මානව හිතවාදී මිනිසෙකුගේ සදා නොමියෙන මතකය විජය

30

විජය කුමාරතුංග ශ්‍රීමතාණන්ගේ 37 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි….

සුවහසක් ශ්‍රී ලාංකීය ජනතාවගේ සිත්සතන් හොරාගත් කෘතහස්ත රංගධරයකු මෙන්ම මනුදම් පිරි ජනතාවාදී දේශපාලනඥයකු වූ කෝවිලගේ විජය ඇන්තනී කුමාරතුංගයන් 1945 වසරේ පෙබරවාරි 09 වැනි දින සීදූවේදී උපත ලැබීය. ඔහුගේ පියා ගම් 07ක් භාර ගම්මුලාදෑනියකු වූ බෙන්ජමින් කුමාරතුංග වූ අතර මව ක්ලේරා බියට්‍රිස් නම් වූ කාන්තාවකි. පිරිමි දරුවන් දෙදෙනකු හා ගැහැණු දැරියන් දෙදෙනකු වූ පවුලේ බඩපිස්සා වූයේ විජය කුමාරතුංගයන්ය. ඔහුට සිඩ්නි නම් (ජීවන් කුමාරතුංගයන්ගේ පියා) වැඩිමහල් සහෝදරයකු හා විවියන්, රූපා (හිටපු පළාත් සභා මන්ත්‍රිනි) නමින් සහෝදරියන් දෙදෙනකු විය. දෙවසරක් වැනි කුඩා අවධියේම සිය පියා අහිමි විජය කුමාරතුංගයන්ගේ පවුලේ වැඩි බරක් යොමුවන්නේ වැඩිමහල් දරුවා වූ සිඩ්නි කුමාරතුංගයන්ගේ දෙවුර මතයි.

කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරන විජය කුමාරතුංගයන් සිය පාසල් සමයේ රංගනයට වඩා ගායනයට වැඩි දක්ෂතාවයක් පෙන්නුම් කළ බව ඔහුගේ සමකාලීනයන්ගේ අදහසයි. සී. ටී. ප්‍රනාන්දු කලාකරුවාගේ ගීත ගායනයට ඇල්මක් දැක්වූ විජය පාසල් කාලය තුළදී රඟපා ඇත්තේ “පණ්ඩුකාභය” නැමති එක් වේදිකා නාට්‍යයක පමණක් වීම සුවිශේෂී කරුණකි. ගායනය රංගනයට අමතරව හොඳ කථිකත්වයෙන් හෙබි විජය පාසලේ දක්ෂ කථිකයකුද විය. එල්ලේ ක්‍රීඩාවට සුවිශේෂී දක්ෂතා දැක්වූ ඔහු “සමරැස” කණ්ඩායමේ දක්ෂ එල්ලේ ක්‍රීඩකයකු ද විය. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ කුමාරතුංගයන්ගේ කුඩා කළ සිට පැවති මානව දයාව, කරුණාව වැනි ඔහු තුළ රෝපණය වූ ගුණදම් මිතුරන් අතර කල්‍යාණ මිත්‍රයකු මෙන්ම අනුන්ගේ දුක සැප දෙකෙහි ළඟ සිටින අයුක්තිය අසාධාරණයට එරෙහිව පෙනී සිටින සෘජු පුද්ගලයකු විය. කුඩා කළ සිටම නායකත්ව ගති ලක්ෂණ පෙන්නුම් කළ ඔහු එවකට පුද්ගලික විද්‍යාලයක්ව පැවති බෙනඩික් විද්‍යාලය රජයට පවරා ගැනීම වෙනුවෙන් අරගලයක් දියත් කිරීම හේතුවෙන් එම පාසලෙන් ඉවත්වීමට සිදු වූ අතර පසුව කඳාන ද මැසනද් වි්‍යාලයේ සිය අධ්‍යාපනය හැදෑරුවේය.

