මානසික හිරකාරයා

381

තේ, පොල්, රබර් සංකල්පය තුළ ශ්‍රී ලංකාව සිරවී ඇතැයි ජනාධිපති අනුර දිසානායක පවසා තිබේ. පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැති උත්සවයක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉහත සඳහන් කතාව සම්පූර්ණ සත්‍යයකි. තේ, පොල්, රබර් ත්‍රිකෝණය මේ රට යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදීන්ගේ වෙළෙඳ අවශ්‍යතාවකි. අද මේ රටේ පොල් නැත. රබරුත් නැත. ඇත්තේ තේ පමණි. හැබැයි ඒ තේ මේ රටේ ජනයාටවත් මිලදී ගත නොහැකි තරමට මිල ඉහළය. ඒ නිසා අපට තේ, පොල්, රබර් ත්‍රිකෝණය අත්හැර වෙනත් ආස්ථානයකට සංක්‍රමණය වීමට සිදුවී තිබේ. සිංගප්පූරුවේ තේ, පොල්, රබර් නැත. එහෙත් ඒ රට දියුණු විය. ඔවුන් දියුණු වුණේ තමන් සතු කුඩා භූමියක් තමන් අවට තිබෙන මහා සාගරයක් පාවිච්චි කරමිනි. සිංගප්පූරුවේ වරාය ලෝකයේ වඩාත්ම කාර්යබහුල ඩියුටි ෆ්‍රී වරායකි. ලී ක්වාන් යූ නමැති ජාතික නායකයා සිංගප්පූරුව බිහිකරන අවස්ථාවේ දී එහි තිබුණේ මුහුදු වැල්ල පමණි. මුහුදු වැලි මත මොන මඟුලක්වත් වැවෙන්නේ නැත. ඒ නිසා ලී ක්වාන් යූ පිටරටින් පස් ගෙන්වා මුහුදු වැල්ල මත ඇතිරුවේය. එවිට සිංගප්පූරුව දුඹුරු පැහැති කාන්තාරයක් සේ දිස් විය. තම රට තුළ වගා කිරීම සඳහා ගස් ලබා දෙන්නැයි ලී ක්වාන් යූ ලෝකයෙන් ඉල්ලා සිටියේය. එයට උත්තර දුන් එවකට මේ රටේ සිටි අගමැති වූ ඩඩ්ලි සේනානායක ලංකාවෙන් ඇති තරම් ගස් ගලවාගෙන යන ලෙස ලී ක්වාන් යූ ට කීවේය. එකල ලංකාවේ වන ගහණය ඉතා විශාලය. සිංගප්පූරු නැවක් මෙහි පැමිණි අතර සිංගප්පූරු නිලධාරීන් කිහිප දෙනෙක් මෙරට වනාන්තරයට වැඩ විවිධ ගස් වර්ග උදුරාගෙන තම රටට ගෙන ගියේය. එම ගස් සහ එම ගස්වලින් උපදවා ගත් වෙනත් ගස් අද සිංගප්පූරුව පුරාම දැකගත හැකිය. අද ඒ රටේ කුඩා වනාන්තර පවා තිබේ. ලී ක්වාන් යූ සිංගප්පූරුව භාර ගන්නා අවස්ථාවේ දී ඒ රට තිබුණේ ධීවර ගම්මානයක් ලෙසය. අවශ්‍ය නම් ධීවර කර්මාන්තයට පමණක් සීමාවී සිටීමට ලී ක්වාන් යූ ට හැකි විය. එහෙත් ඔහු රටේ ආර්ථිකය විවිධාංගිකරණය සඳහා වෙනත් ව්‍යාපෘති වෙත යොමු විය. සිංගප්පූරුව අදටත් මාළු වෙළෙඳාම කරයි. එහෙත් ඔවුන් රට ගොඩ දැම්මේ විවෘත වෙළෙඳාම, සංචාරක කර්මාන්තය, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය සහ වරාය පවත්වාගෙන යෑම යනාදියෙනි. ජනාධිපති අනුර දිසානායක කියන පරිදි තේ, පොල්, රබර් ත්‍රිකෝණයේ වැටවල් පැන නවෝත්පාදක කර්මාන්ත කිරීමට අපට පුළුවන. එහෙත් ඒ කිසි කර්මාන්තයක් දුරදිග යන්නේ නැත. මෙයට කලකට පෙර, කුඹුරුවලට එන ගිරවුන් එළවීම සඳහා පාසල් ශිෂ්‍යයෙක් යන්ත්‍රයක් නිර්මාණය කළේය. මේ යන්ත්‍රය මගින් ශබ්ද තරංග නිකුත් කරන අතර ගිරව් එයට බිය වී පැන ගියහ. කොහොමටත් ලංකාවේ කුඹුරුවල කුරුළු පාලුව යනුවෙන් කොටසක් තිබේ. මෙය තමන්ගේ ආහාර පිණිස වෙන් කළ බිම්කඩක් බව නොදන්නා ගිරව් මුළු කුඹුරුම කා දමති. ගිරව් එලවීමේ යන්ත්‍රය ගැන එකල මහත් ප්‍රසිද්ධියක් ඇති විය. එය බැලීමට දේශපාලනඥයෝ ගියහ. ඒ වැඩේ එතැනින් අවසන් විය. යන්ත්‍රය නිෂ්පාදනය කළ තරුණ ළමයා ගරාජ් එකක ටිංකරින් බාස් කෙනෙක් ලෙස වැඩ කොට කුවේට් රටේ රස්සාවකට ගියේය.

