මාරයාට ඉඩ නොතබමු වසංගතය ජය ගනිමු

121

 ”එන පොට හොඳ නෑ… ළමයින් අතරේ ඉතා ශීඝ‍්‍රයෙන් කොවිඞ් පැතිරෙනවා. තත්ත්වය භයානකයි.”

 මේ බරපතළ අනතුර හැඟවීම කරන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා ය. මේ ලියන මොහොත වනවිටත් ළමයින් 150 කට වැඩි පිරිසක් කොවිඞ් වැලඳ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව පවසන ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ මේ වනවිට අවම වශයෙන් දරුවන් 45000 ක් අපේ රටේදී කොවිඞ් වසංගතයට ගොදුරු වී ඇති බවයි. මේ අතරින් 20000 ක්ම වයස අවුරුදු 10 ට වඩා අඩු වයසේ ළමුන්ය.

 මෙය නොතකා සිටිය හැක්කක්ද…? කවුරුන් කිව්වද, නොකිව්වද සැබවින්ම බරපතළ තත්ත්වයකි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා කොවිඞ් රෝගීන් උපරිම ධාරිතාවට පැමිණ ඇති බවද පවසන වෛද්‍ය කිතුල්වත්ත මහතා කියා සිටින්නේ රෝහලේ ඉඩ මදිකම නිසා රාජගිරිය ප‍්‍රදේශයෙන් තවත් වාට්ටු 2 ක් ඒ සඳහා වෙන්කරගෙන ඇති බවයි. රෝගයට ළමුන් ගොදුරුවීමේ ශීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බැවින් වහාම ළමයින් වසංගතයෙන් ආරක්ෂා කරගැනීමට දෙමව්පියන් කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කර සිටී.

 එපමණක් නොව, මේ වනවිට රටේ සමස්ත කොවිඞ් මරණ ප‍්‍රමාණය 5100 ඉක්මවා ඇත. ආසාදිතයින් ගණන තුන්ලක්ෂයකට වඩා වැඩිය. දිනකට වාර්තා වන නව රෝගීන් ගණන 3000 සීමාවට ළඟා වී ඇත. එසේම, දිනකට මිය යන ප‍්‍රමාණය 100 කට ආසන්න වී ඇත. ඉතිං ජනතාව පරෙස්සම් වෙන්නේ නැතිනම් තවත් මොන කතාද. ඒ අස්සේ විරෝධතා රැුලිය. පාගමන්ය. කොවිඞ් පොකුරු හදා රට වනසන මෙවන් විරෝධතා ව්‍යාපාර ගැන තවත් කියනවාට වඩා කට බිම උලාගන්නා එක හොඳය.

 රෝහල් ධාරිතාවය උපරිමය පැන ඇත. ඇතැම් රෝහල් තුළ බිම ඉටි කොළ එළාගෙන පවා රෝගීන් සිටිනු දැකිය හැකි වූයේ එනිසාය. එක් පැත්තකින් ජනතාවට බලපාන ජීවන වියදම් ප‍්‍රශ්නය. තවත් පැත්තකින් කීයක් හෝ උපයාගන්නට තිබුණු මං ඇහිරී ඇත. මාසෙට පඩියක් අතට ගත් ඇතැමකුට අද ලැබෙන්නේ සති පඩිය. තවත් සමහරුන්ට වැඩ කරන විදිහටය. ඇතැමුන්ට පඩි භාගය බැගිනි. තවත් සමහරුන්ට රැුකියාවල් නැත්තටම නැති වී ඇත. (කම්කරු ඇමැති නිමල් සිරිපාල මහතා කියන විදිහට රැුකියා අහිමි ප‍්‍රමාණය 12000 කි.* ඒ මදිවාට කොරෝනා සතුරා පන්න පන්නා පහර දේ. මේ ව්‍යසනයෙන් බේරෙන්නේ කොහොමද කියන එක අද ජනතාවගෙන් බහුතරයකට ඇති බරපතළ ප‍්‍රශ්නයයි. එනමුත්, සමහරු තව තව දේ ඉල්ලා පෙළපාලි යති. මීට කදිම පිළිතුරක් පී. එච්. අයි. සංගමයේ සභාපතිවරයා ප‍්‍රසිද්ධ මාධ්‍යයකදී කීවේය. එනම්, ”මේ විරෝධතා ව්‍යාපාරවල ප‍්‍රතිපල ඉදිරියේදී පෙනෙයි” කියාය.

 අපි කියන්නේ මේ ඊට අවස්ථාව නොවන බවය. වෘත්තීය අරගල පසෙකට තබා කොවිඞ් වසංගතයට ගොදුරු වූ 45000 ක් දරුවන් වෙනුවෙන් අපි කතා කළ යුතු අවස්ථාවකි මේ. ළමා රෝහලේ ඉඩකඩ මදි වී තවත් ඉඩ හොයන සෞඛ්‍ය සේවාවට ගෙයක් දොරක් හෝ පරිත්‍යාග කරන පරිත්‍යාගශීලීන් අවශ්‍ය අවස්ථාවකි මේ. එවන් මොහොතක බොර දියේ මාළු බාන්නන් පිළිබඳව අපට ඇත්තේ පිළිකුලකි.

 කොවිඞ් වසංගතය හමුවේ රට අරාජිකත්වයකට පත්වෙමින් තිබෙන මේ මොහොතේ අපි කවුරුත් සුව සේවාව රැුකගත යුතු වෙමු. ඒ තවදුරටත් රෝහල් ධාරිතාව ඉහළ නොයන්නට වග බලාගැනීමෙනි.

 ඒ වගකීම ඇත්තේ ජනතාවටය. කොවිඞ් ආරක්ෂිත සෞඛ්‍ය පුරුදු පිළිපැදීමෙනි. මේ බව අපි ඔබට පුන පුන කියා ඇත්තෙමු. තවදුරටත් කියන්නෙමු. පිළිපැදීම ඇත්තේ ඔබ, මා අතය. යම් අයුරකින් දොස්තරවරුන්, හෙදියන් උපස්ථාන සේවකයින්, ගිලන්රථ රියැදුරන් වැනි සුව සේවා කාර්ය මණ්ඩලය වසංගතය නිසා අකර්මණ්‍ය වුවහොත් තත්ත්වය කෙබඳු වේදැයි සිතන්න. ඔවුන් මේ මානුෂික සත්කාරය අතහැරිය හොත් කුමක් වනු ඇත්ද..?

 වසංගතයේ තරම තේරුම් ගන්න. මේ වනවිට අපේ සමීපතමයින්, රටේ කුමන හෝ තරාතිරමක, කුමන හෝ වයස් කාණ්ඩයක පුද්ගලයින් 5000 ක් දෙනා මෙලොව හැර ගොස් ඇත. අවසන් කටයුතු නොකළ මෘතදේහ ජාතික රෝහල ඇතුළු තවත් රෝහල් මෝචරි තුළ ගොඩ ගැසී ඇති අතර, ඒවා සමූහ වශයෙන් පුළුස්සා දැමීම ආරම්භ කර ඇත.

 මිය ගිය පළමු මරණ දහස සඳහා මාස තුනක පමණ කාලයක් ගත වී ඇතත්, දෙවන, තෙවන හතරවන මරණ දහස සිදුවී ඇත්තේ දින 24 කටත් වඩා අඩු දින ගණන්වලිනි. එනමුත් අවසන් මරණ දහස සඳහා ගතවී ඇත්තේ දින 13 කි. එනම් දිනකට මරණ 78 ක් වත් සිදුවේ. නමුත් ඇත්ත නම් එම ප‍්‍රමාණය 100 කට ආසන්න වී ඇති බවයි. මේ පුංචි රටට මේ මරණ ප‍්‍රමාණය ඔරොත්තු නොදෙන්නකි. එසේම ඉදිරි සති කිහිපය රටට තීරණාත්මක බව සෞඛ්‍ය අංශ අනතුරු හඟවා සිටී. එබැවින් මේ බැ?රුම් තත්ත්වය ජනතාව ලෙස අපි තේරුම් නොගත්තොත් රටම කාලකණ්ණි වනවා නොඅනුමානය.

 තත්ත්වය සැලකිල්ලට ගෙන දෙයියන්ගේ නාමයෙන් අනවශ්‍ය ගමන් බිමන් නවතා, සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් ගෙදරට වී සිටින්නැයි මේ තීරණාත්මක අවස්ථාවේ අප ඔබෙන් ඉල්ලා සිටින්නට කැමතිය.

advertistmentadvertistment
advertistmentadvertistment