සිනමා දිවියේ තතු විත්ති

කුඩා කළ සිටම පොලිස් පරීක්ෂකවරයකු වීමට සිහින දකින විජය ඉන් ඈත් වන්නේ මව ඇතුළු පවුලෙන් එල්ල වූ විරෝධතාවය නිසාවෙනි. 1963 වසරේදී සෙරන්ඩිබ් කලායතනයේ නර්තනය හැදෑරීමට යොමුවන ඔහු එම කලායතනය මගින් කෙරුණු වීර පුරන්අප්පු රංගන දායකත්වය ලබාදීමට භාග්‍ය උදාකරගනු ලැබීය. වර්ෂ 1969 දී සුගතපාල සෙනරත් මහතා අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම චිත්‍රපටය වන “හන්තානේ කථාව” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා අවස්ථාවක් විජයට හිමිවන අතර එය ඔහුගේ රංගන දිවියේ සුවිශේෂී කඩ ඉමකි. ඔහු ඊට පෙර “මනමාලයෝ” චිත්‍රපටයේ සෙසු චරිතයක් සඳහා දායක වී ඇති අතර ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන්නේ හන්තාන කථාව තුළිනි.

දශක දෙකකට ආසන්න කාලයක් පුරා දිවෙන විජය කුමාරතුංගයන්ගේ කලා ජීවිතය තුළ ඔහු චිත්‍රපට 120කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇති අතර ඉන් 114 ක්ම ඔහු ප්‍රධාන චරිතය සඳහා පණ පෙවීම සුවිශේෂී කරුණකි. ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර “අහස්ගවුව”(1974), එයා දැන් ලොකු ළමයෙක් (1976), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), මහගෙදර (1980) කැඩපතක ඡායා, ක්‍රිස්තු චරිතය, වැනි සිනමා කෘතීන් ප්‍රධාන තැනක් ගනු ලබයි. ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට අතර හතර දෙනාම සූරයෝ, තුෂාරා, සුසී, සංගීතා, නොම්මර 17, මමයි රජා වැනි නිර්මාණයන් අදටත් විජය ජීවමාන කරනු ලබයි.

රංගනයට මෙන්ම දක්ෂ චිත්‍රපට පසුබිම් ගායකයකු වූ ඔහු ගැයූ චිත්‍රපට ගීත අතර “සහරාවේ සිහිනය” චිත්‍රපටයේ “වළාකුලක් ගෙන” ගීතය සඳහා 1991 වසරේ හොඳම ගායකයා ලෙසද “දොළොස්මහේ පහන” චිත්‍රපටයේ

“පෙමක සුවඳ දැනීලා” ගීතය සඳහාද 1992 දී සරසවි සම්මානය හිමිවිය. “කැඩපතක ඡායා” චිත්‍රපට නිර්මාණ රංගනය වෙනුවෙන් OCIC සම්මානයද 1990 වසරේ හොඳම නළුවා ලෙස ස්වර්ණ සංඛ සම්මානය දිනා ගැනීමද විජය කුමාරතුංගයන්ගේ කලා දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයන් වේ.

විජය කුමාරතුංගයන්ගේ දේශපාලන ආගමනය

සිය කුඩා අවදියේ සිටම අයුක්තිය අසාධාරණයට එරෙහිව පෙනී සිටින විජය තුළ වාමවාදී අදහස් රෝපණය වන්නේ සිය වැඩිමහල් සොහොයුරා වූ සිඩ්නි දැඩි සමසමාජ පාක්‍ෂිකයකු වන නිසාවෙනි. සිය සොහොයුරා උපතින් පෝලියෝ රෝගියකු වන බැවින් “සමසමාජ පුවත්පත” පාපැදියෙන් සීදූව, කටාන, මීගමුව, දිවුලපිටිය ආදී ප්‍රදේශවල බෙදාහැරීමේ වගකීම විජය වෙත පැවරී තිබුණි. සිය මවගේ සොහොයුරා වූ දිවංගත මාහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ එවකට මීගමුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු වැනි අය සිය සොහොයුරා සමගින් නිවසේදී කරනු ලබන දේශපාලන සංවාද කන වැකෙන ඔහු තුළ දේශපාලන අංකුර රෝපණය වන්නේ පාසල් අවධියේ සිටමය. හිටපු අමාත්‍යවරුන් වන ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහ වෛද්‍ය කොල්වින් ආර් ද සිල්වා වැනි වියතුන්ගේ දේශපාලන රැස්වීම් සඳහා සහභාගී වන විජය නිවසට පැමිණ ඔවුන් අනුකරණය කරමින් කථා පවත්වන බව වරෙක ඔහුගේ සොහොයුරියක වන රූපා කුමාරතුංග පුවත්පතකට පවසා ඇත.

එලෙස පෝෂණය වූ විජය නැමති පතාක දේශපාලන චරිතය ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. ඔහු මුලින්ම ආසනයකට තරග වදින්නේ 1977 වර්ෂයේදී තම උපන් ගම වන කටාන ආසනය නියෝජනය කරමිනි. විජයගේ ප්‍රතිවාදී අපේෂකයා වූයේ විජයපාල මෙන්ඩිස් මහතාය. කොමියුනිස්ට් පක්ෂයෙන් නන්දා ද සිල්වා තරග කරන ලදී. 1977 මහ මැතිවරණයේ ජයග්‍රහණයේ එළි දැල්වී තිබුණේ ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු එක්සක් ජාතික පක්ෂය දශාවට වුවත් විජය තුළ පැවති හෘදයාංගම බවට ලෙකු කුඩා කවුරුත් වශී විය. කෙසේ වෙතත් එම මැතිවරණයෙන් විජයපාල මෙන්ඩිස් මහතා ඡන්ද 23,950 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබූ අතර විජය කුමාරතුංගයන්ට ලබාගත හැකි වූයේ මනාප 19,738කි.

1978 වසරේ පෙබරවාරි මසදී විජය කුමාරතුංගයන් මෙරට කිර්තිමත් අග්‍රමාත්‍යවරයකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක සහ ලොව පළමු අගමැතිණිය වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක යුවලගේ කණිටු දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනවිය සමග විවාහ වීම ඔහුගේ දේශපාලන දිවියට තවත් ආලෝකයක් එක් කළේය. ඉන්දියාවේ ක්‍රියාත්මක වන “නැක්සලයිට්” නම් සංවිධානයක සාමාජිකයකු බවට චෝදනා කරමින් එවකට ජේ. ආර්. ජයවර්ධනගේ රජය මගින් විජයත් ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකුත් අත්අඩංගුවට ගැනුණි. මාස දෙකකට වැඩි කාලයක් වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක වධහිංසා පමුණුවමින් රක්ෂිතයේ තබා සිටි විජය ඇතුළු පිරිසට කිසිදු චෝදනාවක් ඔප්පුකරගත නොහැකි වූ නිසා එවක පැවති රජයට ඔවුන් නිදහස් කිරීමට සිදුවුණි.

1982 මැයි 18 වන දින පැවති මහර ආසනයේ අතුරු මැතිවරණයේදී විජය කුමාරතුංගයන්ට එක්සත් ජාතික පක්ෂයෙන් මරණ තර්ජන පවා එල්ල වූ අතර එම මැතිවරණය අතරතුර එල්ලවූ මැර ප්‍රහාරයකින් ඔහුගේ හිතාදරයකුගේ ද දිවි අහිමි කළේය. එම මැතිවරණයේ පළමුවර ඡන්ද ගණන් කිරීමේදී වැඩි ඡන්ද ගණනාවකින් විජයගේ ජයග්‍රහණය තහවුරු වී තිබූ නමුත් එය ප්‍රකාශයට පත් නොකර නැවත ඡන්දය ගණන් කරන ලෙස පත්තලගෙදර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් වෙත ඉහළින් ආඥාවක් එවා විදුලිය විසන්ධි කර හොර ඡන්ද දමා කුමන්ත්‍රණයක් සිදුකොට පරදවන්නේ මනාප ඡන්ද 45 කිනි. එලෙස අයුක්තිසහගත ලෙස එක්සත් ජාතික පක්ෂය මගින් විජය කුමාරතුංගට පාර්ලිමේන්තු දොර වසා දමන ලද්දේ ලාංකීය මැතිවරණ ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක් කරමිනි. එවකට පාලනය විසින් විජය කුමාරතුංගයන්ව නොමරා මරණ ලද්දේ ඒ අයුරිනි.

එවකට පැවති ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා 1986 වසරේදී එල්. ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවති යාපනය ප්‍රදේශයේ ඔහු සංචාරය කරනු ලබන්නේ සිය ජීවිත ආරක්ෂාව පවා නොතකමිනි. උතුරේ නායකයන් හා ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග සාකච්ඡා කරමින් ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා අපරිමිත උත්සහයක් දරමින් දිනෙන් දින ඔහුගේ ජාති ආගම් භේද නොමැති මානව හිතවාදී දේශපාලන ලක්දෙරණ මත වපුරමින් පක්ෂය සංවිධානය කරන ලදී.

මානව හිතවාදියකුගේ අවසන් ගමන

1988 වසරේ ජනවාරි මස 28 වන දින කොළඹ කැම්බල් පිටියේ පැවති මහජන රැළියක් අතරතුර එවකට ක්‍රියාත්මක පක්ෂ බෙදුම්වාදී අරගලය හා ජනතාවගේ ගැටලු විසඳීමට අපොහොසත් වීම පිළිබඳව දැඩි ලෙස විවේචනය කර ඒ සඳහා නව ප්‍රතිපත්තිමය වැඩසටහනක අවශ්‍යතාවය පෙන්වා දෙමින් ශ්‍රී ලංකා මහජන පක්ෂය ප්‍රමුඛව තවත් වමේ දේශපාලන පක්ෂ කිහිපයක් සංධානගතව පුළුල් දේශාපලන වැඩපිළිවෙළක් සකස් කරමින් සිටියදී එම සංධානය ගොඩනැඟීමට දින කිහිපයකට කලින් එනම් 1988 පෙබරවාරි මස 16 වන දින ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දිවා භෝජනයක් සඳහා සහභාගිවීමට නියමිතව සිටි විජය කුමාරතුංගයන් පොල්හේන්ගොඩ පිහිටි තම නිවසේ මිදුලේදී යතුරුපැදියකින් පැමිණි සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයකින් අවසන් සුසුම් හෙලනු ලබනවා.

විජය කුමාරණතුංග මහතාගේ භාර්යාව වූ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති තනතුරට පත් වූ පසු විජයගේ ඝාතනයෙන් වසර 7 ක් පිරුණු 1995 පෙබරවාරි 16 වැනිදා ඒ පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළාය. කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 14 වනදා ආරම්භ කරන ලද අතර දෙසැම්බර් 15 වෙනිදා දක්වා මාස 8 ක කාලයක් තුළ සාක්ෂි විභාග කරන ලදී.

කනගාටුවට කරුණ නම් අවුරුදු 37 කට වැඩි කාලයක් ගතව ඇතත් මේ කිසිවකුගේ මරණවලට සාධාරණයක් යුක්තියක් තවමත් ඉටු නොවීමය. එසේම පවත්නා බල ලෝභී, අවස්ථාවාදී හා එකිනෙකා මත යැපෙන ජරාජීර්ණ දේශපාලනය හමුවේ කිසිදිනක එවැන්නක් ඉටුවෙතැයි සිතීමට ද නොහැක්කේය.

කලා ලෝකයෙන් ලද ජනතා ගෞරවයෙන් උඩඟුනොවී රංගනයෙන්, ගායනයෙන් ජනතාව පිනවනවා සේම මානව හිතවාදී මිනිසෙකු ලෙසින් දුක හඳුනන නායකයෙකු ලෙසින් රටේ දුවාදරුවන්ගේ හා ජනතාවගේ අනාගත සුභ සිද්ධිය උදෙසා ඔහු විසින් සිදුකරන ලද මෙහෙවර මිනිස් හදවත් තුළ සදා අමරණීය වනු ඇත.

අසංක නවරත්න
හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
නායක – ශ්‍රී ලංකා මහජන පක්ෂය.


advertistmentadvertistment