මාර්ගගත අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාලයීය උපසංස්කෘතිය

442

වර්තමාන මාර්ගගත අධ්‍යාපන ක‍්‍රමය, ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයා කෙරෙහි ඇති කොට ඇති බලපෑම සුළුපටු නොවන කාරණාවකි. එතුළින් වඩාත් ඍණ බලපෑමකට ලක්ව සිටින්නේ ප‍්‍රාථමික සහ ද්වීතියික අධ්‍යාපනය හදාරන පාසල් ශිෂ්‍ය ප‍්‍රජාවයි. එයට හේතුව නම් පාසල යනු යම් ශිෂ්‍යකුගේ අධ්‍යාපන කුසලතාව පමණක් නොව මනස සහ හදවත යන දෙකම විවර කරන්නා වූ ප‍්‍රධානතම ස්ථානය බවට පත් ව තිබීමයි. සාමාන්‍යයෙන් දරුවෙකුගේ කුසලතාමය සහ මානසික සංවර්ධනය සඳහා පාසලක් තුළින් ලැබෙන්නා වූ පිටිවහල සුවිශේෂී බලපෑමක් ඇති කරන්නකි.

 නමුත් මෙතෙක් කාලයක් පුරාවට ශ‍්‍රී ලංකාව තුළ පැවති විශ්වවිද්‍යාල අධ්‍යාපනය සලකා බැලීමේදී, මේ මාර්ගගත අධ්‍යාපන ක‍්‍රමය තුළින් විශ්වවිද්‍යාලීය සංස්කෘතිය තුළ පැවති ඇතැම් පීඩාකාරී කාරණාවන් සඳහා ධන බලපෑමක් ඇති කොට ඇති බව පෙන්නුම් කරයි.

 සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ වසර 13 ක පාසල් අවධියක් පසු කළ බුද්ධිමත්, පෞරුෂයක් සහිත වැඩිහිටි ශිෂ්‍ය පිරිසකි. නමුත් විශ්වවිද්‍යාල ප‍්‍රවේශයකින් පසුව ජ්‍යෙෂ්ඨයන් විසින් නවකයන් ශාරීරිකව හෝ මානසිකව පීඩාවට පත් කරමින්, එතෙක් ඒ ඒ ශිෂ්‍යයන් තුළ පවතින්නායැයි කියන්නා වූ අඩුපාඩු සකස් කිරීම විටෙක හාස්‍යයට කරුණකි. මක්නිසාද යත් එතුළින් වක‍්‍රාකාරයෙන් පහර එල්ල කරනු ලබන්නේ වසර 13 ක පාසල් අධ්‍යාපනය ක‍්‍රමයටයි. නමුත් මාර්ගගත අධ්‍යාපන ක‍්‍රමයත් සමඟ සිදුවී විශේෂිත වාසිය නම්, නීතිරීති පැවතියද නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක නොවන්නා වූ ඇතැම් අධ්‍යාපනය ආයතනවලින් මිදී, මානසික පීඩනයකින් තොරව තම අධ්‍යාපන කටයුතු හැදෑරීමේ නිදහස එක් පිරිසකට හිමිවීමයි. එතෙක් පැවති පීඩිත සංස්කෘතිය මේ සංධිස්ථානයෙන් පසුව බිඳ වැටී යෑමට ඇති හැකියාවයි.

 උප සංස්කෘතික යනු මහා සමාජයට අයත් පිරිස් ඔවුනට ආවේණික ලෙස ගොඩ නගා ගත් සංස්කෘතියයි. එසේම එය මහා සංස්කෘතියේම කොටසක් බව ඩන්කන් මිචෙල්ගේ නිර්වචනයයි. උප සංස්කෘතියක් තුළ සාමාන්‍යයෙන් මහා සංස්කෘතියට අමතරව ඔවුනට ආවේණික වූ උපාංග ද පවතියි. නමුත් මේ උසස් යැයි සම්මත උසස් අධ්‍යාපන ආයතන තුළ පැවතිය යුත්තේද සමාජය අනුමත කරවන බාහිර සමාජයෙන් පිළිකුලක් ඇති නොවන්නා වූ ක‍්‍රමවේදයන් පමණි. එසේම සංස්කෘතිය වූවද කාලයත් සමඟ වෙනස්වීම් වලට භාජන විය යුතුමය. වර්තමානය සමාජය හා සමපාත විය යුතුමය.

 නමුත් මේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ යම් යම් දේශපාලනික ව්‍යාපාර, අසාමාන්‍ය මානසික තත්ත්ව සහිත ශිෂ්‍යයන්ගේ පටු අරමුණු සහ ඔවුන් තුළ පවතින පරපීඩිත මානසිකත්වය නිසා උප සංස්කෘතියේ යම් කොටසක් ලෙස නවක වධය ඉස්මතු වී තිබීම අද වන විටත් සිදුවන්නකි. උසස් අධ්‍යාපන ආයතන තුළද විෂමතාවක් ඇති කරන්නකි.

