක්වේ. පළමු රහත් හැටනම ධර්ම ප්‍රචාරයෙහි යොදවා උන්වහන්සේද උරුවෙල් දනව්වට ධර්ම ප්‍රචාරය පිණිස වැඩි සේක. එය උන්වහන්සේගේ ආදර්ශවත් භාවයයි. කියන දේ කරන සහ කරන දේ කියන ගුණය වන යථාවාදී තථාකාරී හා යථාකාරී තථාවාදී ගුණය නායකයකු සතු විය යුතුය. තමනුත් හික්මී අනෙකාට අනුශාසනා කරන්නා වූ නායකයා කිසිදිනක නොපිරිහේ. අනුගාමිකයන්ගේ ගෞරවය දිනාගනී.

අනුගාමිකයන් අතර මෙන්ම අන්‍යාගමිකයන් අතරද බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසයක් තිබුණි. තම ගැටලුවලට විසඳුම බුදුරජාණන් වහන්සේ සතු බව ඔවුන්ගේ නිගමනය වූහ. ශාස්තෘවරයකු වශයෙන් උන්වහන්සේ සතු වූ සියලු ගුණාංගයෝ නායකත්වය තුළින්ද මැනවින් විදහා දැක්වේ. විවිධ පුද්ගලයන් ඉදිරිපත් කළ තර්ක විතර්ක හමුවේ යථාර්ථවාදීව කටයුතු කළේද, අනෙකාට ප්‍රිය උපදවන අයුරින් ව්‍යක්ත ලෙස භාෂාව භාවිතා කළේද, සැමවිටම නිහතමානී බවින් හා සරල ජීවන ප්‍රතිපදාවකින් මෙන් ලෝකයාට සිතන්නට විමසන්නට අවස්ථාව ලබාදීම තුළින් විදහා දක්වන්නේ උන්වහන්සේ සතු උතුම් නායකත්වයයි. උන්වහන්සේගේ නායකත්වය විශේෂ වශයෙන්ම අගය කළ යුත්තේ දේශනාව අවසානයේ සත්ත්වයා නිවන කරාම පමුණුවන බැවිණි.

තථාගතයන් වහන්සේ අනුගාමිකයන් සමඟ සමීපස්ථ වූයේ ධර්ම දේශනාව තුළිනි. අනුගාමිකයන් අන්‍යාගමිකයන් බුදුරජාණන් වහන්සේව හඳුනා ගත්තේ අනුශාසනාව තුළිණි. තමන්ට වැටහුණු කරුණ ඒ අයුරින්ම කීම අනුශාසනාව නොවේ. පුද්ගල විවිධත්වය දැනගෙන ගැළපෙන පරිදි ලබාදීමෙන් පමණක් සාර්ථක සන්නිවේදනයක් සිදුකළ හැකිය. බුද්ධත්වයෙන් අනතුරුව ආලාර කාලාම, උද්දකරාම පුත්ත, වැන්නවුන් නොමැති බැවින් පස්වග මහණුන් සොයා ගොස් දහම් දේශනාව සිදු කළේ සන්නිවේදනය සාර්ථක වීම පිණිසය. බුදුදහම ගැඹුරුය. අවබෝධයට අපහසුය. දැකීමට අපහසුය. ශාන්තය ප්‍රණීතය. සියුම්ය. තර්කයට ගෝචර නොවන්නකි. පණ්ඩිතයන්ටම විෂය වන්නකි. එවන් දහමක් කෙලෙස් ඇති ජනයාට සමීප කිරීමේදී විවිධ සන්නිවේදන උපක්‍රම භාවිතා කිරීමද නායකත්වයේ සුවිශේෂී ලක්‍ෂණයකි.

ධර්මයේ පරම හතුරා නොඉවසීම බව බුදුරජාණන් වහන්සේ නොයෙක් වර දෙසූහ. යම් කෙනෙක් මට මගේ ධර්මයට හෝ සංඝරත්නයට දොස් නගත් නම් ඒ ගැන කෝප නොවිය යුතුය. එසේ කෝප, අමනාප වුවහොත් තමාගේම ආධ්‍යාත්මය කෙලෙසෙනවා පමණක් නොව ඔහු විසින් කියනු ලබන කරුණු හරිද වැරදි දැයි තීරණයක් ගැනීමටද අපහසු වේ. මෙසේ බුදුරජාණන් වහන්සේ ඉවසීමේ අනුසස් දෙසුවා පමණක් නොව එම අදහස් ක්‍රියාත්මකද කළහ.

හුදෙක් තමන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අනුවම නොසිතා, ජීවිතයත් ලෝකයත් පිළිබඳ යම් යම් කරුණු තර්කානුකූලව පිරික්සා බලා භාරගන්නා ලෙස ස්වකීය ශ්‍රාවකයන්ට අනුශාසනා කළ සේක. බුදු දහමේ ව්‍යාප්තිය විශ්වය දක්වාම ගමන් කළේ එහි ඇති ආගමික මුහුණුවරට වඩා දාර්ශනික වූ ඉගැන්වීම් පදනම් කරගෙන බව අවිවාදය. වෙනත් ආගම් ශාස්තෘවරු ලබා නොදුන් මඟපෙන්වීම් බොහෝමයක් බුදුරජාණන් වහන්සේ පුද්ගලයාට ලබාදී ඇත.

බුදු දහම සෑම විටම බැබලුණේ විවෘත වීමෙන් මිස වැසී තිබීමෙන් නොවේ. විවෘත වීම යනු චින්තනයට හා විමසුමට ලක්වීමයි. බුදුරජාණන් වහන්සේ වෙනත් ආගමිකයන් සේ කිසිවක් අකමැත්තෙන් හෝ මෙය කළ යුතුය යනුවෙන් පනවා නැත.

සුද්ධිය අසුද්ධිය ඇත්තේ තමා තුළ බැවින් පිළිගැනීම නොපිළිගැනීම තමාගේ ඥානයට ගෝචර වන්නකි. ලෝකයේ යම් දියුණුවක් ලබන්නේ ඒකාන්ත වශයෙන්ම චින්තනයක් ඇත්තාම බව බුදුදහම පෙන්වා දෙන්නේ එබැවිනි. මෙකී සියලු කරුණු තුළින් ප්‍රකට වනුයේ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නායකත්ව ගුණාංගයි.

දඩල්ල, වාලුකාරාම වෙහෙරවැසි, ශාස්ත්‍රපති,
රත්ගම සුනීත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment