මාරයාට සිනාසිසී ජීවිතය දිනූ දිරිය මව අජන්තා

1603


කුසේ ඉන්න දරුව ඉවත් නොකොළොත් මාවයි දරුවයි දෙන්නම මැරෙනවා කියල වෛද්‍යවරු කිව්වා.

මම වකුගඩු රෝගීයෙක් කියලා දැනගද්දී අතේ තිබ්බේ රු.1500/-යි




මරණය ළඟා වෙන මොහොත දක්වාම මැරි මැරී ජීවත්වීම වකුගඩු රෝගයට ගොදුරු වූවන්ගෙන් දැකිය හැකි අවසනාවන්ත ඉරණමයි. එවැනි පසුබිමක් තුළ මේ කාතාවේ කතා නායිකාව වන අජන්තා පද්මිණි මාතාව අප දකින්නේ මාරයාට අභියෝග කරමින් ජීවිතය දිනූ අපේ කාලේ යකඩ ගැහැනියක් ලෙසිනි. රජරට වෙලාගෙන තිබෙන දරුණු වකුගඩු රෝගයට ගොදුරුව දිනෙන් දින ශරීරය දුර්වල වෙමින් පැවතියදි චිත්ත ධෛර්යෙන් රෝගයට මුහුණ දෙන ඇය දරුවන් දෙදෙනෙකුට ජීවිතය දුන් වීර කාන්තාවකි. එම දරුවන් දෙදෙනා ද සමග අද ඇය සිව්දරු මවක ලෙස ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට සමත් කාන්තාවක වී සිටින්නී කාටත් ආදර්ශයක් වෙමිනි. එක් කුඩා සිදුවීමකින් ධෛර්යය සිඳගෙන ජීවිතයේ පරාජය භාරගන්නා මිනිසුන් බහුලව සිටින සමාජයක ඇය අභිමානයෙන් යුතුව හෙළි කරන එම දුෂ්කර වූ ජීවන යත‍්‍රාවේ අතීතාවර්ජනය ඔබ ඇසිය යුතුම වේ. එබැවින් ඇගේ වචනයෙන්ම එම කතාව මෙලෙස ඔබ හමුවේ තබමු.

 ”මම ඉපදුණේ මාවනැල්ලෙ ගනේතැන්නෙ. ඉඩම් ලැබිලා අපේ තාත්තා මහවැලි සී කලාපයේ රත්මල්කදුර ගම්මානයේ පදිංචියට ආවේ 1986 දී. අපි ඉස්කොලේ ගිය නිසා එක්ක ආවෙ නැහැ. නමුත් 1989 අවුරුද්දේ මම මෙහෙ පදිංචියට ආවා. මෙහෙ ඇවිත් උසස් පෙළ කරන්න දෙහිඅත්තකණ්ඩිය මහ විද්‍යාලයට ඇතුළත් වුණා. මම උසස් පෙළට ඉගෙන ගනිමින් ඉන්නවිට තාත්තා හදිසියේ අසනීප වුණා. විභාගය ලියන්න කලින් තාත්තා නැති වුණා. තාත්තාගේ අභාවය එක්කම මගේ පාසල් ගමනත් නතර වුණා. ඒ වෙනකොට අම්මා හිටියෙත් පිළිකාවක් හැදිලා. අම්මාට ඇප උපස්ථාන කරගෙන මම හිටියා. ඉතාම කෙටි කාලයකින් මට අම්මත් නැති වුණා.

 1990 දී මට මහින්ද විජේසූරියව මුණ ගැහෙනවා. එයා නාරම්මල කෙනෙක්. මහවැලියට ඇවිත් කොන්තරාත්කරුවෝ ළඟ දෛනික වැටුපට කම්කරුවෙක් විදිහට වැඩ කළා. මම විවාහ වුණේ ඔහුත් එක්ක. ඒත් අපිට ඉන්න තැනක් තිබුණේ නෑ. අවසානයේ අපි රජයේ ඉඩමක අනවසරයෙන් පුංචි පැලක් හදාගෙන ජීවිතය පටන් ගත්තා. 1991 අවුරුද්දේ අපේ ලොකු පුතා සඳුන් තාරක ඉපදුණා. මම දරුවා බලාගෙන ගෙදර ඉන්නවා. මහත්තයා කුලී වැඩකට යනවා. ඒ වෙකොට එයා ගල් වළවල් වල කුලියට යනවා. මම කුලියට ගොයම් කපන්න යන්න ඇහුවම මහත්තයා කැමැති වුණේ නැහැ. ගාමන්ට් එකකට යන්න ඇහුවා එයා එපා කිව්වා.

 ‘‘නෝනා ඔයාටයි දරුවටයි මම කිසිම අඩුපාඩුවක් කරලා නැහැනේ. ඔයා ඇයි දුක් විඳින්නෙ. දරුවා ලස්සනට තියාගෙන ගෙදර වැඩටික කරගෙන ඉන්න.’’ එහෙම ජීවිතයක් අපට තිබුණා. කෙහොම හරි 1994 අවුරුදදේ අනුපවුල්වලට ඉඩම් බෙදා දීම යටතේ අපිට රත්මල්කදුරෙන් ඉඩමක් ලැබුණා. අපි ඒ ඉඩමේ කාමර දෙකක් හදාගෙන පදිංචියට ආවා. 1995 අවුරුද්දේ දී අපේ දෙවැනි පුතා සහන් තිවංක ඉපදුණා.

 මට තුන්වැනි දරුවා ලැබෙන්න 2001 වසරෙදි. දරුවා බඩට ඇවිත් මාස තුනක් හතරක් යනකොට මට නොයෙකුත් රෝග ඇතිවෙන්න පටන් ගත්තා. මට දරුණු විදිහට අධිරුධිර පීඩනය හැදුණා රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගියා. මම ලොකු අවදානම් තත්ත්වයක හිටිය නිසා මාතෘ සායානවලට ගියේ පොලොන්නරුව මහරෝහලට. පොලොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරු ,මිසීලා ඇටෙන්ඩන්ට්ලාත් හරිම කරුණාවන්තයි. මම ඈතින් දකිනකොටම කතා කරලා අවශ්‍ය ප‍්‍රතිකාරවලට යොදවනවා. පෞද්ගලික තොරතුරු පවා කතා කරලා මගේ හිත හදලා තමයි ඒ අය මාව සායනයෙන් පිටත් කරන්නෙ. ඒ අය මට කිව්වා අම්මා දරුවා රැක ගන්න ඔයා දැන් ගන්න බෙහෙත් නිසා අනාගතයේ අතුරු අබාධ ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් දරුවා නිරෝගීව බිහි වුණොත් මට මොනවා වුණත් කමක් නැහැ කියලා මම හිත හදාගෙන දරු ප‍්‍රසූතියට සතුටින් සූදානම් වුණා.

 ඒ දවස්වල කොටි කරදර තිබුණා. මනම්පිටියේ හමුදා මුරපොළේ බැහැලා පරීක්ෂා කිරීම් සිදුකරලා යන්න ඕනෑ. සායනයට ගියාම සමහර පරීක්ෂණ පෞද්ගලිකව කරගන්න සිදු වෙනවා. ඒවා කරගෙන වාර්තා ගන්න කොට ? වෙනවා. ?ට එන්න බස් නැති වුණාම කදුරුවෙල බස් නැවතුමේ ඉඳලා පාන්දර බස්එකේ ගෙදර එනවා. මට තුන්වෙනි දරුවා ලැබෙන්න දින දීලා තිබුනේ 2002 ජනවාරි මාසේ 13 වැනිදාට. නමුත් මට 2001 දෙසැම්බර් වෙනකොට ගොඩක් අමාරු වුණා. මම දෙසැම්බර් 12 රෝහල්ගත වූ ගමන් ප‍්‍රසව හා නාරිවේදය විශේෂඥ වෛද්‍යතුමා ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලය තීරණය කළා පහුවදාම දරුවා සීසර් කරලා ගන්න. මට එදා අද වගේම මතකයි. පොලොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඇඳක් වෙන්කරලා වෛද්‍යවරු මාව ශල්‍යාගාරයට ගත්තා. මාව ට්‍රොලියේ තියාගෙන තල්ලූ කරගෙන යනකොට මම දැක්කා ශල්‍යාගාරයේ දොරට උඩින් බුදු පිළිම වහන්සේ නමක් තැම්පත් කරලා තිබෙනවා. මට පුදුමාකාර සැනසුමක් හිතට දැනුණා. අපහසුවෙන් උනත් අත් දෙක එකතුකරලා වැඳලා ප‍්‍රාර්ථනා කළා භාග්‍යවතුන් වහන්ස, මම යශෝධරාවගේ ගමන්මෙඟ් යනකෙනෙක්. මගේ පතිභක්තියේ ආනුභාවයෙන් මගේ දරුවා නිරෝගීව බිහිවේවා. ඊට පස්සේ මම මැරුණත් කමක් නැහැ කියලා හිතුවා. ශල්‍යාගාරයේ ඇතුළට මාව අරං ගිය මිස් මගෙන් ඇහුවා මොනව ද අම්මේ ප‍්‍රාර්ථනා කළේ කියලා. මම කළ ප‍්‍රාර්ථනය ඒ මිස්ට කිව්වා. එයා අවිවාහක තරුණ ගෑනු ළමයෙක්. මගේ ඔළුව අතගාල කිව්වා, අම්මේ ඔයාටවත් දරුවටවත් කිසිම කරදරයක් වෙන්නෙ නැහැ කියලා. එහෙම කිව්වට එයාගේ ඇස්දෙකෙන් කඳුළු වැටුණා. මම දන්නවා මෙයාල මගේ හිත හැදුවට මම ඉන්නේ ලොකු අවදානම් තත්ත්වයක කියලා. ඒ වෙලාවෙ මුස්ලිම් වෛද්‍යතුමෙක් නෝම්බී ඉවරකරපු ගමන් වතුර පොදක් නොබී එක හුස්මට ශල්‍යාගාරයට දුවගෙන ආවා. මම අමාරුවෙන් හිනා වුණා. සීසර් එක ඉවර කරලා දරුවා බිහිවුණා. දරුවා පුතෙක්. එයාගේ උපත්බර කිලෝ එකයි ග‍්‍රෑම් හාරසීයයි. ඊට පස්සේ දරුවා නොමේරු ළඳරු ඒකකයට ඇතුළත් කළා. දරුවා නිරෝගීව ඉන්නවා කියලා මම දැන ගත්තා. නමුත් මට ගොඩක් අමාරු වුණා. මාව දැඩි සත්කාරයට ඇතුළත් කළා. දැඩි සත්කාර ඒකකයේ දින 13ක් ජීවිතයත් මරණයත් අතර සටනක් කළා. රෝහලට ඇතුළත් වූ වෙලාවේ ඉඳන් මම තෙරුවන් ගුණ සිහි කළා. මම අඩ සිහියෙන් හිටිය කාලේ වුණත් හිතින් තෙරුවන් ගුණ සිහිකළා. දරුවා වෙනුවෙන් මට ටික කාලෙකට ජීවිතය දෙන්න කියලා සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගෙන් ඉල්ලූවා. ඒ වගේම වෛද්‍යවරු මාව ඉක්මනින් සනීප කළා. දරුවා ගෙදරට වඩාගෙන ආවේ එයාට සමිඳු කියලා නම තියලා. සමිඳු කියන මෙහොතක් පාසා අපට මතක් වෙන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ සහ මහා සංඝරත්නයයි. මටත් දරුවටත් එදා ජීවිතය නැවත ලැබුණේ තෙරුවන් ගුණ බලෙන් සහ පොලොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරු ප‍්‍රමුඛ කාර්යමණ්ඩලයේ කැපවීමෙන්. පුතා අරගෙන ගෙදර ආවට පස්සේ සාමාන්‍ය තත්ත්වයෙන් මට වැඩ කරගෙන යන්න පුළුවන් වුණා. අසනීපයක් තිබුණේ නැහැ.

 මේ විදිහට මට ඉන්න ලැබුණේ අවුරුදු තුන හමාරයි. 2004 ජුලි මාසේ මුල් සතියේ මම ආයෙත් අසනීප වුණා. කකුල් ඉදිමෙන්න පටන් ගත්තා. ගෑස්ටික් වගේ හැදුණා. මම පරණ වෛද්‍ය වාර්තා අරගෙන සිරිපුර සෞඛ්‍ය මධ්‍යස්ථානයේ හිටිය ඩොක්ටර් ළඟට ගියා. එතුමා මට රුධිර සාම්පල් එකක් පරීක්ෂාකර ගෙන එන්න කියලා කිව්වා. මම එදාම දෙහිඅත්තකණ්ඩියේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිහිං වකුගඩු සඳහා රුධිර සාම්පල් එකක් දීලා ගෙදර ආවා. පහු වෙනිදා බස් එකේ දෙහිඅත්තකණ්ඩියට ගිහිං වෛද්‍ය වාර්තාව අරගෙන බැලූවා. මට ඒක නොතේරෙන නිසා එතැන හිටිය මහත්තයෙක්ගෙන් ඇහුවා. එයා කිව්වා කලබල වෙන්න එපා. ඔයාගේ වකුගඩු ක‍්‍රියාකාරීත්වය 30%ක් දක්වා අඩුවෙලා තියෙන්නෙ කිව්වා. මම දැනගෙන හිටියා දරුවාගේ ජීවිතය රැකගන්න අධිමාත‍්‍රාවෙන් බෙහෙත් බොනකොට වකුගඩුවලට ඒක බලපායි කියලා. නමුත් මේතරම් ඉක්මනින් වකුගඩු නරක් වෙයි කියලා හිතුවෙ නැහැ. මට උන්හිටිතැන් අමතක වුණා. මම දන්නෙම නැතුව දෙහිඅත්තකණ්ඩිය බස් නැවතුමේ පැය දෙකක් ඉඳගෙන ඉඳලා. ළඟ ගෙදරක මල්ලි කෙනෙක් ළඟටම ඇවිත් අක්කා කොහේ යන්නද ඉන්නෙ කියලා අහනකන් මට දැනුනේ නෑ ඉන්න තැන වත්. මම කිව්වා සිරිපුර ඩිස්පෙන්සරියට යන්න ඉන්නෙ කියලා. ඉතින් අක්කකේ දැන් ඔයා ආවට පස්සේ බස් තුනක් ගියානේ කියලා එයා කියනවා. නමුත් මට ඒබව දැනුනේ නැහැ. මම සිරිපුරට යනකොට මහත්තයා පාපැදියෙන් ඩිස්පෙන්සරියට ඇවිත් හිටියා.

 සිරිපුර ඩොක්ටර් අවශ්‍ය උපදෙස් දුන්නා. පහසුකම් තියෙන රෝහලක වකුගඩු සායනයට යන්න කියලා මඟ පෙන්වීම් කළා. අපි දෙන්න තීරණය කළා මාවනැල්ලෙ ගමට ගිහිං එහෙ නෑදෑයෝ එක්ක කතා කරලා මහනුවර මහ රෝහලේ වකුගඩු සායනයට යන්න. නමුත් ඒ වෙනකොට මගේ අසනීපයට වියදම් කරලා අතේ ඉතිරිවෙලා තිබුණේ රුපියල් 1500 යි. ඒ මුදල පිරිමහගෙන දරුවො තුන්දෙනා අරගෙන බස් එකේ අපි මාවනැල්ලට ගියා. එහෙ නෑදෑ අක්කා කෙනෙකුගේ ගෙදර නතරවෙලා අපි පෞද්ගලික රෝහලකට ගිහිං නැවත වකුගඩු රෝගය තිබෙනවාද කියලා පරීක්ෂණ කීපයක් කළා. එහිදීත් තහවුරු වුණා වකුගඩු ක‍්‍රියාකාරීත්වය 30% ක් දක්වා අඩු වෙලා කියලා. එම පුද්ගලික රෝහලෙන් ලබා ගත් වෛද්‍ය වාර්තා අරගෙන අපි මහනුවර මහ රෝහලට ආවා. 2004 ජූලි 30 මහනුවර මහරෝහලේදී විශේෂඥ වෛද්‍යතුමා ගෙන් ස්ථීරවම දැනගත්තා මම වකුගඩු රොගියෙක් කියලා. එතුමා අපි දෙන්නාගෙන් පවුලේ ආර්ථික විස්තර ඇහුවා. වකුගඩුවක් බද්ධ කරන්න කෙනෙක් හොයාගන්න පුළුවන්ද කියලා ඇහුවා. මහත්තයා ඒ වෙලාවෙම කිව්වා වකුගඩුවක් දෙන්න කැමැතියි කියලා. ලොකු ඩොක්ටර් ගොඩාක් වෙලා කල්පනා කරලා කිව්වා තව ටික කාලයක් බෙහෙත් බීලා බලමු කියලා. එදා ඉඳන් මාසෙකට වතාවක් මට මහනුවර මහ රෝහලේ වකුගඩු සායනයට යන්න සිදු වුණා. බෙහෙත් බොනකොට මගේ වකුගඩු ක‍්‍රියාකාරීත්වය නැවත යථාතත්ත්වයට පත්වුණා. සියයට 66%ක් දක්වා ක‍්‍රියා කාරීත්වය ඇති වුණා. ආයෙත් අසනීයක් නැතුව සාමාන්‍ය තත්ත්වයෙන් වැඩකරගෙන යන්න පුළුවන් වුණා.

 ප‍්‍රතිකාර ටික කරගෙන ඉන්නවිට 2007 දී මට හතරවෙනි දරුවා ලැබෙන්න ඉන්න බව දැන ගත්තා. මම වකුගඩු සායනයට ගිහිං මාතෘ සායනයටත් ගියා. මගේ රෝග ඉතිහාසය බලලා වෛද්‍යවරු කිව්වා දරුවා ඉවත් නොකළොත් දරුවා සහ අම්මා යන දෙන්නගේම ජීවිත නැති වෙන්න පුළුවන් කියලා. මම වෛද්‍යවරුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියා කෙහොම හරි මට දරුවා ආරක්ෂා කරලා දෙන්න කියලා. මගේ රෝගී තත්ත්වයත් සහ රෝග නිධානයන් පරීක්ෂා කරලා මට මාසයකට දින දෙකක් මහනුවර මහ රෝහලේ මාතෘ සායනයට එන්න නිර්දේශ කළා. විශේෂඥ වෛද්‍යතුමා ඇතුළු කාර්යමණ්ඩලය මං ගැන විශේෂ අවධානයකින් කටයුතු කළා. දරුවා ලැබෙන්න දින නියමවී තිබුණේ 2007 අගොස්තු 10 වැනිදා. මම මාවනැල්ලෙ නංගිලා ගෙදර නැවතිල රෝහලට යන්න තීරණය කළා. දරුවෝ ටික මහත්තයාට භාර දීල ළඟ ගෙදරක නංගි කෙනෙක් එක්ක ඒ ගමන මම පිටත් වුණේ. පවුලේ අය මාව මහනුවර මහරෝහලට අරගෙන ආවා. මාව පරීක්ෂාකර වෛද්‍යතුමා කිව්වා අම්මේ දරුවා අරගෙන ඉවරවෙලා අපි මේ රෝගයට ප‍්‍රතිකාර කරමු කියලා. එහෙම කියලා ඇහැ වහලා ප්ලාස්ටර් එකක් ගැහුවා. අගොස්තු 10 වැනිදා සීසර් සැත්කමට මාව ශල්‍යාගාරයට ගත්තා. ඒ වනවිට දැඩි සත්කාරයේ ඇඳක් පවා මම වෙනුවෙන් වෙන්කරලා තිබුණා. සීසර් කරලා දරුවා ගත්තා. එයත් පුතෙක්. එයාගේ උපත් බර කිලෝඑකයි ග‍්‍රෑම් හත්සීයක් තිබුණා. දරුවා නිරෝගීව හිටියා. මටත් ලොකු අමාරුවක් තිබුණේ නැහැ. දරුවා බඩට ආවා කියලා දැනගත්ත දා ඉඳන් මම හිටියේ මෛත‍්‍රි සිතින්. හැම වෙලාවෙම යහපත් සිතිවිලිවලින් සිත පිරී තිබුණා. මහත්තයා ඇවිත් දරුවට සචින් කියලා නම දාමු කියනකොට මම දෙපාරක් නොහිතා හා කිව්වා.

 මම දින තුනකින් ටිකට් කපාගෙන මාවනැල්ලට ගියා. එහෙ නෑදෑ ගෙදරක ඉඳලා දරුවා අක්කා ළඟ දාලා බස් එකේ මම නුවරට ආවා ඇදවුණු ඇහැට සහ කටට ප‍්‍රතිකාර ගන්න. සතියක් ප‍්‍රතිකාර ගන්නකොට මට සනීප වුණා. දරුවා අරගෙන ගෙදර ඇවිත් අපි ආයෙත් සුපුරුදු ජීවන අරගලයට මුහුණ දෙන්න පටන් ගත්තා. අපි දෙන්නා පාර අයිනේ කුඩා එළවළු කඩයක් පටන් ගත්තා. දඹුල්ලට ගිහිං එළවළු ගෙනැත් සුළු ලාභයක් තියාගෙන අලවි කළා. සාධාරණ මිල සහ අලූත් එළවළු නිසා ඈත පළාත්වල අය පවා අපේ කඬේට එළවළු ගන්න එන්න පටන් ගත්තා. අපේ වෙළෙඳාම වටා ස්ථීර පාරිභෝගික පිරිසක් රැදුණා.

 මම මාසයකට වතාවක් මහනුවර වකුගඩු සායනයට යනවා. නමුත් මගේ වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය ටික ටික අඩුවෙන බව දැනගත්තා. නමුත් මම කම්පා වුණේ නැහැ. මම මැරෙන්න කලින් දරුවෝ හතරදෙනා ධර්මානුකූල ජීවිතයකට හැඩගස්වන්න ඕනි කියලා නිතරම කටයුතු කළා. මේ විදිහට ඉන්නකොට ලොකු පුතා උසස් පෙළ සමත්වෙලා ගුවන් හමුදාවට බැඳුණා. දෙවෙනි පුතා නාවික හමුදාවට බැඳුණා. පොඩි දරුවො දෙන්නට උගන්නවාගෙන ගෙදර වැඩ ටිකත් කරගෙන සතුටින් හිටියා. ව්‍යාපාරයත් ටික ටික දියුණු වුණා. ගෙදර ලස්සනට හැදුවා. 2013 අපේ‍්‍රල් මාසේ මට දරුණු හෘදයාබාධයක් ආවා. මම බෙහෙත් ගන්න ගියා. එතුමා තවත් පළපුරුදු සෞඛ්‍ය සේවක මහතෙක් කැඳවලා ඉතා ඉක්මනින් මාව දෙහිතඅතකණ්ඩිය රෝහලට ඇතුළත් කළා. එදා තව විනාඩි දහයක් පහු වුණා නම් මම මැරෙනවා. මහනුවර මහ රෝහලේ කාලිංග නානායක්කාර, කීර්ති බණ්ඩාර යන වෛද්‍යතුමන්ලා මගේ ජීවිතය කීපවිටක්ම මරණයෙන් ගලවා ගත්තා. දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සම්පත්, ශාලිත, කිත්සිරි යන වෛද්‍යතුමන්ලා තමයි මේ විදිහට මට ජීවත් වෙන්න පරිසරය හදලා දුන්නේ. පසුගිය 2020 අවුරුද්දේ ඔක්තෝබර් මාසය වනවිට මගේ වකුගඩු ක‍්‍රියාකාරීත්වය 9%ක් දක්වා අඩු වෙලා තිබුණා. දැන් ශල්‍යකර්මයකින් අතේ ඇතුළත මැෂින් එකක් රඳවලා තිබෙනවා ලේ පිරිසිදු කරන්න. එදා ශල්‍යකර්මයට කලින් දවසේ මම කජුවත්ත ආරණ්‍ය සේනාසනයට ගිහිං ස්වාමීන් වහන්සේලාට ගිලන්පස පූජාකරලා ධර්ම දේශනාවක් අහලා ආශිර්වාද අරගෙන ආවෙ. ශල්‍යකර්මය වෙලාවේ මම ඒක ඉවරවෙනතුරු ධර්ම දේශනාව මෙනෙහි කළා. මට වේදනාවක් දැනුනේ නැහැ. ශල්‍යකර්මය අවසන් කරලා ඩොක්ටර් අහුවා ඔයා කිසිම කලබලයක් නැතුව මොනවද කල්පනා කළේ කියලා. මම කිව්වා ඩොක්ටර් මම කලින් දවසේ ඇහුව ධර්ම දේශනාවක් මෙනෙහි කළා කියලා. තියටර් එකේ හිටිය හැමෝගෙම ඇස්වල සතුටු කඳුළු පිරෙනවා මම දැක්කා.

 2021 අවුරුද්දේ අපේ‍්‍රල් වනවිට වකුගඩු ක‍්‍රියාකාරීත්වය 7%ක් දක්වා අඩුවී තිබෙනවා කියලා රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වුණා. නමුත් මම කම්පා වෙන්නෙ නැහැ. මේ වනවිට මගේ ලොකු පුතා විවාහකයි. එයාට පුතෙක් ඉන්නවා. දෙවෙනි පුතාත් විවාහ වෙලා ඉන්නේ එයාට දුවෙක් ඉන්නවා. තුන්වෙනියා සමිඳු පුතා ජෛව පද්ධති තාක්ෂණ අංශයෙන් උසස් පෙළ ලියලා දැන් දෙවැනි වතාවටත් විභාගයට සූදානම් වෙනවා. එයා ඉගෙන ගන්නේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ. බාලයා සචින් ඉගෙනගන්න ගොඩක් දක්ෂයි. එයා රත්මල්කදුර මහ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා.

 දෙවෙනි පුතා ගෞරවාන්විතව නාවික හමුදාවෙන් ඉවත් වෙලා එයාගේ බිරිඳත් එක්ක මගේ වැඩ කටයුතුවලට උදව් උපකාර කරනවා. තාත්තා එළවළු අරගෙන පොළවල් වලට ගියාම දෙවෙනි පුතා තමයි කඬේ වැඩටික කරන්නේ. ඒ වගේම මල්ලිලා දෙන්නගේ අධ්‍යාපන කටයුතු ගැන බලනවා. මගේ බාල දරුවෝ දෙන්නා ආගම දහමට අනුව ජීවිතය හදාගෙන ඉන්නෙ. එයාල හැම පෝයටම සිල් සමාදන් වෙනවා. නිරන්තරයෙන් කජුවත්ත ආරණ්‍ය සේනාසනයට යනවා. විවේක අවස්ථාවල ධර්ම සාකච්ඡා පවත්වනවා. ඒ වැදගත් ධර්ම සාකච්ඡා පටිගත කරලා මටත් ගෙනැවිත් අහන්න දෙනවා. මගේ දරුවෝ විහිළුවකටවත් බොරු කියන්නෙ නැහැ. විවේක අවස්ථාවල ස්වාමීන් වහන්සේලා ගෙදරට වැඩම කරවලා මට ධර්ම දේශනා අහන්න දරුවෝ අවස්ථාව ලබා දෙනවා. ගෞරවණීය මහා සංඝරත්නයත් පුදුමාකාර කරුණාවකින්, මෛත‍්‍රියකින් මගේ දරුවන්ට මඟ පෙන්වීම් කරනවා. දරුවෝ හතර දෙනාම හරිම සමගියි. ඒ වගේම ආගම දහමට දැඩිව ලැදියි. මහත්තයත් ඒ වගේ තමයි. පහුගිය කොරෝනා කාලේ දිනපතාම පන්සල්වලට , ආරණ්‍ය සේනාසනවලට, මෙහෙණි ආරාමවලට, නිරෝධායන කළ අයගේ ගෙවල්වලට අපි එළවළු පරිත්‍යාග කළා. එක් අවස්ථාවක මුළු කඬේම හිස් වනතුරු ආරණ්‍යයකට දානයට එළවළු පූජා කළා. හැබැයි කොච්චර දන් දුන්නත් අපිට අඩුපාඩුවක් වෙලා නැහැ. දවසින් දවස දියුණු වෙනවා.

 මම කීප අවස්ථාවක මරණයේ අභියසට ගිහිං ආයෙත් ආවා. මගේ ජීවිතය පරදුවට තියලා දරුවෝ දෙන්නට ජීවිතය දුන්නා. අපි විවාහ වෙලා ගත වුණු අවුරුදු තිස් එකට කිසිම දෙයක් කාගෙන්වත් ඉල්ලාගෙන නැහැ. මට දෙවියෙක්වගේ මහත්තයා මහින්ද මමවත් දරුවොවත් එක වේලක් බඩගින්නෙ තියලා නැහැ. මම ඉතා ඉක්මනින් මැරෙන්න ඉඩතියෙනවා කියලා මට හිතෙනවා. සමහරවිට ක‍්‍රමයෙන් වකුගඩු ක‍්‍රියාකාරීත්වය වැඩි වෙන්නත් පුළුවන්. නමුත් ඒ ගැන මම කම්පා වෙන්නෙ නැහැ. මගේ දරුවෝ කම්පා වෙන්නෙත් නැහැ. මට අසනීප නිසා පොඩි පුතාල දෙන්නා මං වෙනුවෙන් සිල් සමාදම් වෙනවා. සමහරවිට සිල් පවාරණය නොකර මට ආශිර්වාදයක් වෙන්න කියලා සමිඳු පුතා දින ගණන් සීලයේ පිහිටලා ඉන්නවා. මම අසීමිත වූ දුකක් විඳලා මේ වගේ පින්වත් දරුවො දෙන්නෙකුට ජීවිතය දුන්නට ණය නැහැ කියලා මට ඒ වෙලාවට හිතෙනවා. ඒක හරිනේද? ඇය සතුටු කඳුළු අතරින් විමසන්නීය.

 තිස්ස ගුණතිලක
 ඡායාරූප – ප‍්‍රසන්න සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment