ජනාධිපතිවරණයට අදාළ ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් ප්රචාරක රැලි කිහිපයක් අද (18දා) කොළඹ නගරය කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශවල පැවැත්වෙන බැවින් එම ප්රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල රථවාහන තදබදය අවම කරගැනීමට විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
රනිල්
එම රථවාහන සැලැස්ම අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කොස්ගස්හන්දියේ පැවැත්වෙන ප්රචාරක රැස්වීම පස්වරු 2.00ට ආරම්භ කරන බැවින් අවිස්සාවේල්ල පාරෙන් කොළඹට ඇතුළුවන වාහන ඔරුගොඩවත්ත හන්දියට පැමිණ දකුණට හැරී බණ්ඩාරනායක හන්දියෙන් වමට හැරී ඉඟුරුකඩේ හන්දියෙන් නැවත වමට හැරී සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ඔස්සේ ආමර් බාබර් වීදිය හන්දියට පැමිණ මහා විද්‍යාල මාවත ඔස්සේ කොළඹ දෙසට ඇතුළු විය හැකි බව පොලිසිය සඳහන් කරයි.
අවිස්සාවේල්ල පාරෙන් පැමිණ මරදාන දෙසට ගමන් කරන වාහන ඔරුගොඩවත්ත හන්දියෙන් වමට හැරී බේස්ලයින් පාර ඔස්සේ බොරැල්ල බන්ධනාගාර හන්දියට පැමිණ ආනන්ද රාජකරුණා මාවත ඔස්සේ මරදාන දෙසට ගමන් කළ හැකිය.
සජිත්
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන පොලිස් වසමේ පංචිකාවත්ත පාර ටවර්හෝල් රඟහල ඉදිරිපිට පැවැත්වෙන සමගි ජන බලවේගය ප්රචාරක රැලිය දහවල් 2.00ට ආරම්භ කරන බැවින් මරදාන සහ මාලිගාවත්ත පොලිස් වසම්වල සංඝරාජ මාවත, ප්‍රදීපා මාවත, ජයන්ත වීරසේකර මාවත, පංචිකාවත්ත පාර යන මාර්ග අවහිර වියහැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඉල්ලා සිටියි.
නුවර පාරෙන් පැමිණෙන වාහන බණ්ඩාරනායක හන්දියෙන් දකුණට හැරී ඉඟුරුකඩේ හන්දියෙන් වමට හැරී සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ඔස්සේ ආමර් බාබර් වීදිය හන්දියට පැමිණ මහා විද්‍යාල මාවත ඔස්සේ කොළඹ දෙසට ඇතුළු විය හැකිය.
මීගමුව පැත්තෙන් කොළඹ දෙසට ඇතුළුවන වාහන තොටලඟ හන්දිය ඉඟුරුකඩේ හන්දිය සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ඔස්සේ ආමර් බාබර් හන්දියට පැමිණ මහා විද්‍යාල මාවත ඔස්සේ කොළඹ දෙසට ඇතුළු විය හැකිය.
අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන ඔරුගොඩවත්ත හන්දියට පැමිණ බේස්ලයින් මාර්ගය ඔස්සේ දෙමටගොඩ හන්දියෙන් දකුණට හැරී මරදාන පාරට හෝ බණ්ඩාරනායක හන්දියෙන් දකුණට හැරී මරදාන පාරට පැමිණ මරදාන පාර ඔස්සේ කොළඹ දෙසට ඇතුළු විය හැකිය.
කොළඹින් පිටවන වාහන පිටකොටුව ඕල්කොට් මාවතෙන් හෝ මරදාන පැත්තේ කාර්මික විද්‍යාල හන්දියට පැමිණ සංඝරාජ මාවත ඔස්සේ සංඝරාජ වටරවුමට පැමිණ වමට හැරී සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ඔස්සේ ඉඟුරුකඩේ හන්දියට පැමිණ මීගමු පාරට, නුවර පාරට අවිස්සාවේල්ල පාරට සහ අධිවේගී මාර්ගයට ඇතුළුවන වාහන කොළඹින් පිට විය හැකිය.
අනුර
ජාතික ජනබලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රචාරක රැස්වීම නුගේගොඩ ආනන්ද සමරකෝන් රංගශාලා භූමියේදී පස්වරු 2.00ට ආරම්භ වේ.
එබැවින් මිරිහාන පොලිස් වසමේ ස්ටැන්ලි තිලකරත්න මාවත, නාවල පාර, පාගොඩ පාර යන මාර්ග අවහිර විය හැකි බව පවසයි.
ඒ අනුව මහරගම සිට හයිලෙවල් පාර ඔස්සේ නුගේගොඩට පැමිණ ස්ටැන්ලි තිලකරත්න මාවතට ඇතුළුවන වාහන හයිලෙවල් පාර ඔස්සේ කිරුළපන දෙසට ගමන් කර පූර්වාරාම පාර, සීබල් ඇවනිව් ඔස්සේ විජයකුමාරතුංග මාවතට පැමිණ කොළඹගේ මාවත ඔස්සේ නාවල පාරට පැමිණ නාරාහේන්පිට දෙසට ගමන් කළ හැකිය.
නාමල්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අවසන් ප්රචාරක රැලිය පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පස්වරු 2.00ට ආරම්භ වේ.
එබැවින් පිළියන්දල මොරටුව මාර්ගය අවහිර විය හැකි බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලා සිටියි.
දිලිත්
සර්වජන ඡන්දබල පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අවසන් ප්රචාරක රැලිය කොට්ටාව බස්නැවතුම්පොළ භූමියේදී පස්වරු 2.00ට ආරම්භ වේ.
එබැවින් කොට්ටාව බස්නැවතුම්පළ භූමිය අවට රථවාහන අවහිරතා ඇති වුවහොත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියි.