මානව හිමිකම් කඩකිරීම් සිදු වුණොත් ජාත්‍යන්තර තහනම් එන්න පුළුවන්

75

අසාර්ථකයි කියලා එළවපු කණ්ඩායමක් ගෙනල්ලා වාඩි කරලා රටක් ගොඩනගන්න කරන උත්සාහයක්

රටේ නැවත වතාවක් මානව හිමිකම් කඩකිරීම් මෙවැනි දේවල් සිදු වුණොත් අනිවාර්යයෙන්ම අපට ජාත්‍යන්තර තහනම් එන්න ඉඩකඩ තිබෙනවා යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අද අලුත් ජනාධිපතිතුමාට ප්‍රධාන අභියෝග කීපයක් තියෙනවා. එය මේරටේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය

ගොඩනැගීම. එසේ නැතුව රටක් ඉස්සරහට ගන්න බැහැ. ඒ වෙනුවෙන් ඔහුට උපාය මාර්ගික සැලසුම් සහගත වැඩපිළිවෙළක් තිබෙනවාද කියන කාරණය අපි දන්නේ නැහැ. අගමැතිවරයා විදියට වැඩ බාර අරගෙන රටේ ප්‍රතිසංස්කරණ ගැන කතා කළත් ඒවායේ ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ජනතාව ඉල්ලන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම කඩිනමින් කරන්න කියලා. එහිදී තෙල්, ගෑස්, විදුලිය, බෙහෙත්, පොහොර සහ ආහාර ජනතාවට ජීවත්වීමට අත්‍යවශ්‍යම කාරණා. එම කාරණා සඳහා යම් සහනයක් වෙන වැඩසටහනක් කඩිනමින් අනුමත කළ යුතුයි. ඒක කිරීමේ මුලික අභියෝගය ජනාධිපති ඉදිරියේ තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා කියලා පොහොට්ටුවේ පාලනයේ වෙනසක් ඇති වුණා කියලා ජාත්‍යන්තර පිළිගැනීමකට හා විශ්වාසය දිනාගෙන නැහැ. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ. ඒ විශ්වාසය මත තමයි විනිමය සංචිත ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ.

කැබිනට් මණ්ඩලයට ඇමැතිවරු 18 පත් කර බව මාධ්‍යවල තිබෙනවා. තවත් හතරක් පත් කරන්න යෝජනා කරනවා කියලා. හෙට අනිද්දා තවත් අය පත්කරාවි. ඇමැති මණ්ඩලය පැටව් ගැහුවා කියලා වෙනසක් ඇතිවෙලා නැහැ. අද කරල තියෙන්නේ අසාර්ථකයි කියපු බිඳවැටුණා කියපු ඒ කණ්ඩායම යළි ගෙනල්ලා වාඩි කරලා රටක් ගොඩනගන්න කරන උත්සාහයක් හැටියට අපි දකිනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය අසල රැඳී සිටි අරගලකරුවන් ඉවත් කිරීමක් සිදු වුණා. එය සාධාරණීකරණය කරන්න බොහෝ දේවල් ආණ්ඩුව කියනවා. පොලිසිය මාධ්‍ය සාකච්ඡා පැය ගණන් පවත්වනවා. නමුත් අපි දකින්නේ මෙය ම්ලේච්ඡ ප්‍රහාරයක් විදියට. මේක ලෝක අවධානයට යොමු වෙච්ච කාරණාවක්. මාධ්‍යවේදීන් ගණනාවකට හිරිහැර සිදුවුණා. දැනටමත් යුරෝපා සංගමය අනතුරු කරලා. එය ඉතාමත් නරකයි. යුරෝපා සංගමය නිසා තමයි අපේ ඇඟලුම් කෝටාව රැඳී තිබෙන්නේ. එය යම් ආකාරයකින් අහිමි වුණොත් මේ ආර්ථික කඩා වැටීමත් එක්ක අපි බරපතළ තැනකට වැටෙනවා.

ආණ්ඩුව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. මේ මොහොතේ ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍යයි. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය යම් ආකාරයක යහපත් මාර්ගයක් අනුගමනය කරන බව මේ වෙනසත් එක්ක දැනුම් දුන්නේ නැත්නම් අපිට කිසිඳු ආකාරයෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන මේගැන බලාගෙන සිටිනවා. අපේ රටේ නැවත වතාවක් මානව හිමිකම් කඩකිරීම් මෙවැනි දේවල් සිදු වුණොත් අනිවාර්යයෙන්ම අපට ජාත්‍යන්තර තහනම් එන්න ඉඩකඩ තිබෙනවා. මානව හිමිකම් සංවිධාන අපිට දන්වා තිබෙන කාරණා දිහා බැලුවම ඒ ආසන්නයේ තියෙන ඒ වළක්වා ගැනීමේ වගකීම ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් තිබෙනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment