මානව හිමිකම් කවුන්සිලයේ ලොකුම නඩුව… වියදම ඩොලර් මිලියන 28 යි… හමුදා නිලධාරීන් 28 කට යුද අපරාධ චෝදනා

998

ජිනීවා දඩයම ඔක්තෝබර් 1 දා ආරම්භ විය. රජය කිරිපිටි, ගෑස්, සිමෙන්ති සහ සහල් මිල වැඩි කරද්දී ජනතාව ඒ ගැන අවධානය යොමුකරන අවස්ථාවේ රට ත‍්‍රස්තවාදීන්ගෙන් බේරාගත් හමුදා නිලධාරීන් 28 කට යුද අපරාධ චෝදනා මත නඩු පැවරීමේ කටයුතු ආරම්භ කිරීම මෙම ජිනීවා දඩයමයි. එහෙත් මෙරට ජනතාවට ප‍්‍රභාකරන් පමණක් නොව වන්නි මෙහෙයුමේ හමුදා ප‍්‍රධානීන්ද අමතක වී ඇත.

මේ ජිනීවා දඩයම ඒක පාක්‍ෂිකව ආරම්භ කර ඇත්තේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේය.

ඒ සඳහා වැය කරන මුදල ඩොලර් මිලියන 28 කි.

එය ශ‍්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 5600 කට අධිකය. මෙරට හමුදා නිලධාරීන්ට එරෙහි යුද අපරාධ චෝදනා මෙහෙයුමේ කි‍්‍රයාකාරීහු කවුරුන්ද?

මේ එම පිරිසයි.

හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මිත් සූකා හිටපු බී බී සී වාර්තාකාරී ප‍්‍රාන්සස් හැරිසන්

ශ‍්‍රී ලාංකික සහ විදේශ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්

මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට එම සාක්කි සංඛ්‍යාව ප‍්‍රමාණවත් නැත. ඇය ඩොලර් මිලියන 28 ක් වැයකර අලූත් සාක්කි සෙවීමේ කාර්ය මණ්ඩලයක් ආරම්භ කර ඇත්තේ එබැවිනි.

එසේ වුවත් මේ 120,000 ක සාක්කිකරුවෝ කවුරුන්ද?

ඇය එම සාක්කිකරුවන් හෙළිකිරීම නව කාර්ය මණ්ඩලයට තහනම් කර තිබේ. සර්බියාවේ නායක මිලෙසවිත් ඇතුළු හමුදා නිලධාරීන්ට එරෙහි යුද අපරාධ නඩුවලට ඉදිරිපත් වූ සාක්කිකරුවන් සංඛ්‍යාව 800 කට අඩුය. එහෙත් 2019 සිට 2021 දක්වා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මෙපමණ අතිවිශාල සාක්කි තොගයක් එකතු කිරීමට හැකිවීම පිලිගත හැකිද?

මෙය තක්කඩි කි‍්‍රයාවක් නොවේද?

සාක්කිකරුවන් හෙළිදරව් කිරීමකින් තොරව යුද අපරාධ චෝදනා එල්ල කළ හැකිද?

එසේම එම සාක්කි එකතු කිරීමට සහය වූ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සූකා මුලින්ම වන්නි මෙහෙයුමින් 40000 ක් මියගිය බව කීවාය. පසුව එය 68000 දක්වා වැඩිවිය.

බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ එය 70000 ක් දක්වා වැඩිවිය. මේ ගැන නේස්බි සාමිවරයා පැවසුවේ එම සංඛ්‍යාලේඛන බොරු බවයි. මෙලෙස යුද අපරාධ සාක්කි එකතු කිරීම මානව හිමිකම් කොමසාරිස්වරිය 13 කගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ද පත්කර ඇත. එම කාර්ය මණ්ඩලයේ සිටින විනිසුරන් අභිචෝදකයන් හා පරීක්‍ෂකවරු කවුදැයි හෙළිකර නැත.

මිචෙලි බැෂලේ තවදුරටත් දක්වන්නේ ඉදිරියේදී නඩුගොනු කිරීම සඳහා සාක්කි එකතු කරන බවයි. එසේම ඇය තවත් තක්කඩි කි‍්‍රයාවකට සූදානම් වී ඇත. ඒ ශ‍්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු එවීමට තීරණය කිරීමයි. එහෙත් රජය ඇයට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කර ඇතත් ඊට ප‍්‍රතිචාර දක්වා නැත.

මෙම විශේෂ නියෝජිතයා එවීමට තීරණය කිරීම කපටිකමකි. ඔහුව මෙරටට එවන්නේ සාක්කි එකතු කරගැනීමට බව අනාවරණය වී තිබේ. මෙයට පෙර එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් පස්දෙනෙක් මෙරටට පැමිණි අතර ඔවුන්ව හමුවීමට සිංහල සංවිධානවලට ඉඩ නොලැබිණි. එම එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ මෙරටදී හමුවූයේ රාජ්‍ය නොවන සංවිධාන නඩය පමණි. මෙවන් පසුබිමක් මැද ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය යුද අපරාධ ගැන කටයුතු කරන දෙබිඩි පිළිවෙත හෙළිවිය. පසුගියදා ඇෆ්ගනිස්ථානයට එල්ලවූ ඩ්‍රෝන් ප‍්‍රහාරයකින් ළමුන් 7 ක් ඇතුළු සිවිල් වැසියන් 10 ක් ඝාතනය විය. එම ප‍්‍රහාරය අත් වැරැද්දක් යැයි ඇමෙරිකාව පැවසුවත් මානව හිමිකම් කොමසාරිස්වරිය ඒ ගැන කි‍්‍රයාකළේ නැත.

මේ අතර නැගෙනහිර පළාතේ මන්ත‍්‍රීවරු දෙදෙනකු වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානයකට රජයේ අනුමැතිය ලබාගැනීමේ උපායශීලී මෙහෙයුමක් දියත් විය. ඒ විපක්‍ෂයේ පත්කළ මන්ත‍්‍රීවරයකු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මානව හිමිකම් සංවිධානය නමින් හඳුන්වන පනත් කෙටුම්පතකි. මේ පනත් කෙටුම්පතේ අරමුණ එකී සංවිධානයට රාජ්‍ය බලය හිමිකර ගැනීමයි. මෙම මානව හිමිකම් පනත සම්මත වූ වාහම ජිනීවා යෝජනාවට පමණක් නොව මානව හිමිකම් කොමසාරිස්වරිය යුද අපරාධ චෝදනාලත් හමුදා නිලධාරීන් භාරදෙන ලෙස ශ‍්‍රී ලංකා රජයට දැනුම් දෙනු ලැබුවොත් ඊටද මැදිහත්වීමට එකී සංවිධානයට හැකිවේ. මෙම මානව හිමිකම් සංවිධානයේ යටි අරමුණ ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ රජයේ ආයතනයකට හෙළිවුවත් නාඩු සහ කීරි සම්බා ගැන වාද කරන පොදු පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ටද එහි ඇති බරපතළකම ගැන අවබෝධ වූයේ නැත.

රජය එක් පැත්තකින් රාජ්‍ය නොවන සංවිධාන කෙටුම්පතක් සකස් කර ඇති අවස්ථාවේ ඊට එරෙහිව මානව හිමිකම් සංවිධානය නමින් පාර්ලිමේන්තු පනතක් සම්මත කරගැනීමය. වසර කීපයකට පෙර මඩකලපුව මන්ත‍්‍රී අලි කාසිම් දැරූ උත්සාහ ව්‍යාර්ථ වී තිබුණි. එහෙත් මෙවර එය යළිත් ඉදිරිපත් වුවත් මෙවර එය ඉදිරිපත් වූයේ සමගි ජනබලවේගයේ සිංහල මන්ත‍්‍රීවරයකුගෙනි.

එහෙත් දේශපේ‍්‍රමී සංවිධාන ඊට එරෙහිව අධිකරණය හමුවට යෑමෙන් පසු එම පනත සම්මත කරගැනීමට ඉඩක් නොලැබුණි. මේ පසුබිම මැද 2022 මාර්තු මසදී යුද අපරාධ චෝදනා වාර්තාව ප‍්‍රකාශයට පත්වීමට නියමිතය. එහිදී යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා කි‍්‍රයාමාර්ග අනාවරණය වේ. ඒ අනුව යුද අපරාධ චෝදනා ලත් හමුදා නිලධාරීන් නම් වී ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමේ විශේෂ අධිකරණයක් ස්ථාපිත වීමට නියමිතය. කාම්බෝජයේද මෙවැනි විශේෂ අධිකරණයක් පිහිටුවා චෝදනා එල්ලවූවන්ට සිරදඬුවම් නියම කර තිබුණි. ශ‍්‍රී ලංකාවට එරෙහි මෙම කි‍්‍රයාමාර්ගය බරපතළ තත්ත්වයට පත්වන්නේ ලබන වසරේදී ඇමෙරිකාව යළිත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇතුල්වීමයි.

එහිදී වත්මන් රජයට ගතහැකි කි‍්‍රයාමාර්ගය කුමක්ද? වත්මන් රජයට යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් බේරාගත හැකිද?

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්නට ඔස්ටේ‍්‍රලියාව තහනම් වී ඇත. හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාව තහනම් කර ඇත.

මේ අතර බි‍්‍රතාන්‍ය ලේබර් පක්‍ෂය එරට වාර්ෂික සමුළුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරනු ලැබීය. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යා යුතු යැයි ලේබර් පක්‍ෂයේ කොටි හිතවාදී මන්ත‍්‍රී කණ්ඩායම රජයට කියා සිටිති. එය ඉටුකිරීමට ජාත්‍යන්තර සහය නැතැයි රජය සඳහන් කළේය. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයෑම සඳහා රුසියාවේ සහ චීනයේ අනුමැතිය ලැබෙන්නේ නැත.

මේ නිසා ලේබර් පක්‍ෂයේ යෝජනාව අසාර්ථක මෙහෙයුමකි. එසේ වුවත් බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහක් ශ‍්‍රී ලංකාවට එරෙහි 30/1 ජිනීවා යෝජනාව දිගටම ගෙනයෑමට තීරණය කර ඇත. මෙවන් පසුබිමක් මැද මෙරට දේශපාලනය ජාතික ආරක්‍ෂාව ත‍්‍රස්ත මර්දන කි‍්‍රයාදාමය ඇතුළු අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වූ රාජ්‍ය නොවන සංවිධාන 33 කල්ලියට බරපතළ කම්මුල් පහරක් එල්ලවූයේ ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ ආයතනයකිනි. මේ ආයතනයේ ප‍්‍රධානියා තනතුරින් ඉවත්කිරීමට දැරූ සියලූ උත්සහයන් ව්‍යාර්ථ වූ අතර නව රාජ්‍ය නොවන සංවිධාන පනත කෙටුම්පත් කිරීම සඳහා රජය අවසර දුන්නේය.

මානව හිමිකම් කවුන්සිලයේ ලොකුම නඩුව… වියදම ඩොලර් මිලියන 28 යි… හමුදා නිලධාරීන් 28 කට යුද අපරාධ චෝදනා

රජය ගෙන එන නව රාජ්‍ය නොවන සංවිධාන පනත අහෝසි කරගැනීමට මේ එන්. ජී. ඕ. කල්ලිය රජයේ ප‍්‍රබල ඇමැතිවරයකු හමුවූවත් එම උත්සාහයද අසාර්ථක විය. මෙයට පෙරදී රාජ්‍ය නොවන සංවිධාන පනතක් ගෙන ඒමට යහපාලන රජය කි‍්‍රයාකළත් එය අහෝසි කරගැනීමට එන්. ජී. ඕ. නඩයට හැකිවිය. කිසිදු රැකියාවක් නොකරන මේ රාජ්‍ය නොවන සංවිධාන කල්ලියද රජය මෙන් ඩොලර් නැතිකමින් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත. කොරෝනා වසංගතය නිසා රටේ ජනතාව දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇත. එම එන් ජී ඕ කල්ලියට කිසිම දුෂ්කරතාවයක් නැත. මේ තත්ත්වය මැද රාජ්‍ය නොවන සංවිධාන මෙහෙයුම් කාර්යාලයට පඹයකු පත්වනු ඇතැයි කොළඹ එන්. ජී. ඕ. කල්ලිය තැබූ බලාපොරොත්තු සුන්විය. මේ සංවිධාන එක්ව කි‍්‍රයාකරන බව බුද්ධි අංශවලට හෙළිවී තිබුණි. මේ අතර ඇමෙරිකාවද බලා සිටින්නේ ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගොස් ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව වගවීමේ කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක කිරීමයි. ඊට මුල්වී ඇත්තේ සුදු කොඩි සිද්ධියයි. එහෙත් සුදුකොඩි ඔසවාගෙන පැමිණ තලෙයිබාන් ත‍්‍රස්තයන් 2000 ක් බහාලූම්වල දමා හුස්ම සිරවී මියයෑමට සැලැස්වූ ඇමෙරිකානු භටයන්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පරීක්‍ෂණ ආරම්භ කර නැත. 2001 වසරේදී ඩෑෂ් ලෙයිල් නැමැති ස්ථානයේ සිදුවූ මේ විශාල ඝාතනය ගැන ඇමෙරිකානු එෆ් බී අයි පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළත් එම පරීක්‍ෂණ යටපත් විය.

මේ සිද්ධිය ගැන ඇමෙරිකානු රජයට එරෙහිව වගවීමේ කි‍්‍රයාවලියක් ආරම්භ වී ඇත.

මෙම සුදුකොඩි සිද්ධියේදී මියගිය තාලිබාන් ත‍්‍රස්තයන්ගේ මළ සිරුරු වළදමා තිබූ ස්ථානය ජාත්‍යන්තර පරීක්‍ෂකයකු වූ ජෙනිපර් ලිනින් විසින් සොයාගෙන තිබුණි. ශ‍්‍රී ලංකාවේ සුදුකොඩි සිද්ධිය ගැන හඬ න`ගන ඇමෙරිකාව තම රටේ සෙබළුන් සම්බන්ධ වූ ඇෆ්ගන් සුදුකොඩි සිද්ධිය ගැන කි‍්‍රයානොකිරීම දෙබිඩි පිලිවෙතක් අනුගමනය කිරීමකි. මේ පසුබිම මැද යුරෝපා සංගමයේ දූතයන් පිරිසක් මෙරටට සම්ප‍්‍රාප්ත විය. එම නියෝජිත පිරිස හමුවූ ද්‍රවිඩ සංවිධානය නව ව්‍යවස්ථාවක් යටතේ බලය බෙදාහැරීමක් ලබාදීමට ශ‍්‍රී ලංකා රජය කි‍්‍රයාකළ යුතු යැයි ඉල්ලා ඇත. මෙයට අමතරව ත‍්‍රස්ත මර්දන පනත අහෝසිකර ගැනීමද ද්‍රවිඩ සංධානයේ ඉල්ලීම් අතර විය. එහෙත් රජය ත‍්‍රස්ත මර්දන පනත සංශෝධනය කිරීමට මිස එම පනත අහෝසි කිරීම ප‍්‍රතික්‍ෂේප කළේය.

මේ තත්ත්වය මත නවසීලන්තය ත‍්‍රස්ත ප‍්‍රහාර මර්දනය කිරීමට නව නීතිරීති කෙටුම්පත් කරනු ලැබීය.

එහෙත් ඊට එරෙහිව යුරෝපා සංගමය හෝ ජිනීවා මානව හිමිකම් සමුළුව විරෝධය පෑවේ නැත. මේ අතර මුලතිව් දිස්ත‍්‍රිකය තුළ හමුදා කඳවුරු සිය ගණනක් ඇති බවට උතුරු පළාතේ හිටපු පළාත් සභා මන්ත‍්‍රී වී. රවිතරන් විසින් ප‍්‍රකාශ කර ඇත. මුලතිව් යනු වෙනත් රටක් නොවේ. ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂාව උදෙසා ඕනෑම ස්ථානයක කඳවුරු ස්ථාපිත කිරීමට හමුදාවට හැකිය. ශ‍්‍රී ලංකාවෙන් නෝර්වේ වෙත පැනගොස් එතැන් සිට ප‍්‍රංශයට පැමිණ දේශපාලන රැකවරණ ලබාගත් ශ‍්‍රී ලාංකිකයන්ට හමුදාව මුලතිව්හි සිටීම බරපතළ ප‍්‍රශ්නයකි.

මුලතිව්හි හමුදා කඳවුරු තිබීම ගැන උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති විග්නේශ්වරන් මෙන්ම අනුරාධා මිට්චාල් නැමැති ඇමෙරිකානු රාජ්‍ය නොවන සංවිධාන නායකයාද මානව හිමිකම් කොමසාරිස්වරියට පැමිණිලි කර ඇත. හමුදාව මුලතිව්හි රැ`දී සිටීම ගැන විග්නේශ්වරන් සහ අනුරාධ පවසන්නේ එය ඉඩම් කොල්ලයක් බවයි.

එහෙත් යහපාලන රජය ද්‍රවිඩ සංධානයේ ඉල්ලීම මත රුපියල් මිලියන 300 කට අධික මුදලක් වැයකරමින් හමුදා කඳවුරු ඉවත්කර වෙනත් ස්ථානවල ස්ථාපිත කරනු ලැබීය.

පුදුකුඩිඉරිප්පු, තෙරුවිල් සහ මුලතිව්හි කොටි සංවිධානයේ කඳවුරු ස්ථාපිත කර තිබුණත් ඊට එරෙහිව කිසිම හඬක් නැ`ගුනේ නැත. මේ අතර බිහිසුණු ඝාතක ප‍්‍රභාකරන් උත්තරීතර පුද්ගලයකු ලෙස පිළිබිඹු කෙරෙන චිත‍්‍රපටයක් තමිල්නාඩුවේදී නිපදවා කාම්බෝජයේ ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කළත් එම චිත‍්‍රපටය කාම්බෝජ රජය තහනම් කරනු ලැබීය. එහෙත් අපේ රටේ ප‍්‍රභාකරන්ගේ අපරාධ දක්වන එකම චිත‍්‍රපටයක්වත් නිපදවා නැත.

මෙතගු නමින් හදුන්වන මෙම චිත‍්‍රපටයේ අරමුණ ප‍්‍රභාකරන් පිම්බීමයි. එහි තමිල්නාඩු නළු නිළියන් රඟපෑවත් එහි සඳහන් වන්නේ නියම නම නොවේ. මේ අතර බි‍්‍රතාන්‍ය ලේබර් සහ කොන්සර්වේටිව් පක්‍ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවේ හමුදාව ද්‍රවිඩයන් සමූල ඝාතනය කළ බවට පිලිගන්නා ලෙස බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇතත් මෙතෙක් ඊට ප‍්‍රතිචාරයක් පළවී නැත.

මෙවන් පසුබිමක් මැද මිචෙලි බැෂලේ එකතු කළ සාක්කි 120000 කින් හමුදා නිලධාරීන් 28 දෙනාට ගැළවිය හැකිද?

වත්මන් රජය සහ විදේශ කටයුතු බලධාරීන්ද ලබන වසරේ මාර්තු මස ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සමුළුව ගැන අවධානය යොමුකර නැත. මෙරට මුදලින් රුපියල් කෝටි 580 ක් වැයකර යුද අපරාධ සාක්කි සොයන්නේ නිකමට නොවේ. එසේම එම සාක්කි එකතු කිරීමට පරීක්‍ෂකයන්, විනිසුරුවරුන් ඇතුළු කණ්ඩායමක් දැනටමත් ස්ථාපිත කර ඇති අතර ඔවුන් කවුදැයි රජය නොදනී.

120000 කගේ සාක්කි තිබේනම් යුද අපරාධ පරීක්‍ෂණ ඇරඹීමට තවත් සාක්කි අවශ්‍යද?

යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමද පසුගිය සතියේ මෙරටට පැමිණියේ ශ‍්‍රී ලංකාවට කටුව ගැසීමටය.

යුරෝපා පාර්ලිමේන්තුවේ 750 ක මන්ත‍්‍රීවරුන්ගෙන් 658 ක් ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවට එකඟ වූ අතර 15 ක් විරුද්ධ විය. 40 ක් ඡන්දය දීමට පැමිණියේ නැත.

එම පාර්ලිමේන්තු කණ්ඩායම රජය ලවා ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරගැනීමට දැරූ උත්සාහය ද ව්‍යාර්ථ විය. 1979 වසරේ තාවකාලිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ත‍්‍රස්ත මර්දන පනත 1982 දී නීතිගත විය.

මානව හිමිකම් කවුන්සිලයේ ලොකුම නඩුව… වියදම ඩොලර් මිලියන 28 යි… හමුදා නිලධාරීන් 28 කට යුද අපරාධ චෝදනා

මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ ඊට විරෝධය පෑමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ කටයුතු කළේ නැත. ජේ. ආර්. ජයවර්ධන ත‍්‍රස්ත මර්දන පනත පාර්ලිමේන්තුවට යොමුකර තිස්ස වීරතුංග විශේෂ බලතල සමඟ උතුරට යැවීය. එදා පාර්ලිමේන්තුවේ සිටි සම්බන්ධන් ත‍්‍රස්ත මර්දන පනතට එරෙහි වූයේ නැත. එදා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලෙයි අමිතර්ලිංගම් ත‍්‍රස්ත මර්දන පනතට සහය පලකළේය. ඒ සඳහා තවත් පුද්ගලයෙක් සහය විය. ඒ නීතිපති සිවා පසුපතිය. මේ අතීතය වත්මන් ද්‍රවිඩ සන්ධානයට අමතක වී ඇත.

advertistmentadvertistment