මාර්ටින් වික‍්‍රමසිංහ දුටු සිංහල සංස්කෘතියෙහි මුහුණුවර

197

‘සිංහල භාෂාව උතුරු ඉන්දියාවෙන් ලැබුණක් වුව ද සිංහල සමාජ ක‍්‍රමය දකුණු ඉන්දියාවෙන් ලැබුණක් ය.’’ කී කොඞ්රිංටන් මතය අරබයා මාර්ටින් වික‍්‍රමසිංහ අරුත් විවරණය කළේ මෙසේ ය. ‘‘අපේ සංස්කෘතියෙහිත් දඹදිව සස්කෘතියෙහිත් නෑ සබඳකම පිළිබඳ යට කියන ලද මතය ඇත්තක් ඇසුරෙන් උපන් බොරුවකි.’’ (සිංහල ලකුණ 11 පිට) මෙහි ඇත්තක් ඇසුරෙන් උපන් බොරුවකි යන්නෙන් සිංහල සංස්කෘතිය උදෙසා වික‍්‍රමසිංහ දක්වන මත විමසුම හා දැක්ම බෙහෙවින් විස්තීර්ණ විය යුතු යයි හැෙ\ඟ්.

 මාර්ටින් වික‍්‍රමසිංහ මේ කරුණ ගැඹුරින් විවරණය කරමින් තම දැක්ම තීව‍්‍ර කරන්නේ මෙසේ ය. ‘‘ඉංගිරිසින්ගේ සංස්කෘතියට මුල් වූයේ ගී‍්‍රක, රෝම සංස්කෘතිය වුව ද එය ගී‍්‍රක සංස්කෘතිය නමින් හඳුන්වන්නෙක් නැති ය. ගී‍්‍රක ලතින් (රෝම) සංස්කෘතීන් ආශ‍්‍රයෙන් උපන් ඉංගිරිසි සංස්කෘතිය අරාබිය, ඉන්දියාව, චීනය, ජපානය ආදී රටවල උපන් සංස්කෘතීත්ගෙන් ද බොහෝ දේ උකහාගෙන වැඞීමෙන් අදීන එකක් වීය. අනික් සංස්කෘතියක් ආශ‍්‍රයෙන් නූපන් සංස්කෘතියක් ලොව කිසිම රටක නොදක්නා ලැබේ. එහෙත් කිසිම සංස්කෘතියක් තවත් කිසියම් සංස්කෘතියක ප‍්‍රතිරූපයක් නොවේ. සිංහල භාෂාව උපන්නේ ඉන්දියාවෙන් ලක්දිවට සංක‍්‍රමණය වුණු ප‍්‍රාකෘත භාෂා විශේෂයකිනි. එසේ උපන් මූල සිංහලය වැඩුණේ ඉන්දියාවෙහි ම උපන් පාලිය හා සංස්කෘතිය ද යන දෙබසින් ගත් ශබ්දයන්ගේ සංකලනයෙනි. එහෙත් ඉන්දීය භාෂාවක් ලෙස කිසිවකු සිංහලය නොහඳුන්වන්නේ එය එසේ හැඳින්විය නොහැකි එකිනෙක

 ගැළපෙන අඟපසඟින් යුතු අදීන භාෂාවක් වන බැවිනි.’’ (සිංහල ලකුණ – 12 පිටුව)

 කලා ශිල්ප, විශේෂයෙන් ප‍්‍රතිමා නෙළීම අතින් සිංහල සංස්කෘතියට හිමි ස්වාධීන ලක්ෂණ වික‍්‍රමසිංහ මතු කරන්නේ මෙලෙසිනි. ‘‘බෞද්ධ ප‍්‍රතිමාකාරයෝ දෙමුහුණක්, අත් සතරක්, නළල් ඇසක්, දුන්නක්, පන්දමක් නොදී බුදු රුවට උසස් අධ්‍යාත්ම ලක්ෂණ ආරූඪ කළහ. බුදුන් වහන්සේගේ අධ්‍යාත්ම ලක්ෂණ දැක්වෙන ගල් පිළිම අතරෙන් ලක්දිව ඇතැම් ගල් පිළිමයකට ළං කළ හැක්කක් ඉන්දියාවේ පිළිම අතර නොදක්නා ලැබේ. බෞද්ධ සංස්කෘතියෙන් අභාසය ලැබූවන්ගේ ශක්තියෙහි නිර්මල විකාශයට ලක්දිව ගල් පිළිම පමණක් නොව ගල් කැටයම් ද ඉතා හොඳ සාක්ෂ්‍යයකි. (සිංහල ලකුණ – 14 පිටුව)

 හර්බට් ජේ. ස්පිංඩන් නම් මානව විද්‍යාඥයා විසින් ඒ ඒ ජාතීන්ගේ සංස්කෘතීන් සසඳා බලා තිරිඟු සභ්‍යත්වය හා ඉරි`ගු සභ්‍යත්වය, සහල් සභ්‍යත්වය හා මයියොක්කා සභ්‍යත්වය යනුවෙන් ඒවා නම් කරනු ලැබීය. මාර්ටින් වික‍්‍රමසිංහ මේ අනුව යමින් සිංහල සංස්කෘතිය හැඳින්වූයේ වැවෙන් උපන් සභ්‍යත්වය යනුවෙනි. සංස්කෘතියෙහි යම් වර්ධිත අවස්ථාවක් සභ්‍යත්වය යනුවෙන් හැඳින්විය හැකි බැවින් වැව් තැනීමෙන් සිංහල සංස්කෘතිය විකසනය වී වඩාත් අදීන ස්වරූප ගත් බව ඒ යෙදීමෙන් සනාථ වේ. හේ මෙසේ පවසයි. ‘‘ස්වාධීන සිංහල සංස්කෘතියක පටන්

 ගැනීමට හේතු වුණු මුල් බිජුවට ලංකාවේ සිටුවන ලද්දේ විජය විසින් නොව පළමු වන (විසල්) වැව කැණවූ පණ්ඩුකාභය රජු විසිනි. සිංහලයා පොදු ජනකායක් නොහොත් එකම කාරියක් උදෙසා එකම අදහසකින් බඳිනු ලැබූ ජනකායක් ලෙස පළමුව සැදුණේ වැව් කැණීමත්, වී

 ගොවිතැනත් නිසා ය. සිංහලයන්ගේ ස්වාධීනත්වයටත්, ශක්තියටත් දෙස් කියන කර්මාන්තයන් අතර වැව් හා වී ගොවිතැන පළමු වන තැන ගනී. වැව් කැණිය හැක්කේ පවුලක්, කුලයක් වශයෙන් ජීවත් වන අතළොස්සක් විසින් නොවේ; යම්කිසි පොදු හැඟීමකින් හා අපේක්ෂාවකින් එකට බැඳුණුු ජනකායක් විසිනි.’’ (මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය – 80 පිටුව)

 සිංහල සංස්කෘතිය විචිත‍්‍ර වූවක් නොවේ. එය සරල ය; චාම් ය; ගුඪාර්ථයෙන් තොරය; නම්‍යශීලී ය; සුගමත්වයෙන් යුක්ත ය යන සංකථන හුවා දක්වන වික‍්‍රමසිංහ මෙසේ ද පවසයි. ‘‘ළහිරු රැුසින් බැබළෙන නිර්මල ජලය ඇති නොගැඹුරු ජලාශයක් සේ සිංහල සංස්කෘතිය අව්‍යාජයෙන් හා සරල සුන්දරත්වයෙන් නොතොරව පැවැත්තේ බුදු සමයත්, රටේ කුඩාබවත් නිසා ය.’’ (සිංහල ලකුණ – 19 පිටුව)

 ජීවිතය, සංස්කෘතිය, භාෂාව හා සාහිත්‍යය අරබයා ද වික‍්‍රමසිංහට මතකථනයක් තිබිණි. පොළොන්නරු කාලයට පෙර සිංහල සාහිත්‍ය උපන්නේ එම කරුණු තුළ පිහිටි එකමිතියෙන් බව පවසන හේ වත්මනෙහි දී වුව සාහිත්‍යකරණය උදෙසා සිංහල සංස්කෘතිය හා බැඳුණු ඒ එකමිතියෙන් හික්ම වූ මනසත් තිබිය යුතු බව සඳහන් කරයි. හෙළ අටුවා සහ සීගිරි ගීවල මෙන්ම ජන සාහිත්‍යයේ සරල ගැමි උපමා, රූපක හා යෙදුම් භාවිතාව, සිංහල සංස්කෘතිය, ජීවිතය හා සාහිත්‍යයෙහි එකමිතියෙන් බිහිවිණැයි පිළිගත හැකි ය. වික‍්‍රමසිංහ සිංහල සංස්කෘතිය හා ජීවිතය, සාහිත්‍ය සමග පවත්වා ගත යුතු එකමිතිය ගැන මෙසේ කියයි ‘‘ජීවිතයත්, භාෂාවත් අතර සුහද නෑ සබඳකමක් තිබෙනවා. සිංහල මිනිසුන්ගේ ජීවිතය ඔවුන්ගේ සංස්කෘතිය හා එකට බැඳුණක්. සිංහලයන්ගේ ජීවිතය ඔවුන්ගේ සංස්කෘතියෙන් වෙන් කරන්ට බැහැ. සිංහල භාෂාව, සිංහලයන්ගේ ජීවිතය හා සංස්කෘතිය ද එකට බඳින්නකි. සිංහලයන්ගේ ජීවිතයත් සංස්කෘතියත් අනර්ථයට හේතු නොවන සේ වෙනස් වන්නේ ඒ තුන එකට බැඳී පවතින තාක් පමණි. (සිංහල සකස්කඩ – 67 පිටුව)

 සිංහල සංස්කෘතියේ පිරිහීම හා බිඳ වැටීම ගැන සමහරු උකටලී ව, දොඩමලූ වී මැසිවිලි නඟති. වික‍්‍රමසිංහයන්ට අනුව සංස්කෘතියේ පිරිහීම යනු වෙනස් වීමයි. අනුරපුර යුගයේ සිට යුග යුග කාලාන්තරය පුරාම සිංහල සංස්කෘතිය වෙනස් වී ඇත. මුලදී පැවති සරල, සුගම විලාසය පොළොන්නරු කාලයෙන් පසුව දැඩි සැඩ ලෙස වෙනස් වී ගියේ හින්දු බමුණු සංස්කෘතිය උත්සන්න වීමෙනි. ඉන්පසු සිංහල සංස්කෘතිය හා සාහිත්‍යය සකු වෙස් ගෙන අලංකාරවාදයට හා රසවාදයට නතුව යට වූ අයුරු වික‍්‍රමසිංහ ලිපි රැුසකින් ම පෙන්වා දී ඇත. ඉඳුරන් පිනවන ජීවිතය වර්ණිත සාහිත්‍යයත්, ඒ අනුව බිහි වූ විචිත‍්‍ර සංස්කෘතියත් මහත්ම පිරිහීමක් හා බිඳ වැටීමක් සේ ගිණිය හැකි ය. වික‍්‍රමසිංහ පෙන්වාදෙන පරිදි මීට එරෙහි වූ ග‍්‍රාමවාසී සඟ පරපුර කළ හටන සද්ධර්මරත්නාවලිය, බුදුගුණාලංකාරය වැනි සාහිත්‍ය කෘතිවලින් සනාථ වේ. මෙයින් ප‍්‍රකට වන්නේ සංස්කෘතිය පිරිහීමේ ප‍්‍රපංචය සැම දාටම අදාළ වූ බව ය. ඉම්ගම් නැති මිනිසුන් බිහි වන්නේ ද එබැවිනි.

 වික‍්‍රමසිංහ කියනායුරු සිංහල සංස්කෘතියෙහි ස්වාධීන රූපය රැුකගත හැක්කේ භාෂාව රැුක ගැනීමෙනි. තවත් මඟක් ගැන හේ මෙසේ කියයි. ‘‘සිංහල සංස්කෘතිය විනාශ විය නොදී රැුකගත යුත්තේ එහි අංගෝපාංග වෙනස් වනු වැළැක්වීමෙන් නොවේ. එහි විශේෂ අදීන ස්වරූපයට හානි නොවන සේ අංගෝපාංග වෙනස් වන්ට සැලැස්වීමෙනි; අලූත් අංගෝපාංග ඇතුළු කිරීමෙනි.’’ (මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය – 97 පිටුව) ඔහු මීට දක්වන නිදසුන් දෙකක් මේය; මිනී පෙට්ටිය පැරණි සිංහල සංස්කෘතියෙහි අංගයක් නොවූ මුත් භික්ෂූන් වැඩමවා, මතක වස්ත‍්‍ර පූජාකර පැන් වඩවන පරිසරය තුළ දැන් එය එහි, අංගයක් වී ඇත. මලයාලි යකැදුරා බොටුව කඩා වැගිරෙන කුුකුළු ලෙයින් යකුන් පුදනමුත් මෙරට යකැදුරා කුකුළු කරමලයෙන් ගත් ලේ බිඳුවකින් ඒකාරිය නිම කරයි. මේ දෙතැනම ඇත්තේ ප‍්‍රතියෝජනයෙන් සංස්කෘතිය රැුක ගැනීමකි.

 ජේ. ජයනෙත්ති
 මාර්ටින් වික‍්‍රමසිංහ ජන කෞතුකාගාරයේ අධ්‍යාපන හා පරිපාලන උපදේශක

advertistmentadvertistment