මාන්දං කතාව

547

(ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ ආහාර අනාරක්ෂිතතාව)

“ලෝක ආහාර වැඩපිළිවෙළ මගින් මෑතකදී සිදුකරන ලද සමීක්ෂණවලට අනුව ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව ඉතා ඉහළ මට්ටමක තිබේ. සෑම නිවාස 10 න් 7 ක්ම ප්‍රෝටීන් සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ලබා නොගැනීම සහ ආහාර වේල් මගහැරීම වැනි මූලෝපායයන් අනුගමනය කරනු ලැබේ”

ජපන් රජය විසින් ශ්‍රී ලංකාවේ මිලියනයක ජනතාවක් සඳහා අත්‍යවශ්‍ය ආහාර සහ පෝෂණ අවශ්‍යතා සැපයීම වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 6.6 ක අතිරේක මුදලක් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙළ වෙත ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනයක කොටසකි අප විසින් ඉහතින් සඳහන් කර ඇත්තේ. ලයිට් රේල් හෙවත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ලංකාවේ ඉදිකිරීම පිණිස පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් යහපාලන ආණ්ඩුවෙන් ගෙනෙන ලද යෝජනා ක්‍රමයක් ඊට පසුව බලයට පැමිණි පොහොට්ටු ආණ්ඩුව මගින් අවලංගු කිරීම නිසා ජපානය පසුගිය දිනවල අප සමග හොඳටම තරහ වී සිටියේය. තව පොඩ්ඩෙන්, පෙරකී යෝජනා ක්‍රමය අවලංගු කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන විශාල ප්‍රමාණයක වන්දියක් ජපාන ආණ්ඩුවට ගෙවීමේ ඉරණමට අපි මුහුණ පා සිටියෙමු. එහෙත් දැනට පවතින ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ඒ ප්‍රශ්නය නිරාකරණය කරගන්නා ලදී. ඒ අනුව ජපානය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන මිතුරුකම තවදුරටත් පවතිනවා ඇත. එහෙත් අපගේ මුඛ්‍ය අරමුණ වන්නේ ජපානයේ හිතවත්කම ගැන කතා කිරීම නොව ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන ආහාර අනාරක්ෂිතතාව පිළිබඳ කතා කිරීමය. මේ රටේ සිටින සෑම ළමයින් දෙදෙනකුගෙන්ම එක් අයකු ආහාර අර්බුදයකට මුහුණදී සිටින බව යුනිසෙෆ් සංවිධානය පසුගියදා සඳහන් කළේය. ඒ අනුව මෙරට ළමයින් තිස් ලක්ෂයක් පමණ මන්දපෝෂණයට ගොදුරු වී සිටින බව යුනිසෙෆ් සංවිධානය කියා ඇත. ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව යනු ඉතිහාසයක් ඇති කතන්දරයකි. ඔබ මෙතැන් සිට කියවන්නේ ඒ කතාවය.

මාන්දම යන ලෙඩේ මේ රටේ කවදත් තිබිණ. මාන්දමට යොදන ව්‍යක්ත වචනය වූකලී මන්දපෝෂණය වේ. මෙයට අවුරුදු හැට හැත්තෑවකට පෙර සිටි ළමයින් මාන්දම හැදුනු විට ගල් කැට, වළං කටු කැබිලි, පස් යනාදිය අනුභව කරනු දැකගත හැකිය. මාන්දම වැළඳුණු දරුවාගේ උදරය විශාලය. අත පය සිහින්ය. ළමයින්ට මාන්දම වැළඳෙන්නේ කුස තුළ සිටින පණුවකු විශාල වී ළමයින්ට දෙන ආහාර අනුභව කිරීම නිසා යැයි එකල දෙමාපියන් තුළ මතයක් පැවතින. මෙය බාගෙට ඇත්ත කතාවකි. කුඩා දරුවන්ට ක්‍රිමි රෝග වැළඳුණු විට ඔවුහු රක්තහීනතාවයෙන් පෙළීමට පටන් ගනිති. එයට හේතුව උදරය තුළ සිටින කිරි පණුවන්, පටි පණුවන්, වට පණුවන් යනාදී සතුන් බඩ වැලේ එල්ලී ලේ උරා බීමය. මාන්දම වැළඳීමට මෙයද එක් හේතුවකි. එසේම හරියාකාරව කන්න නැතිවූ විටද මාන්දම හටගනී. හරියාකාරව කන්න නැතැයි යන වගන්තිය මේ දිනවල හඳුන්වනු ලබන්නේ ආහාර අනාරක්ෂිතතාව හෙවත් food insecurity යන නාමයෙනි.

ශ්‍රී ලංකාවේ සිටින සමහර ළමයින්ට ඇත්තටම කන්න නැත. තවත් සමහර ළමයින්ට කන්න තිබුණත් කන්න නැත. අපි මේ දෙවැනි කාරණය කෙරෙහි අවධානය යොමු කරමු. 1977 න් පසු ශ්‍රී ලංකාවේ ළමයි බහුල ලෙස ක්ෂණික ආහාරවලට පුරුදු වූහ. සකස් කළ මස් ආහාර හෙවත් processed meat food සංකල්පය සොසේජස් සහ මීට්බෝල්ස් යන නාම වලින් 1977න් පසු ලංකාවේ වෙළෙඳ පොළට පිවිසෙයි. පිසින ලද මස්, මොනෝසෝඩියම් ග්ලූටමේට්, රසකාරක, වර්ණක, වෙඩි ලුණු යනාදිය සමග එකතු කරන ලද විවිධ මස් වර්ග අඹරා සොසේජස් සහ මීට් බෝල්ස් සාදනු ලැබේ. මේවා හැදීමට වෙඩි ලුණු මොකටදැයි ඔබ දැන් කල්පනා කරනු ඇත. මේවාට වෙඩි ලුණු යොදන්නේ කුස තුළට ගිය පසු පිපිරීම් ඇතිකිරීම පිණිස නොවේ. මස් වර්ගවලට වෙඩි ලුණු යෙදූ විට එහි ස්වභාවික රතු පැහැය දීර්ඝ කාලයක් පවතී. බේකන් දුම් ගසා වියළීමට පළමුව රතු සීනි සහ වතුර යෙදූ ද්‍රාවණයක දමා වෙඩි ලුණු යොදා පදම් කරනු ලැබේ. ඉන්පසු අවුරුදු පහක් ගියත් බේකන් පෙත්ත රතු පාටින් බබළයි. හැබැයි උදරය තුළට ගිය විට මේවා හැසිරෙන්නේ මළ යකුන් මෙනි. මේ රටේ නාගරිකයේ ළමයි ලක්ෂ ගණනින් අද වන විට දිග සොසේජ් එකක් මැදට දැමූ හොට්ඩෝග් එකකින් උදේ වේල පිරිමසා ගැනීමට පුරුදුව සිටිති. ළමයා මාසයකට දින 20 ක් ඉස්කෝලේ යතොත් අඩුම ගානේ හොට්ඩෝග් 15 ක් කා දමයි. අවුරුද්දකට ඔහු කන හොට්ඩෝග් ප්‍රමාණය 180 කි. මේ ළමයා දවල්ට ගිල දමන්නේ පාන් වලින් හැදූ සැන්ඩ්විච් ය. රෑට ඔහුට බත් පිඟානක් ලැබේ. එයද සමබල ආහාර වේලක් නොවේ. අවසාන පලයේදී කන්න නැතිව රක්ත හීනතාවයෙන් පෙළෙන ළමයා මෙන්ම කන්න ඇතිව රක්ත හීනතාවයෙන් පෙළෙන ළමා පරපුරක් රටට හිමිවෙයි.

අද වනවිට ශ්‍රී ලංකාවේ නාගරිකය විසින් ඉතා දරුණු ලෙස ගම ආක්‍රමණය කරනු ලැබ ඇත. ඒ නිසා හැම ගමක්ම පාහේ නගරයක් වෙමින් පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස හැම ගමකටම ක්ෂණික ආහාර රෝගය බෝවී ඇත. පැත්තකට වී ඉඳි ආප්ප පාර්සලයක් දිගඇරගෙන කනවාට වඩා විනාඩි දෙකක් තුළ හොට්ඩෝග් එකක් ගිල දමා අධ්‍යාපනය නමැති රේස් එකට සහභාගි වීමට ළමයින්ට සිදුව තිබේ. අද උදේට පාසල් යන ළමයා ගෙදර එන්නේ රාත්‍රියටය. දවසෙන් භාගයක් ඉස්කෝලයටත් ඉතුරු භාගය ටියුෂන්වලටත් කැපකිරීමට ළමයින්ට සිදුව තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ආහාර අනාරක්ෂිතතාව යන කාරණා ගැන සාකච්ඡා කිරීමේදී අප ඉහතින් සඳහන් කළ කරුණු ගැනත් අවධානය යොමුකළ යුතුය. ශ්‍රී ලංකාව තුළ ළමයින්ට ගැළපෙන සංවිධානාත්මක ආහාර රටාවක් කවදාවත් තිබුණේ නැත. හොටු පෙරාගෙන කන්න බොන්න නැතිව නෙරාගිය බඩ ගෙඩි සහිතව හඬා වැළපෙමින් එහෙ මෙහෙ දුවන ළමා පරපුරක් එදත් අපට සිටියේය. ඒ තත්ත්වය අදත් එසේම ය.

advertistmentadvertistment
advertistmentadvertistment