රේල් පාර හරහා මහ පාර යන අවස්ථාවලදී රේල් ගේට්ටු තිබෙනු අපට දැකිය හැකිය. මේවා ස්වයංක්‍රීය ගේට්ටුය. එහෙත් රේල් ගේට්ටු තිබිය යුතු සමහර තැන්වල ඒවා නැත. බොහෝ තැන්වල ස්වයංක්‍රීය ගේට්ටු වෙනුවට උණ බම්බු ගේට්ටු තිබේ. ඒවා අතින් ඇරීම සහ වැසීම කළ යුතුය. එවැනි රේල් ගේට්ටු වැසීම සඳහා සමෘද්ධිලාභියකු පත් කිරීම එකල සිදුවිය. සමෘද්ධිලාභියා කසිප්පු භාගයක් ගසා රෑට නිදාගත් විට රේල් ගේට්ටු ඇරීමක් සිදුවුණේම නැත. ඒ නිසා මහ රෑ දුම්රියේ වැදුණු මිනිස්සු මළහ. වාහන කුඩුපට්ටම් විය. උණ බම්බු ගේට්ටු ස්වයංක්‍රීයව විවෘත කළ හැකි යන්ත්‍රයක් පාසල් දරුවකු විසින් නිපදවන ලදී. එය ගේට්ටුව ළඟ තබන අතර එයින් පිටතට යන විදුලි කම්බියක් රේල් පීල්ල යට අලවා තිබේ. දුම්රිය අදාළ දුම්රිය ස්ථානයට කිලෝ මීටරයක් ළං වන විට පෙර කී යන්ත්‍රය රේල් පීල්ල හරහා ඒ බව දැන ගනී. එවිට ස්වයංක්‍රීයවම ගේට්ටු දෙක ඇරේ. මේ නිර්මාණයට විශාල පිළිගැනීමක් ලැබිණ. එය නිර්මාණය කළ ළමයා වේදිකාවකට ගෙන්වූ දේශපාලනඥයෝ ඔහුට පදක්කම් පැළඳවූහ. ඒ වැඩේ එතැනින් අවසන් විය. අද ඒ ළමයා ආගිය අතක් නැත. යන්ත්‍රයට සිදුවූ දේකුත් නැත.

ලංකාවේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ කිසිම වැඩක් ඉදිරියට නොයෑමය. කවුරුත් අලුත් දේවල් ගැන කතා කරති. ඒ කතා එතැනම නවතී. ජනාධිපති අණ දුන්නත් අලුත් දේවල් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් තුළ කම්මැලිකමක් තිබේ. මේ නිසා වැඩ යට යයි. පිස්තෝල නිපදවිය හැකි දක්‍ෂ තරුණයෙක් මේ රටේ සිටියේය. පොලිසිය ඔහු කුදලාගෙන ගොස් උසාවියට ඉදිරිපත් කළ අතර ඔහු හිරේ ගියේය. ඒ තරුණයා ලවා පිස්තෝල නිපදවා පිටරටවලට අලෙවි කිරීමේ හැකියාවක් අපට තිබුණ ද තරුණයා හිරේ දමා වැඩේ අමතක කිරීමට රටක් වශයෙන් අපි තීරණය කළෙමු. ශ්‍රී ලංකාව සම්ප්‍රදාය නමැති මානසික හිර ගෙදර තුළ ජීවිතාන්තය දක්වා හිර දඬුවමක් සිය කැමැත්තෙන්ම පනවාගෙන සිටී. අපට ගොඩ ආ හැක්කේ මේ හිරෙන් එළියට ආ දවසටය.


advertistmentadvertistment