 නවක වධය යනු කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් කරනු ලබන කායික මානසික භාවමය හෝ මනෝවිද්‍යාත්මක ක‍්‍රියාවක් ස්වෙච්ඡුාවෙන්ම හෝ බලහත්කාරයෙන් හෝ කරනු ලැබීමක් මඟින් කිසියම් පුද්ගලයෙකුට විශ්වවිද්‍යාලය ඇතුළතදී හෝ පිටත දී බැනීම, නරක ආකාරයට සැලකීම, පිළිකුලට භාජන කිරීම, මානසික වධ හිංසාව, තැති ගැන්වීම ආදී වශයෙන් කරන ඕනෑම ක‍්‍රියාවලියකි.

 සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල තුළ සිදුවන මේ ක‍්‍රියාවලිය නිසා මෑතකාලීනව පවා ශිෂ්‍යන් විශ්වවිද්‍යාල හැර යෑම්, සියදිවි නසාගැනීම්, සහ ශාරීරික ආබාධයන්ට ලක් වීම සිදු වූ බව නොරහසකි. එසේ මිය යන්නේ හෝ හානියට ලක් වන්නේ එක් ශිෂ්‍යයෙක් වූවද එය අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු තත්ත්වයකි. සියල්ලෝම සමාන අධ්‍යාපනයක් ලබා සමාන වරප‍්‍රසාද ලබා විශ්වවිද්‍යාල ප‍්‍රවේශය හිමිකර ගත්තන් නිසා ජ්‍යෙෂ්ඨ හෝ කනිෂ්ඨ යන බෙදුම මත කිසිවෙකුටත් අනෙකාට පීඩාවක් කිරීමේ අයිතියක් නොමැත.

 මේ මාර්ගත අධ්‍යාපන ක‍්‍රමය, මෙතෙක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පැවති ක‍්‍රම්වේදය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට හේතුවක් විය. ඉතින් එමඟින් සැලසුනු වාසිය අප අත් පත් කර ගත යුතුය. නැවත වතාවක් විශ්වවිද්‍යාල ආරම්භ වූ පසුව මෙතෙක් කාලයක් පුරාවට පැවත ආ පරපීඩිත සංස්කෘතියට නැවත නොයා යුතුය. ශිෂ්ට සම්පන්න අධ්‍යාපන ක‍්‍රමයක් විශ්වවිද්‍යාල තුළ ස්ථාපිත කළ යුතුය. බහුතරයක් සිසුන්ට නොව සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම නිදහසේ මෙන්ම සුරක්ෂිව තම අධ්‍යාපන කටයුතුවල නිරතවීමේ හැකියාව ලබා දිය යුතුය. ගෝලීය පුරවැසියා යන ඉලක්කයට ඔහු සූදානම් කළ යුතුය. හීන පෞරුෂ ලක්ෂණ ඇති නොකරමින් ඇඳුමින් පැලඳුමෙන් පවා වර්තමාන සමාජයට ගැළපෙන පෞරුෂ සංවර්ධනයක් කරා ගෙන යා යුතුය.

 තවදුරටත් ගෝත‍්‍රික සමාජයක් කරා ඔවුන් ඇද නොදමා වචනයේ පරිසමාප්තියෙන්ම උසස් අධ්‍යාපනයක් ඔවුන් වෙත ළඟා කර දිය යුතුය.

 මක්නිසාද යත් රටකට අවශ්‍ය වන්නේ උසස් අධ්‍යාපනය තුළින් බිහිවන සෙසු රටවල් සමඟ කරට කර තරග වැදිය හැකි වෘත්තීකයන් පිරිසකි. සෙසු දියුණු රටවල මෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක‍්‍රමයකි. තාක්ෂණයේ වාසිය හැකි සියලූ ආකාරයකටම අප විසින් ලබා ගත යුතුමය. නැතහොත් රටට හිමි වන්නේ සහකම්පනයෙන් තොර, අසංවේදී, හීන පෞරුෂ ලක්ෂණ සහිත අනාගතයකි. රටක අනාගතය තීරණය කරන ප‍්‍රධානතම සාධකය වන්නේ අධ්‍යාපනයයි. ! ඉතින් මේ මාර්ගගත අධ්‍යාපන ක‍්‍රමය ඔස්සේ හිමි වුණ කුඩාම වාසිය පවා රටේ අනාගතය වෙනුවෙන් යොදවමු. සුන්දර නිදහස් විශ්වවිද්‍යාල පද්ධතියකට නැවත පිවිසෙමු.

 විමූ රත්නායක
 ආයුර්වේද වෛද්‍ය පීඨය
 කොළඹ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment